UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහා වංසයේ ඓතිහාසිකත්වය

ලක්දිව වංශකතා සාහිත්‍ය හැදෑරීමේ දී මහාවංශයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. ලක්දිව වංශ කතා රාශියක් අපට දකින්නට ලැබේ. ඒවා නම් දීපවංශය, දාඨාවංශය, චූලවංශය, අරියවංශය, බෝධිවංශය, ථූපවංශය, හත්ථවනගල්ල විහාරවංශ, චේතියවංශය සහ උත්තර විහාරවංශයයි. එම වංශකතාවලින් ඓතිහාසික වැදගත් කෘතියක් වශයෙන් මහා වංශයට වැදගත් ස්ථානයක් හිමිවෙයි.

මහා වංශය රචනා කරන ලද්දේ මහා විහාරවැසි මහා කවි මහානාම හිමිපාණෝ ය. ඒ බව “මහා නා මොති ගුරූ හි – ගහිත නාම ධෙය්‍යෙන ථෙරෙන” යන පාඨය අධ්‍යයන කිරීමෙන් අපට පැහැදිලි වෙයි. එමෙන්ම මහාවංශ කතුවරයා අනුරාධපුර වැසියෙකු බව පැහැදිලි වෙයි.

එම කාලයෙහි උන්වහන්සේ සේවය කළේ දික්සඳ සෙනෙවි පිරිවෙනෙහිය. ඒ බව “දීඝසන්ද සෙනාපතීනං කරිතස්ස” යන මහාවංශටීකාවෙන් පැහැදිලි වෙයි.

මහසෙන් රාජ්‍ය කාලය අවසන් වන්නේ ක්‍රි.ව. 103 දී ය. මහා වංශයත් දීප වංශයත් යන වංශ කතාවල මෙම රජුගේ කාලය ගැන සඳහන් වෙයි. “එවං පුඤ්ඤච සුබහුං සො සමාවිනි” යන මහාවංශයේ අවසන සඳහන් වාක්‍යයෙන් මහාවංශය රචනා කරන ලද්දේ මහසෙන් රජුගේ මරණින් පසුවය. මේ අනුව මහාවංශය 03 වන කිතුවසින් පසු රචිත ග්‍රන්ථයකි.

ක්‍රි.ව. 461 රාජ්‍යත්වයට පත් ධාතුසේන රජු පිළිබඳව කරුණු සඳහන් කිරීමේ දී, එතුමාගේ ජීවිතයේ ආරම්භයත් අවසානයත් දක්වා සියලු කරුණු සනිටුහන් කිරීමට දික්සඳ පිරිවෙණෙහි විසු මහාවංශ කතුවරයා මහානාම හිමියන් අමතක නොකළ බව පැහැදිලිය. ඉහත කරුණු දැක්වීමට ප්‍රධාන සාධකය වූයේ ධාතුසේන රජු, එම මාහිමියන්ගේ බෑණාවීමයි.

මහා වංශයේ කතුවරයන් සතර දෙනකැයි ගරු කටයුතු යගිරල ශ්‍රී ප්‍රඥානන්ද මාහිමියන් සිය කෘතීන්හි සඳහන් කරති. එය බොහෝ දුරට සත්‍ය බව පෙන්වාදිය හැකිය. එය එසේ වන්නේ ඉතිහාසය දැක්වීමේ දී බොහෝ දුරට කාලයක් ගතවන බැවිනි. මහාවංශ රචිත කතුවරුන්ගේ ප්‍රධානියා වන්නේ මහානාම මාහිමියන් ය.

මහාවංශය මෙන්ම දීපවංශය ද ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් කෘතියකි. දීපවංශය රචනා කරන ලද්දේ ක්‍රි.ව. සතරවන සත වර්ෂයේදී ය. රට ගැන කෙරෙන විස්තර අඩංගු කෘතියක් බැවින් මෙම කෘතිය දීපවංශය වන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. ලක්දිව නා නා විහාරයන්හි තිබුණ විස්තර ගද්‍ය පද්‍ය දෙකින් මිශ්‍රව රචනා වූ කෘතියක් ලෙස දීපවංශය සඳහන් කළ හැකි ය.

එම දීපවංශය වඩා පැහැදිලිව විස්තරාත්මකව රචනා කොට මහාවංශය නමින් කෘතියක් බිහිවිය. වංශකතාවලින් පැරැණිම වංශ කතාව දීපවංශයැයි කීම ඉතා සාධාරණය.

මහාවංශයෙහි භාෂා විලාශය, රචනා විලාශය, කරුණු දැක්වීම ආදී සෑම අංශයකින්ම පෙනීයන්නේ දීපවංශයට වඩා ශ්‍රේෂ්ඨ කෘතියක් බවයි. මේ බව සියලු විචාරකයින් බුද්ධිමතුන් පෙන්වා දෙති.

සිංහල ඉතිහාස කරුවන් තම අපක්‍ෂපාතිත්ත්වය මහාවංශය නම් මහා කෘතිය තුළින් පෙන්නුම් කරයි. ද්‍රවිඩ පාලකයන් වූ එළාර ගැන පමණක් නොව, සේන, ගුත්තික දෙදෙනා ගැන පවා එම කතුවරු “රජ්ජං ධම්මං කාරයුං” යැයි දැක්වීමට කිසිවිට අමතක නොකළහ. ඓතිහාසික වැදගත්කමින් යුත් වැදගත් තොරතුරු මහාවංශය අපට ගෙනහැර දක්වයි.

බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කිරීම පිළිබඳ මහාවංශ කතුවරයා මෙසේ සඳහන් කරයි. ශත්‍රැ මර්දනය කරණශීලි වූ සර්වඥතෙම උරුවෙල් කසුප් නම් ජටිලයා මහායාගයට එළඹි කල්හි එම ස්ථානයට වැඩම කොට ඔහු ඇතුළු අනිකුත් ජටිලයන් මර්දනය කර, උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙනවුත් වළඳා තෙමේ සවස් කාලයෙහි සම්‍යක් සම්බෝධියෙන් නවවන මස දුරුතු පුර පසළොස්වක්හි ලංකාද්වීපය ශුද්ධ කරනු පිණිස ලක්දිවට වැඩම කළ සේක.

“බොධි නවමෙ මාසෙ ඵුස්ස පුණ්ණමියං ජිතො ලංකා දීපං විසෙධෙතුං ලංකාදීපං මුපාගමි”

මහාවංශයේ පළමු පරිච්ඡේදයෙහි 19 ගාථාවට අනුව ඉහත දක්වන ලද අදහස් පැහැදිලිවෙයි. එයට අමතරව සියලුම යක්‍ෂයන් මර්දනය කොට, ගිරිදිවයිනට එම යක්‍ෂයින් යවා, මෙම භූමිය යහපත් සුදුසු ජනතාවට ජීවත්වීමට හැකි ප්‍රදේශයක් බවට පත් කළ සේක. ඒ කරුණු මහාවංශය සනාථ කරයි. එයට අමතරව දීපවංශය ද බුදුපියාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ බව තහවුරු කරයි.

“ඉමමත්‍ථං මහා වීරො චින්තයිත්වා බහුං හිතං නභං අබ්භූග්ගමිත්‍ථාන ජම්බුදීපා ඉධාගතො”

දීපවංශයේ සඳහන් වන අන්දමට බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනාට වැඩ දායක බව සිතා අහසට පැන නැගී ජම්බුද්වීපයේ සිට ලංකාවට වැඩම කළහ. බුදුපියාණන් වහන්සේ අහසට පැන නැගී වැඩම කළ එම සිද්ධිය මහාවංශයේ සඳහන් නොවුන ද දීපවංශයේ සඳහන්වීම ඉතා වැදගත් කාරණයක් ලෙස සැළකිය හැකි ය. ඉතිහාසගත තොරතුරු දැන ගැනීමට මහාවංශය මෙන්ම දීපවංශය ද අපට වැදගත් ය.

“අහං කරොමි තෙ උණ්හං මම දෙථ නීසීදිතුං අÀථි තෙජ බලං මය්හං පරිස්සය විනොදතුං”

එම ගාථාවට අනුව “මම නුඹළාට උෂ්ණය පහළ කෙරෙමි. මට මෙහි වැඩහිඳීමට ඉඩ දෙව්. තොපගේ පරිශ්‍රමය වෙහෙස මාදුරු කරන්නෙමි.” යනුවෙන් සඳහන් වූවද මහාවංශයට අනුව යක්‍ෂයන් මර්දනයට බුදුපියාණන් වහන්සේ සීතලත්, අන්ධකාරයත්, යොදා ගත් බවයි. දීපවංශයේ සඳහන් වන්නේ සීතලෙන් හා අන්ධකාරයෙන් සිටි යක්‍ෂයන්ට උෂ්ණය ආලෝකය පහළ කළ බවයි. මෙම කරුණු විග්‍රහ කර බලන විට සත්‍ය දැන ගැනීමට වංශකථා දෙකම අපට ඉතා වැදගත්ය.

මහා වංශය ගෙනහැර දක්වන කරුණුවලට වඩා දීපවංශයේ එන කරුණු වෙතට අපගේ සිත් ඇදීයයි. මන්ද බුදුරජාණන් වහන්සේ දුකට පත් සත්ත්වයාට පිහිටවන ශාස්තෘවරයකු බැවින්, අන්ධකාරයේ සිටි යක්‍ෂයින්ට ආලෝකය ලබාදී, ඔවුන් සුවපත්කොට, බියදුරු කොට, සුදුසු ප්‍රදේශයකට යොමු කළ බව පිළිගත හැකි බවයි. පැරැණිතම වංශකතාව වන දීපවංශය ශ්‍රේෂ්ඨ කෘතියක් බව මේ අනුව පෙනීයයි. මහා වංශය පෙන්වාදෙන අන්දමට සෝවාන් ඵලයට පැමිණි සුමන දෙව්රද පූජාවන් පැවැත්වීමට යම්කිසිවක් බුදුන්වහන්සේගෙන් ඉල්වීය. බුදුරජාණන් වහන්සේ සුමන දිව්‍යරාජයාණන්ට කේශධාතු මිටක් හිස පිරිමැද දුන් බව මහාවංශය සඳහන් කරයි.

“සිරං පරා මසිත්වානනීලාමල සිරොරු හෙ පණි මතෙතා අදා කෙසෙ තස්ස පාණහිතො ජිනො”

මහා වංශයේ එන එම කරුණු ධාතු වංශයද සනාථ කරයි. එහි දැක්වෙන අන්දමට සුමන දෙව්රද තෙමේ කේශධාතූන් වහන්සේ රන් කරඬුවකින් පිළිගෙන බුදුන්වහන්සේ වැඩ සිටි යක්‍ෂයන් දමනය කළ තැන්හි සත් රුවනින් විසිතුරු වූ තුන්මහල් පායක් මවා ඒ මත්තෙහි ඉන්ද්‍රනීල මාණික්‍යමය වූ පිධානයකින් වසා සුවඳ මල් ආදියෙන් පූජා කරමින් වාසය කළේ ය. එමෙන්ම බුදුන් වහන්සේ ලක්දිව තුන්විටක් පැදකුණු කොට පිරිත් කරමින් රැකවල් ලවා නැවත උරුවෙල් දනව්වට වැඩම කළ බවද සඳහන් වෙයි.

සර්වඥයන් වහන්සේ බුද්ධත්වයෙන් 05 වෙනි වස බක් මස අමාවක් පොහෝදින ජේතවනාරාමයෙහි සිට නාගදීපයට වැඩි සේක. දඹදිව දෙව්රම් වෙහෙර කිරිපලු රුක භවනකොට විසූ සමිද්ධි සුමන දෙව්රජතෙමේ බුදුරදුන්ට කිරිපලු රුක ජත්‍රයක් කොට නාගදීපයට පැමිණියහ. ලක්දිව සිටි චූලෝදර මහෝදර යන මාමා සහ බෑණා යන නාරජුන් අතර මිණි පළඟ සඳහා යුද්ධයට එළඹි බවත්, එය සංසිඳවීමට බුදුපියාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ බවත් මහාවංශයෙහි සඳහන් වේ.

එමෙන්ම බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන සේක් භික්‍ෂූන් වහන්සේලා 500 නමක් පිරිවරන ලද්දේ තෙවෙනිවරට වෙසක් මස පුර පසළොස්වක පොහෝදා සඟල සිවුර පොරවා පාත්‍රය ගෙන කැළණියේ මණි අක්‍ඛන නා රජුගේ නිවසට වැඩම කළ සේක. එම අවස්ථාවට සම්බන්ධ වූ මණි අක්‍ඛිත නා රජු ඇතුළු සැම දෙනාටම බුදුරජුන්ගේ වැඩමවීම විශාල යහපතක් වූ බවට කිසිදු සැකයක් නොමැත.

බුදුපියාණන් වහන්සේගේ ලංකා ගමනයන් පිළිබඳ සලකා බැලූ විට පෙනී යන වැදගත් කරුණු ගණනාවක් අපට දක්නට ලැබේ. ඒවා නම් නිරයේ දුක් නාගයන්ට පෙන්වීමෙන්, සමගිව ජීවත්වීමේ වැදගත්කමද, මණි අක්‍ඛිත නා රජුගේ භවනෙහි වැඩහුන් බුදුරදුන් ඇතුළු පන්සියයක් මහරහතන් වහන්සේලාට නාගයන් විසින් දිව්‍යමය ඛාද්‍ය භොද්‍යාදියෙන් සංග්‍රහ කළේ ය. එහිදී උන්වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කොට සමනළගල මුදුනෙහි පා සටහන තැබීමට වැඩිසේක. එයට අමතරව දිවාවිහාරය පිිහිටි තැන, මහා බෝධිය පිහිටි තැන, ථූපාරාමය පිහිටි තැන, සිලාචෙතිය පිහිටි තැන, මහා ථූපය පිහිටි තැන යන වැදගත් ස්ථානයන්හි බුදුපියාණන් වහන්සේ සමාධියෙන් වැඩ සිටිසේක.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]