UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

උත්සාහය තුළින් උද්‍යෝගය නමැති රිදී පහන දල්වා අයහපත් ඉරණම නමැති අඳුර දුරු කර ජීවිතයේ සතුට හා සැනසුම නමැති ආලෝකය අපට ලබාදෙයි. ජීවිතය ජයගත හැක්කේ උත්සාහවත්ව කටයුතු කිරීමෙන් පමණි

කර්මයේ විපාක සමහරුන්ට නොලැබී යන්නට පිළිවන. උසස් පවුලක උපත ලැබූවකුට ඇතැම් අකුසල කර්මයන් විපාක දීමට බාධා පමුණුවන බව බුදු දහමට අනුව සත්‍යයකි. දුප්පත් පවුලක උපත ලැබුවේ නම් සමහර පාප කර්මයන්ට විපාක දීමට සුදුසු පරිසරය හා අවස්ථාව උදා කරයි.

සමහරුන්ට තම කුසල කර්මයන්හි අනුසස් විඳීමට අවස්ථාවක් හිමි නොවී අකුසල කර්මයන්ගේ විපාක විඳීමට සිදුවේ. එහෙත් එවැන්නන්ට ද කොයියම් මොහොතක හෝ කුසල කර්මයන්ගේ අනුසස් විඳීමට අවස්ථාව උදාවේ.

දුප්පතකු වුවත් රූප සම්පත්තියෙන් හා නුවණින් අනූන නම් සැප විඳීමටත් අන්‍යයන්ගේ ගෞරවාදරය ලැබීමටත් යමකුට හේතු වාසනා ලැබේ.

තවත් සමහරකුට කාල විපත්තිවලට මුහුණ දීමට සිදුවේ. මෙරට සුනාමි විපතින් වෙරළාසන්න බොහෝ දෙනකුට වේදනා විඳින්නට සිදුවිය. කාලය යහපත්වීම හේතුවෙන් අකුසල කර්මයන් විපාක දීමට ද බාධා පැමිණෙයි. කාලය අවසන් වූ විට කුසල කර්මයන් කළ අයකුට වුවද එහි විපාක යටපත්වී අකුසල කර්මයන්ගේ විපාක ඉස්මතු වී ඒවා විඳින්නට සිදුවෙයි.

තවත් සමහරකුට තමන්ගේ අකුසල කර්මයන් ඵල නොදී කුසල කර්මයන්හි අනුසස් විඳීමට හේතු වාසනා ගුණය ලැබේ. උසස් කුලයක ඉපදීම, රූප සම්පත්තිය ලැබීම, නුවණ ලැබීම, යහපත් කාල වකවානුවක ජීවත්වීම ආදී හේතූ®න් නිසා අකුසල කර්මයන් විපාක නොදී කුසල කර්මයන්ගේ බලය ඉස්මතුවීමට හේතු වාසනා ගුණය උදා වේ.

ඒ නිසා අප ඉටුකළ යුත්තේ කුසල කර්මයන් රැස්කිරීමේ ප්‍රයත්නයයි. එම ප්‍රයත්නය අප අත් නොහැරිය යුතුය. දුප්පත් පවුලක ප්‍රියමනාප ලක්‍ෂණ නුවණැති දරුවකුත් රජ පවුලක විරූපී නුවණින් හීන දරුවකුත් උපත ලබන්නට ඉඩ ඇත. රජ පවුලක උපන්නත් ඒ දරුවාට වඩා දුප්පත් පවුලේ ප්‍රියමනාප නුවණැති දරුවා බැබළීමට හේතු වාසනා ගුණය ඇත.

රජ පවුලක උපන්නත් තම කුසල කර්මයන්ගේ විපාක විඳ ගැනීමට රජ දරුවා විරූපී වීමත් නුවණ නැත්තකු වීමත් නිසා බාධා පැමිණෙයි. ලෝකයේ මෙවැනි අවස්ථා වුවමනා තරම් සොයා ගැනීමට හැකිය. අප කිසිවිටෙකත් උකටලී නොවි වැඩ කළ යුතුය.

උත්සාහවත් වී ධෛර්යය සම්පන්න වී නුවණින් සිත මෙහෙයවා අවස්ථාව උදා වූ විට එයින් විපුල ඵල ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ කිරීමෙන් යහපත අප කරා පැමිණෙයි. යහපත් කර්ම අපගේ උපකාරයට පැමිණෙයි. කුසල කර්මවල අනුසස් ලියලා වැඩෙයි.

තමන් කළ කුසල කර්මවල බලය ඇතැයි සිතා මහා ව්‍යසනයකදී උකටලීව කටයුතු කරන්නාට අවැඩක්ම සිදුවෙයි. තමන්ට විපතක් පැමිණිවිට ඒ විපතට ගතයුතු පියවර වටහාගෙන ඒ විපතින් ගැලවෙන්නට අධිෂ්ඨානශීලීව උත්සාහ කරන්නාට ඒ විපතින් ගැලවීමට අවස්ථාව උදාවෙයි. එක් සුළු මැණික් ව්‍යාපාරිකයකු වාසනාව රැඳී ඇත්තේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල බව සිතා ඡ්‍යොතිෂ විද්‍යාවට අනුව කටයුතු කරමින් යන්ත්‍ර මන්ත්‍ර මගින් ධන නිධාන සොයමින් වෙහෙසවන්නට විය. ඔහු මැණික් පතල් කැණීමට ගියේ මන්ත්‍රාචාර්යවරයෙකුගෙන් අසා දැනගත් තොරතුරුවලට අනුව යමින් කටයුතු කරමිනි.

පුද පූජා පවත්වමින් කෙම් පහන් ක්‍රම කරමින් නියමිත නැකතට පිටත් වෙමින් ඔහු මැණික් ගැරීමට ගියේය. එහෙත් මන්ත්‍රාචාර්යවරයා ගේ උපදෙස් වලට අනුව ක්‍රියාකළ ඔහුට වටිනා මැණික් නොලැබුණි. ඔහු එය අතහැර දමා නැවතත් ඡ්‍යොතිෂයේ පිහිට පතමින් දේවාල ගාණේ යන්නට විය.

තවත් සුළු මැණික් ව්‍යාපාරිකයකු තමන් ගැනම විශ්වාසය තබමින් තම මිතුරන් පිරිසක් සමඟ දිවා රෑ නොබලා වෙහෙසවී මැණික් පතලක වැඩ කළේය. ඔහුගේ නොපසුබට උත්සාහය නිසාම ඔහුට මැණිකක් ලැබිණි. ඔහු කිසිවිටෙක උකටලී වූයේ නැත. ඔහු පතල් 03 ක් කැණ අවසාන පතලේදී වටිනා මැණිකක් ලබා ගත්තේය.

අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කිරීමෙන් උකටලී නොවී කටයුතු කිරීමෙන් තමන්ට ජයග්‍රහණ අත්කර ගත හැකි බව මේ කතාවෙන් අපට අවබෝධ වේ. තමන් ගැන විශ්වාසය තබා කටයුතු කළ යුතුය. කිසිවකට උකටලී නොවී, විවිධ බලවේග ගැන විශ්වාස නොකර, උත්සාහයත් ධෛර්යයත් පෙරටු කොටගෙන ක්‍රියා කිරීමෙන් තමන්ට යහපත අත්කර ගත හැකිබව මේ කතාවෙන් අපට පැහැදිලි වේ.

තමන්ගේ අකුසල කර්මයන්ගේ අගුණ පරදා කුසල කර්මයන්ගේ ගුණ ඉස්මතු කර ගැනීමට ගත් උත්සාහය යහපත් අවියක් බවට පත්වේ. අපගේ දෛවය අපිම නිර්මාණය කරගෙන සිටිමු. අපි ඒ දෛවයෙන් බැහැරට යාමට උත්සාහ නොකරමු. වැඩිදෙනකුට සිදුවී ඇත්තේ මෙයයි. අප දෛවය වෙනස් කළ හැකිය. ඉරණම වෙනස් කළ හැකිය.

ලෝක ප්‍රකට රචකයකු වූ පියෝදෝර් දොස්තයෙව්ස්කි ණය බරින් මිරිකී සූදු අන්තුවකු බවට පත්ව සමාජයේ නින්දා අපහාසයන්ට ලක්වෙමින් ණය කරුවන්ගෙන් බේරී පලායමින් දුක්ඛිත ජීවිතයක් ගත කළේය. ඔහුගේ දෙවැනි බිරිය ඔහුගේ ඉරණම වෙනස් කිරීමට ඉදිරිපත් වූවාය. ඇය ඔහුට යහමඟ කියාදී ඔහුගේ මහා නවකතා පිටපත් කරමින් ණය තුරුස්වලින් ඔහු ගලවා ගනිමින් ඔහුට යහපත් ජීවිතයක් අවසාන කාලයේදී උදාකර දුන්නාය.

අවසාන කාලයේ මේ මහා ලේඛකයා සහනදායී ජීවිතයක් ගෙවීය. මේ ලේඛකයාගේ ඉරණමට එරෙහිව සටන් වැදීමට ඔහුගේ දෙවැනි බිරියගේ ධෛර්යය උත්සාහය උපකාරී විය. මෙය තමන්ගේ ඉරණමයැයි දොස්තයෙව්ස්කි සිත සිතා සිටියේ නම් ඔහු මියයන්නේ සමාජ අපවාදයන්ට හසුවූ දිළින්දකු සේය.

උත්සාහය තුළින් උද්‍යෝගය නමැති රිදී පහන දල්වා අයහපත් ඉරණම නමැති අඳුර දුරු කර ජීවිතයේ සතුට හා සැනසුම නමැති ආලෝකය අපට ලබාදෙයි. ජීවිතය ජයගත හැක්කේ උත්සාහවත්ව කටයුතු කිරීමෙන් පමණි.

ලංකාවේ ප්‍රකට සංගීතඥයකු මාරාන්තික ලෙඩකින් පීඩා ලැබීය. එහෙත් ඔහු තම රෝගය ගැන සිත සිතා සිටියේ නැත. ඔහු එයට අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්නා ගමන්ම උකටලී නොවී නව නිර්මාණ බිහි කළේය. ඔහු ඔහුගේ රෝගී තත්ත්වයේ වූ අයහපත් බව පරාජය කොට නිර්මාණාත්මක ආලෝකයේ සුවය වින්දේය. ඔහුගේ උසස් නිර්මාණ ජනතාව ආදරයෙන් පිළිගත් අතර ඔහුගේ උත්සාහය මල් ඵල ගැන්විණි. සෑම තැනකම ඔහුගේ කීර්තිය පැතිරිණි. ඔහු රෝගී සතුරාට එරෙහිව සටන් වදිමින් නව නිර්මාණ බිහි කළේය. ඒ නිසා මේ මගේ කර්මය යැයි නොසිතා උත්සාහයත් ධෛර්යත් වඩාලමින් අප ජීවිතයේ ජය මාවතට පිවිසිය යුතුය.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]