UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරිපා සමය

සෑම වර්ෂයකම දෙසැම්බර් සිට මැයි මස දක්වා මාස හයක කාල සීමාවක් මෙම සිරිපා වන්දනා සමය ලෙස වෙන්වේ. අතීතයේ විසූ සිහසුන දැරූ රජ දරුවන්ගේ ඉතා ගෞරවාදරයට බඳුන් වූ ශ්‍රීපාද සටහන ලෝ ප්‍රසිද්ධියට පත් විය. අතීතයේ දී ශ්‍රී ලංකාවේ චාරිකා කළ නොයෙකුත් දේශ ගවේෂකයන්ගේ නොමඳ පැසසුමට හා ආදරයට බඳුන් වූ සමන්ථකූඨ පර්වතය පිළිබඳව ලියැවී ඇති පත පොත ද ඒ අතර, ඉබාන්බටුටා, ජෝන් ඩේවි, විලියම් ස්කීන්, හෙන්රි මාෂල් වැනි දේශ ගවේෂකයින් පළ කර ඇති පොත පත මගින් අතීතයේ දී මෙරට ජනතාව සිරිපා කරුණා කර ඇති ආකාරය පිළිබඳව යම් අදහසක් ලබා ගත හැකිය.

අතීතයේ සිට සමනළ කන්ද තරණය කිරීම, සඳහා භාවිතයට ගැනුණු මාර්ග කීපයක් ඇත්තේ ය. ඒ අතර ඉතාමත් ඓතිහාසික වටිනා කමින් අනූන, රත්නපුර පලාබැද්දල මාර්ගයත් ඉතා රමණීය වූ පරිසර පද්ධතියකින් අනූන වූ කුරුවිට එරත්න මාර්ගයත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.

අතීතයේ දී මේ රටේ විසූ සියලු රජවරුන් සහ දේශ ගවේෂකයන් සිරිපා පියුම කරුණා කිරීම සඳහා යොදාගත්තේ ඉතා ඓතිහාසික වටිනාකමෙන් යුත් රත්නපුර සිට ගිලීමලේ දක්වා පැමිණ ඉන් පසු පලාබද්දල හරහා සිරිපා පියුම වෙත ගමන් කරන්නාවූ ප්‍රධාන මාර්ගයයි.

මේ ලිපිය සැකසීමට උදක්ම පෙළඹවූයේ මේ මාවතේ ඇති ඉතා ඓතිහාසික වටිනා කමත් පරිසරයේ ඇති සුන්දරත්වයත් පහදා දීමට ය. පළමුව රත්නපුර නගරයට පැමිණ ඉන් පසුව මල්වල පාර ඔස්සේ කාර්ණිය ගිලීමලේ පලාබද්දල වෙත පැමිණ (මේ සියලුම ගම්මානයන් ඉතා පෞරාණික වටිනාකමෙන් යුතු ස්ථාන වන අතර ගිලීමලේ යනු කඳු අතර ගිලී ගිය ගම යන අරුත ලබාදේ.) මහනුවර රාජධානිය පැවැති යුගයේ දී සෙංකඩගල පුරයටම පුවක් සපයා ඇත්තේ ගිලීමලෙනි. පලාබද්දල යනු පලා බත්දොල යන පදයෙන් සැකසුනු වචනයකි. පලාබත් වැලඳීමට රජුට ඇතිවූ ආශාව නිසා මේ ගමට මේ නම ලැබුණු බව පැරැන්නෝ පවසති.

පලාබද්දල ඇති කීර්ති ශ්‍රී රාජසිංහාරාමය ඉතා අතීතයට විහිද යන්නාවූ පුද බිමකි. අද ද රත්නපුර මාර්ගයෙන් සිරිපා කරුණා කිරීමට පැමිණෙන්නාවූ වන්දනා කරුවන් මුලින්ම මෙම විහාරයට ගොස් මල් පහන් පූජා කර බාර හාර වී කරුණා කිරීම අරඹති. එහිදී දැකගත හැකිවූ මනෝ රම්‍ය වූ දෙයක් වනුයේ කුණුදිය පර්වතයයි. අති විශාල වූ ජනකථා රාශියක් මේ කඳු ශිඛරය වටා ගෙතී ඇති අතර ලිපිය දීර්ඝවන බැවින් එම සියලු කරුණු මේ ලිපියට ඇතුල් කළ නොහැකිය. ඉන්පසු පවනැල්ල නම් අවසාන ගම ද පසු කරමින් අප සිරිපා අඩවියට නැතහොත් දෙයියන්නේ රටට ඇතුලු වේ. වටපිටාවේ ඇති ඉතා සුන්දර වූ අති රමණීය කඳු පන්තීන්ගේ සුන්දරවූ දසුන් ද එම ශිඛර සිඹිමින් හමා එන්නාවූ සීත මදනල ද තුරු පත් අතර සිට නද දෙන්නාවූ කුරුලු කෙවිල්ලන්ගේ කුජනද අසමින් ගලා බසින්නාවූ දිය දහරාවන්ගේ නෙත් කළු දසුන් ද නරඹමින් ගැටපොකුල, දොරණ කඩේ, කෙකටිය කඳ වැනි ඉතා පැරණි ස්ථානයන් පසු කරමින් කටු කිතුල වංගුවද පසු කරමින් ගිලී හෙල වෙත පැමිණේ.

ගිලී හෙල යනු ඉතා ගැඹුරු ආගාධයන් වන අතර ඉතා අතීතයේදී මෙම ප්‍රපාතයෙන් පහළට වැටී ඇති කාන්තාවක් සිහි කරනු වස් මෙම නම යෙදී ඇත. අද ද මෙම ස්ථානය පසු කරන්නාවූ වන්දනා කරුවන් විසින් ගීලි අක්කාව සිහි කරමින් ඇය ඉහත ශබ්දයෙන් අඩ ගසනු දැකිය හැක. ඉන්පසු ගජමන් නෝනා කිවිඳිය විසින් අතීතයේ දී සාදන ලද ගජමන් සල අම්බලම ද (අද මෙය නටබුන්වූ ගොඩනැගිල්ලකි) පසුකරමින් ගෙත්තම්පාන වෙත පිය නගනු ලැබේ.

තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් උන්වහන්සේගේ ඉරී ගිය සිවුර පිළිසකර කරගත් ස්ථානය ලෙස ගෙත්තම්පාන අතීතයේ සිටම වන්දනා කරුවන්ගේ ගෞරවාදරයට බඳුන් වූ ස්ථානයකි.

සීත ගඟුල හමුවන්නේ ගෙත්තම් පානේ සිට මද දුරක් ගිය පසුය. එහිදී වන්දනා කරුවන් ඉන් නා, පිරිසුදුවී පඬුරු ගැට ගසා නැවතත් කරුණා කිරීම ආරම්භ කරනු ලබන අතර ‘කෝඩු’ යනුවෙන් හඳුන්වනු ලබන මුලින්ම සිරිපා කරුණා කරනු ලබන්නාවූ පුද්ගලයින් (කෝඩු වර්ග 3 ක් ඇත. කුඩා දරුවන් කිරි කෝඩු වන අතර වැඩුණු පුද්ගලයින් දඬු කෝඩුවේ.

වයසට යන තුරාවටම සිරිපා කරුණා කර නැති පුද්ගලයින් මූකලන් කෝඬුවේ.) හට භාර හාරවී ගමන් අරඹති.

ඉන්පසු හමුවන්නේ ඉතා සිත් ඇදගන්නා සුලුවූ ස්ථානයක් වන ‘හැරමිටි පාන’ නම්වූ මංසන්ධියයි. ඉතා විශාල ප්‍රමාණයේ අම්බලම් සහ ගිමන් හල්වලින් මෙහි අඩුවක් නොමැති අතර කෝඩුකරුවන් විසින් මෙහිදී සැරමිටි පූජා කළ බව ජනප්‍රවාදයේ සඳහන්වේ. මෙම ස්ථානයට සමන්ත කූඨය ඉතා මනරම් අයුරින් දිස්වන අතර රාත්‍රී කාලයට එය නෙත පිනවන දසුනක් වේ.

කෙතරම් වේලාවක් බලා සිටියද සිතට මදියැයි හැඟීමක් ඇතිවන අතර වන්දනා කරුවන් වැඩි වේලාවක් ගිමන් හරින ස්ථානයක් ලෙස හැරමිටි පාන ප්‍රසිද්ධය.

ඉන්පසු ඔබට හමුවන්නේ මැල්ලමල කඳුල නම් ස්ථානයයි. තවත් ඉදිරියට යනවිට ආඬියා මලතැන්න නම්වූ ස්ථානය දැනගත හැකි අතර පළමුවැනි රාජසිංහ රජ සමයේදී මෙම පුදබිම ආඬින්ට පවරා තිබූ යුගයේ මිය ගිය ආඬි ගුරුන් කෙනෙකු සිහිවීම සඳහා මෙම නම යෙදී ඇතැයි ජනප්‍රවාදයේ සඳහන් වේ. ඉන්පසු ‘අහස්ගව්ව’ වෙත ඔබ පියනගන අතර සුසිනිඳු වලා කැරලි ඔබගේ මුහුණ සිඹිමින් පාවී යන අයුරු ඔබට මැනැවින් දැක ගත හැක. අහස් ගව්ව පසු කරමින් අප පැමිණෙන්නේ ඇහැළ කණුව වෙතයි. අතීතයේ සිරිපා කරුණා කරනු ලැබූ වන්දනා කරුවන් විසින් සුදු පිරුවට අඳිමින් සිරිපා පියුම වන්දනා කිරීම සඳහා ලක ලැහැස්ති වන ස්ථානය මෙම ස්ථානයයි.

ඇහැළ කණුව පසුකර ඉන්පසු පැමිණෙන්නේ ‘මහගිරි දඹය’ නමින් හඳුන්වනු ලබන්නාවූ ඉතා නැගීමට දුෂ්කර වූ ස්ථානය වෙතයි. ඉද්ද ගැසුවාසේ ඇති පඩිපෙළ මතින් ඉතා අසීරුවෙන් මෙම ස්ථානය පසු කිරීමට සිදුවන අතර සුමන සමන් දෙවියන්ගේ රැකවරණය යදිමින් තුන් සරණ ඉතා ශබ්ද නගා ගායනා කරමින් වන්දනා කරුවන් මෙම ස්ථානය පසු කරයි.

ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා කරුවන් මෙම ස්ථානය පසු කරමින් පියුම වන්දනා කරනු පිණිස පැමිණේ. හැටන් පාරේ පැමිණෙන වන්දනා කරුවන් සිරිපා පියුමට පසු පසින් මළුවට පැමිණෙන නමුත් රත්නපුර පාරේ පැමිණෙන වන්දනා කරුවන් මළුවට නෙත් යොමමින් ඉතා අලංකාර වූ මහ මළුව නරඹමින්ම මළුව වෙත පිවිසේ.

මාර්ගය කෙතරම් දීර්ඝ වුවද එම මාර්ගයේ සිරිපා කරුණා කරනු ලබන විට ලැබෙන සතුට හැටන් පාරෙන් පැමිණෙන විට නොලැබෙන බව නොකියා බැරිය. සිරිපා කරුණා කිරීමට ඇති තවත් මනෝරම්‍යවූ මාවතක් ඇත. එය නම් කුරුවිට නගරයේ සිට එරත්න දක්වා පැමිණ ඉන්පසු කැකුණ හින්න නම් වූ ගම්මානය වෙත පැමිණ ඉන්පසු ශ්‍රීපාද අභය භූමිය හරහා වැටී අතිශයින්ම අලංකෘත පරිසර පද්ධතීන්ගේ නෙතු පිනා යන දර්ශන වලින් පොහොසත් වූ නෙතට රසඳුනක් බඳුවූ කඳු පන්තීන් ගේ මන මෝහනීය වූ දර්ශන නරඹමින් ඉඳහිට හෝ හමුවන වන සිවුපාවුන්ගේ චර්යා ද අත් දකිමින් ඉතා සුන්දර අත්දැකීම් සමූහයක් එක්කරනා මොහොතයි.

මේ මාර්ගයේ ඉතා සමීපයෙන් වෙළෙඳ සැල් පිහිටා නොමැති නිසා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය ගෙන යනවානම් යෙහෙකි. එනමුත් මේ මග යන ඔබ විසින් ගෙන යා යුතු නොවනම දෙය වන්නේ ජලයයි.

මෙහි පානය කිරීම සඳහා ඕනෑතරම් පානීය ජලය ඇති අතර ඒවා පුරවා ගැනීම සඳහා අවශ්‍ය බඳුන් පමණක් ගෙනයාම ප්‍රයෝජනවත් වේ. විටෙක ගිරි හෙල් නගිමින් ද තවත් විටෙක තැන්න පසු කරමින් ද ගමන් කරන නිසා ගතට විඩාව නොදැනේ. වර්ණගල නම්වූ ස්ථානයේ දී ඉතා අලංකාර වර්ණගල දිය ඇල්ල නැරඹිය හැකිය.

මේ මාවතට ලිපියේ මුලින් සඳහන් කළ හැරමිටිපාන නම් ස්ථානයේදී රත්නපුර මාර්ගයට සම්බන්ධවන අතර ඉන්පසු මාර්ගය මා විසින් කලින් සඳහන් කරන ලදී.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]