UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්මුති මරණය සහ පුනර්භවය

සසර ගමනෙහි වග තුග පසඳින කර්මය හා පුනර්භවය පිළිබඳ සංකල්පයට බුදු දහමෙහි හිමිව ඇත්තේ සුවිශේෂ තැනකි. තත්භවය හා පෙරභවය වෙතට කර්මයද, මරණයෙන් පසු ලබන උත්පත්තිය වෙතට පුනර්භවයද ගළපා විමසා බැලීම ප්‍රකට කාරණයකි. පුනර්භවය කර්මයේම විපාකය වුවද, මේ දෙතැන වෙන් කෙරෙන තැන මරණය ලෙස ගැනෙයි. මරණයෙන් මෙහා පැත්ත මෙතැනයි. එහා පැත්ත එතැනයි. එළඹී ඇති මෙතැන අපි අත්දකිමු. නොඑළඹුණු එතැන ගැන වටහා ගැනීමට උපකාරී වන්නේ දේශනාවයි. සමහර ආගම්හි එන දේශානවලට අනුව මරණයෙන් පසු එළඹෙන එතැන පරමාත්මයයි නැතහොත් දේව කැමැත්තට අනුකුල වූ මෝක්‍ෂයයි.

මරණය හරහා මෙතැනින් එතැනට ගොස් ලබන උත්පත්තියේ ස්වභාවය විමසා බැලීමේ අවශ්‍යතාව බුද්ධ කාලයේ පටන්ම මිනිසාට තිබුණි. ආත්ම අනාත්ම අන්ත දෙක මත ගොඩ නැගුණු ශාස්වත හා උච්ඡේද දෘෂ්ටි අනුව පුනරුත්පත්තිය පිළිබඳ මිථ්‍යා දර්ශනවල එකල මිනිසා එල්බ ගෙන සිටි ආකාරය පිළිබඳ දීර්ඝ විස්තරයක් දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වේ. බුදු දහම මගින් ස්ථාපනය වූ ථෙරවාදි චින්තනයට අනුව, කෙනෙක් මිය යන විට අවසානයට එළඹෙන චුති චිත්තයේ නිරුද්ධ වීමත් සමඟම අනතුරුව උපදින එහි විපාක සිත වන පටිසන්ධි චිත්තයේ හට ගැනීම ම පුනර්භවය බවත්, ඒ දෙතැන අතර හිඩැසක් හෝ අතොරක් නැති බවත් අවධාරණය කෙරේ. අතොරක් තිබුණහොත් අනවරත චිත්ත වීථී සන්තතියේ හෙවත් පරම්පරාවේ ඛණ්ඩනයක් විය යුතුය. එය විය නොහැකි.

ඒ නිසා ථෙරවාදි සංකල්පය සාධාරණිකරණය වෙයි. නමුත් මරණයෙන් අනතුරුව එන උත්පත්තිය කෙබඳු ස්වරූපයක් ගන්නේද යන්න පිළිබඳ නිශ්චිත වූද ගැටළු රහිත වූද විනිශ්චයක් එමගින් නොදෙයි.

පසුකාලයේ ඇතිවුණු මහායාන සම්ප්‍රදාය තුළ මේ කාරණය වෙනස් අයුරකින් දැක්වේ. ඒ අනුව කෙනෙක් මිය ගිය විට, නාම රූප පරම්පරාවේ පුනර්භවයක් වීමට උචිත කර්මානුරූප උත්පත්ති භවයක් (භූමියක්) සකස් වී තිබීමට හෝ නොතිබීමට හෝ හැකිය. එසේ නොතිබෙන්නේ නම්, අන්තරාභවිකයෙකු හැටියට අවකාශයේ ප්‍රමාදව සිටීමට සිදුවන බව මහායාන චින්තනයයි. තිබ්බතයේ මේ පිළිගැනීම ප්‍රබලව පවතී. කෙනෙකුගේ මරණයෙන් දින තුනේ සිට හතළිස් දෙක දක්වා කාලයක් තුළ මළගිය, ප්‍රාණකාරයා “ ව හැසිරවිය හැකි බව තිබ්බත මළ පොතෙහි දැක්වේ.

මෑත යුගයේ ප්‍රචලිත මෝහන ප්‍රතිගමන ක්‍රියාවලිය මගින්ද මෙකී අන්තරාභවික ස්වභාවය තහවුරු කෙරෙන සාක්‍ෂ්‍ය එළවනු ලැබෙයි. පෙර භවයේ මිය ගිය ඇතැම් අය , විශේෂයෙන් අකාල මරණයන්ට ගොදුරු වූවෝ, ඊළඟ භවයේ උපත ලැබීමට ප්‍රථම යම් කාලයක් අවකාශයේ පා වෙමින් (තම කැමැත්තට අනුව නොවේ) සිටින බව එමගින් ප්‍රකාශ කෙරේ. මේ අන්තර් ස්වරූපය පහසුවෙන් ඉවත දැමිය නොහැකිබව වටහා ගත් ථෙරවාදිහු එය තවත් උත්පත්ති භවයක්ම විය යුතුයයි අනුමාන කරති. මහායානිකයෝ දක්වන අන්තරාභවිකයා එවැන්නෙකු නොව මිය ගිය අයම නැවත උපතක් ලබන තුරු සිටින සූක්‍ෂම අදිසි ස්වරූපයකි

. මේ අතර මිය ගිය අය ඒ ස්වරූපයෙන්ම සමහර අවස්ථාවල දුටු අය ගැනත්, ඡායාරූපවලට හසුවුණු අවස්ථා ගැනත් අද අනාවරණය වී තිබීම මිථ්‍යාවක් නොවේ. මිය ගිය තැනැත්තා උපතක් කරා ගොස් වෙනත් කයක් දරා තවත් උත්පත්ති භවයක් ලැබීමක් ලෙස මෙම අන්තර් කාලය ප්‍රකාශ කෙරෙන්නේ නම්, පෙර දැරූ කායික ස්වරූපයෙන්ම පෙනී සිටිය හැකිද යන ප්‍රශ්නය පැන නැගෙයි.

මා මෙහිදී වෑයම් කරන්නේ ඉහතින් සඳහන් කළ මරණය හා ඉන්පසු උත්පත්ති ස්වභාවය පිළිබඳව සමහර සූත්‍රාන්ත දේශනාද විද්වත් මතද වෙනත් පිළිගැනීම්ද ගළපා අපට හැඟෙන අධ්‍යයනයක් කිරීමටයි. කරුණු ගළපා ආකාර පරිවිතක්කයෙන් කෙරෙන මෙය ඔබගේ නිදහස් චින්තනයට කෙරෙන ආරාධනයක් මිස, ප්‍රත්‍යක්‍ෂ කාරණාවලට ස්වාභිමතයට අනුව අළුත් අර්ථ කථන දීම අද සුලභ දෙයකි. මෙය එවැනි පරිශ්‍රමයක්ද නොවේ.

ඉන්ද්‍රියෝපච්ඡේද , ක්‍ෂණික, සමුච්ඡේද, සම්මුති වශයෙන් මරණය ආකාර හතරකි. එහි පළමුවැන්න නැවතත් ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛය, උපච්ඡේදක (අකාල) යනුවෙන් සිව්වැදෑරුම් වෙයි. කෙනෙක් මිය ගිය විට එහි ස්වභාවය මෙකී ඉන්ද්‍රියෝ පච්ඡේද මරණයේ ආකාර හතරට ගළපා කථා කිරීම සාමාන්‍යයෙන් සිදුවෙයි. නමුත් මරණය පිළිබඳ මුල් වර්ග කිරීමේදී ආකාර හතරට අයත් සම්මුති මරණය පිළිබඳව වැඩිදුර විභාග කෙරෙන අවස්ථා ප්‍රකට නොවේ. බොහෝ පොත් පත් වල “ ගස මැරුණෝය” වශයෙන් ගත යුතුයැයි දක්වා කාරණය ඉක්මවා යන බව දැක ගත හැකිය.

සම්මුතිය යනු එළඹ ඇති අවස්ථාවට හා කාරණාවලට අනුව දෘෂ්‍ය සාධක මත ගැනෙන නිගමනයකි. අභිධර්මයෙහි දැක්වෙන සම්මුති සහ පරමාර්ථ ධර්ම සමඟ පටලවා නොගෙන මෙය විමසා බැලිය යුතු වෙයි. ඒකාන්ත නිගමනයක් කරායාමට අදෘෂ්‍ය සාධකද අවශ්‍යය. ප්‍රධාන වශයෙන් දෘෂ්‍ය නිරීක්‍ෂණ සාධක තුනක් සලකා වෛද්‍යවරයෙකු විසින් කෙනෙක් මැරුණායැයි නිගමනය කරනු ලබයි.

එසේ නිගමනය කෙරුණු සමහර අයට නැවත පන ආ අවස්ථා අපට අසන්නට ලැබෙයි. වෛද්‍ය නිගමනය නිවැරැදි වන්නේ දෘෂ්‍ය සාධක මතය. මරණය පිළිබද බෞද්ධ මතය මේ සීමා ඉක්මවා යයි. සම්මුති මරණය යැයි ගැනෙන පුද්ගලයෙකුගේ මරණය සිදුවන ඉන්ද්‍රයෝ පච්ඡේද මරණයේ ආකාර සතරෙන් අන්‍ය වූ වෙනත් ආකාරයක්ද නැත.

කෙනෙක් මැරුණේය යන නිගමනය ජීවත්ව සිටින අය විසින් දෘෂ්‍ය සාධක මත ගැනෙන සම්මුතියකි. එය විචිකිච්ඡා පරවශව ගනු ලබන අනුමානයක් නොවේ. ආයුෂය ක්‍ෂයවීමෙන්, කර්මය ක්‍ෂය වීමෙන්, ඒ දෙකම ක්‍ෂයවීමෙන් හෝ අකාල හේතුවකින් හෝ සිදුවන දෘෂ්‍ය මරණයම සම්මුති මරණය යැයි බුදුරජාණන් වහන්සේ සහේතුකව වදාළ සේක. මේ සහේතුක භාවය විමසීමට යොමුවීම ඉතා වැදගත් බව පෙනේ. එම හේතු දෘෂ්‍ය සාධක ඉක්මවා යන බව පැහැදිලිය.

සත්ත්වයාගේ මරණයේ දී ඕලාරික ශරීරයෙන් හෙවත් භෞතික රූප කායෙන් විඤ්ඤාණයාගේ නික්මීමක්, ඉවත්වීමක්, වෙන් වීමක් හෝ අතහැරීමක් සිදුවන අතර එසේ වෙන් වන විඤ්ඤාණයට පුනර්භවයක් ගෙන දීමේ සංඛාර ශක්තිය ඇති බැවින් අභිංසඛත විඤ්ඤාණයයි කියනු ලැබේ. එය නාම රූප ප්‍රතිෂ්ඨාව ලබන නිසා පටිසන්ධි විඤ්ඤාණය ලෙසද දැක්වේ. සම්පසාදනීය සූත්‍රයේ (දී.නි.) දැක්වෙන පරිදි සංසාරගත සත්ත්වයාගේ විඤ්ඤාණය මෙලොවත් පිහිටා ඇත.

පරලොවත් පිහිටා ඇත. (පුරිසස්සච විඤ්ඤාණ සෝතං පජානාති, උභයතෝ අබ්බෝච්ඡින්නං ඉධ ලෝකේ පතිට්ඨිතඤ්ච පරලෝටක් පතිට්ඨිතඤ්ච) සතර මහා භූත රූපයෝ එහි පිහිටත්. එවැනි සංඛාර ශක්තියක් නොමැති බැවින් රහතන් වහන්සේගේ රූපස්කන්ධයෙන් ඉවත්වන විඤ්ඤාණය අනිදස්සන විඤ්ඤාණය නම් වෙයි. එහි සතර මහා භූත රූප ප්‍රතිෂ්ඨාව නොලබත්. (විඤ්ඤාණං අනිදස්සනං – අනන්තං සබ්බතෝ පභං , එත්ථ ආපෝච පඨවි – තේජෝ වායෝ නගාධති “ (කේවඩ්ඩ සූත්‍රය, දී.නි.) ඒ අනුව රහතුන්ගේ අනුපාදිශේෂ පරිනිර්වාණය සම්මුති මරණයක් නොව නිත්‍ය මරණයකි. චුති චිත්තයේ විපාක සිතක් නොමැති බැවින් පුනර්භවයක්ද නැත. මෙහිදී අපගේ විමසුමට භාජනය විය යුත්තේ සත්ත්වයා පුනර්භවයක් කරා ගෙන යන අභිසංඛත විඤ්ඤාණයේ ඉවත් වීමෙන් සිදුවන සම්මුති මරණයේ ස්වභාවය පිළිබඳවයි.

අප දරා සිටින මේ කය වනාහි පඨවි, ආපෝ, තේජෝ , වායෝ, වර්ණ, ගන්ධ, රස ,ඕජා, යන ශුද්ධාෂ්ටකයෙන් පමණක් සමන්වාගත ඝන රූපකායක් පමණක් නොවේ. මෙහි ස්වභාවය පිළිබඳ ඕලාරික මනෝමය, හා අරූපී වශයෙන් ආත්ම ප්‍රතිලාභ හෙවත් ශරීර තුනක් ඇත්තේය. (තයෝ ඛෝ මේ පොට්ඨබපාද අත්ත පටිලාභා, ඕලාරිකෝ අත්ත පටිලාභෝ, මනෝමයෝ අත්ත පටිලාභෝ , අරූපෝ අත්ත පටිලාභෝති) කරජකාය, භෞතික ශරීරය, ආදී පර්යාය නම් වලින් හැඳින්වෙන, කබලිංකාර ආහාරයෙන් පෝෂණය වන මේ ඕලාරික ශරීරය එකකි. දෙවැන්න මනෝමය ශරීරයයි. මනෝමය කියු විට අරූපීයැයි හැඟීමක්ද, ශරීරය කියූවිට රූපියයි හැඟීමක්ද අප තුළ මතුවෙයි. පිරීහි නොගිය ඉඳුරන් සහිත සියලු අංග ප්‍රත්‍යයන් ගෙන් යුක්ත වූද ඕලාරික ශරීරයේ රූපනයම ගන්නා වූද මනෝමය කාය රූපී එකක් බව සූත්‍රයේ සඳහන් වේ.

මතු සම්බන්ධයි

ආශි‍්‍රත ග්‍රන්ථ – සං.නි. සළායතන වග්ග දීඝනිකාය, බෞද්ධ දර්ශනය, (හේන්පිටගෙදර ඤාණසීහ හිමි) ඛුද්දක නිකාය, Nibbana - Voiumes 1 -v (කටුකුරුන්දේ ඤාණානන්ද හිමි)

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.03 ට ලබයි. 31 වන දා ඉරිදා පූර්ව භාග 05.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.

මී ළඟ පෝය
නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]