UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |


අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

නිකිණි අමාවක 2010.09.08


බිලි පූජා හා අධ්‍යාත්මික දිළිඳුකම

ලාවත මුන්නේස්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික බිලි පූජාව අරබයා ඇති වී තිබෙන විවාදය ඵලදායී අයුරින් අවසන් කැර ගැනීම අප සියලු දෙනා ගේ යුතුකම ය. ඒ සඳහා අදාළ පාර්ශ්වයන් දක්වන අදහස් කෙරෙහි අවධානය යොමු කිරීම මැනවැයි සිතමු. එම බිලි පූජාවට විරෝධය පළ කිරීම පිණිස ජාතික සංඝ සම්මේලනය විසින් පසුගිය 25 වන දා කාලි කෝවිල ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වීමට සංවිධානය කැර තිබිණ. ඊට නායකත්වය දුන් බණ්ඩිරිප්පුවේ විනීත හිමියන් විසින් අගෝස්තු 29 වන දා ලංකාදීපයට දක්වන ලද අදහස් කෙරෙහි ප්‍රථමයෙන් ම අවධානය යොමු කැරේ.

“මුලින් ම කියන්න ඕනෑ අහිංසක සතුන් ආගමික කටයුතුවලට යැයි කියමින් බිලි පූජාවලට මරා දැමීමට අපි විරුද්ධයි. මේ සිදුවන මහා අපරාධයට මම අගෝස්තු 20 වන දා හලාවත පොලීසියට පැමිණිලි කළා. නමුත් පොලීසිය අද වෙනකම් ඒ ක්‍රියාවට නීතිය ක්‍රියාත්මක නොකර අපේ සත්‍යග්‍රහයට 25 දා උදේ අධිකරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා. පොලීසිය මේ අධිකරණ නියෝගය ලබා ගෙන තිබෙන්නේ අධිකරණයට කරුණු වසංගලා. ඇයි පොලීසියට බැරි වුණේ මේ මහා සත්ව ඝාතනය පිළිබඳ ව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න. එ සේ නො කර මේ දේ කරන්නේ අර මරා දමන සතුන්ගේ මස් ලබා ගන්න. මේ මරා දමන එක එළුවකු මරන්න රුපියල් දහසකුත්, කුකුළකුට රුපියල් තුන්සිය හැටපහකුත් දේවාලයට ලබා දෙන්න ඕනෑ .”

මුන්නේස්වරම් භද්‍රකාලි කෝවිලේ කුරුක්කුල් මරියපිල්ලේ මහේන්ද්‍රන් සාමි එහි දී දක්වා තිබූ අදහස් මෙහි පහත උපුටා දක්වමු.

“මේ භද්‍රකාලි කෝවිලේ සත්ව පූජා පටන් අරන් වසර සියයකට වඩා වැඩි යි. නොකඩවා එය වාර්ෂික ව සිදු කරනවා. මේ සතුන් කෝවිලට පූජා කරන්නේ කෝවිලට බාර හාර වුණු බැතිමතුන්. අපි කවදාවත් බැතිමතුන්ට කියා නෑ සතුන් බාරවලට දෙන්න කියලා. ඔවුන් තමා බාර වෙලා ඒවා ඔප්පු කරන්නේ. යම් පුද්ගලයකු බේරා ගැනීමට තමයි ප්‍රාණයට ප්‍රාණයක් ලෙස සතුන් පූජා කරන්නේ. අපි කවදාවත් බැතිමතුන්ට කියා නෑ එළුවන්, කුකුළන් දෙන්න කියලා. හැබැයි කෝවිලට බාර දෙන හැම සතෙකුම මරන්නේ නැහැ. මරන්නේ නැති සතුන් අපි පිට අයට විකුණනවා. මේක ආගමික කටයුත්තක්. මේ කෝවිලට බාර ඔප්පු කරන වැඩි පිරිස සිංහල අය යි.”

මේ ප්‍රකාශ දෙක කියවා බැලූ විට හලාවත බිලි පූජාව ගැන ප්‍රමාණවත් අවබෝධයක් අප පාඨකයන්ට ලැබෙනු ඇත. එම අවබෝධය වඩාත් පුළුල් කිරීම පිණිස කාලි දේවතාවිය (යක්‍ෂණිය) ගේ උත්පත්තිය පිිළිබඳ කතාව දෙස අවධානය යොමු කරමු.

තරුණ සිටු කුමරකු හා විවාහ වූ කාන්තාවකට දරු සම්පත් නො ලද බැවින් ඇය ගේ ද කැමැත්ත ඇති ව එම කුමරා දෙවන විවාහයක් සිදු කර ගෙන තිබේ. දෙවන විහායේ බිරිඳට දරුඵල ලකුණු පහළ වන්නට පටන් ගත් විට පළමු විවාහයේ බිරිඳ ඇය කෙරෙහි වෛරයක් ඇති කැර ගත්තා ය. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු බිරිඳ විසින් දෙවන බිරිඳ ගේ දරුගැබ විනාශ කරන ලදී. මෙ සේ දෙවන තෙවන දරු ගැබ් ද විනාශ කළ පළමු බිරිඳ, සිවුවන දරුගැබ මෝරා යනතුරු නො දුටුවා ය. එම මේරු දරුගැබ විනාශ කිරීමට යෙදූ විෂ නිසා දෙ වන බිරිය මරණයට පත් විය. පළමු බිරිඳ කළ මේ අපරාධය, මරණාසන්න මොහොතේ වටහාගත් දෙවන බිරිඳ ඇය කෙරෙහි වෛරයකින් යුතු ව පළිගැනීමේ චේතනාවෙන් කාලි යකින්න ලෙස ඉපදිණ.

මේ කතාව අනුව කාලි යක්‍ෂණිය ගෙන් සංකේතවත් වනුයේ කුමක් දැයි පැහැදිලි ය. කාලි වැනි විනාශකාරී සංකල්පයක් සරණ යෑම මිනිස්කමට ගැළපේ ද යන්න ප්‍රශ්නයකි. එ බඳු පිරිහුණු මානසිකත්වය සහිත මිනිසුන් එයින් මුදවා ගන්නේ කෙ සේ ද යන්න අප ඉදිරියේ ඇති ප්‍රශ්නය යි. සෑම ආගමකට ම අයත් පුද්ගලයන් මේ බිලි පූජාවට සහභාගී වන බව ද අප ගේ අවධානයට යොමු විය යුතු කරුණකි. මෙහි දී වික්ටර් ෆ්රෑන්කල් ගේ අධ්‍යාත්මික ප්‍රතිකාර පිළිබඳ ව සලකා බැලීම මැනැවැයි සිතමු. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යාපාරත්න වීරසේකර විසින් ශ්‍රද්ධාඤ්ජලී උපහාර ශාස්ත්‍රීය සෘග්‍රහට ලියූ ලිපියක් මෙහි උපුටා දක්වනු ලැබේ.

“වික්ටර් ෆ්රෑන්කල් මිනිසා යන සූත්‍රයට අධ්‍යාත්මිකත්වය යන්න එකතු කළේ ය. ජීව විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක හා අධ්‍යාත්මික වශයෙන් මිනිසාට ලෝක හෙවත් මාන තුනක් තිබේ. මෙහි ජීව විද්‍යාත්මක ලෝකය යනු භෞතික ශරීරය ද ඇතුළු ව භෞතික ලෝකය යි. භෞතික ශරීරය මරණයේ දී පොළොවට පස් වේ.”

‘මිනිසාගේ සිතුම් පැතුම්, කල්පනා, විශ්වාස ආදියෙන් ඔහුගේ මනෝවිද්‍යාත්මක ලෝකය සකස් වේ. පුද්ගලයාගේ මානසික අංශය යහපත්ව පවත්වා ගැනීම සඳහා අන්තර් පුද්ගල සම්බන්ධතා ඉතා වැදගත් ය. නමුත් ෆරෑන්කල් විශේෂයෙන් අවධාරණය කළේ අධ්‍යාත්මික ලෝකය යි. ෆ්රෑන්කල් දක්වන අධ්‍යාත්මික ලෝකය උපදේශනය හා මනෝ ප්‍රතිකාරයේ දී ඉතා වැදගත් ය.’

‘ධර්ම ප්‍රතිකාරයේ දී අවධානය යොමු කරනුයේ පුද්ගලයාගේ අධ්‍යාත්මික ලෝකය කෙරෙහි ය. එයට හේතුව අධ්‍යාත්මික හිඩැස මිනිසාට ස්වකීය පැවැත්මේ අර්ථය තේරුම් ගැනීමට බාධාවක් වීම යි. භෞතිකවාදී විශ්වාස විසින් පුද්ගලයා අධ්‍යාත්මික ලෝකයෙන් ඈත් කරනු ලබයි. උපන් දා සිට මැරෙන තෙක් සැපවත් ජීවිතයක් අපේක්‍ෂා කරන්නේ ඒ නිසා ය. බුදු දහමට අනුව ද මිනිසා සැපත අපේක්‍ෂා කරන අතර දුක පිළිකුල් කරයි.’

මේ සියලු කරුණු වලින් පැහැදිලි වන්නේ කුමක් ද? අධ්‍යාත්මික දිළිඳුකම නිසා බිලිපූජා වැනි පිළියම් සොයන බව ය. එ සේ නම් විරෝධතා හෝ අධිකරණ ක්‍රියාමාර්ග මඟින් මේ අධ්‍යාත්මික දිළිඳුකම තුරන් කළ හැකිදැයි අප සිතා බැලිය යුතු ය.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 07 වන දා අඟහරුවාදා අපර භාග 07.53 ට ලබයි.
8 වන දා බදාදා අපර භාග 04.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර් 15 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]