UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

නවම් අව අටවක - 2010.02.05


කාලය හා අවකාශය

ටේ පැවැති දේශපාලන උණුසුම නිසා යටපත් ව ගිය වැදගත් මාතෘකාවක් ගැන සාකච්ඡා කිරීමට අද අපි අදහස් කළෙමු. එනම් චන්ද්‍ර මාස ක්‍රමය හා ව්‍යවහාර දින දර්ශනය අතර ඇති නො ගැළපීම කාලය හා අවකාශය යටතේ සාකච්ඡා කිරීම ය.

සිංහල මාස ක්‍රමය අනුව නවම් යනුවෙන් හඳුන්වනු ලබන්නේ් ව්‍යවහාර දින දර්ශනයේ පෙබරවාරි මාසය වුව ද මේ වසරේ ජනවාරි මස 29 වන දිනට නවම් පුර පසළෙස්වක යෙදී තිබිණ. එ පමණක් ද නො ව අධි වෙසක් පුර පසළොස්වක පොහොය මේ වසරේ අපේ‍්‍රල් මස 28 වන දිනට යෙදී ඇත.

බක් මාසයෙන් ඇරැඹෙන චන්ද්‍ර මාස ක්‍රමය අනුව වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප්, දුරුතු, නවම්, මැදින් යනුවෙන් මාස දොළහකට බෙදේ. උත්තරායන (එ නම් සූර්යයා ගේ උතුරෙන් ගමන් කැරෙන හය මාසය) වසන්ත සෘතුව ආරම්භ වනුයේ ද චන්ද්‍ර වර්ෂයෙහි ප්‍රථම මාසය වන බක් මාසයෙනි. චන්ද්‍ර මාස ක්‍රමය ජීව ලෝකයෙහි ස්වභාවික විපර්යාස විද්‍යානුකූ®ල ව නිරීක්ෂණය කිරීමෙන් ලද ඓතිහාසික ප්‍රතිඵලයකි. මිනිස් සිරුරේ සියලු වෙනස්වීම් චන්ද්‍ර වාරය අනුව සිදුවන බැවින් පිළිසිඳ ගැනීම, උත්පත්තිය, වැඩිවිය පැමිණීම, මරණය හා අනෙකුත් සෞඛ්‍ය විපර්යාස තේරුම් ගැනීමට චන්ද්‍රයා ගේ හැසිරීම පරීක්ෂා කළ යුතු ය. ගෞතම බුදුන්වහන්සේ ගේ උත්පත්තිය, බුද්ධත්වය හා පිරිනිවන්පෑම වෙසක් පොහොය දිනයේ සිදුවීම එම ස්වභාවික තත්ත්වය යටතේ තේරුම් ගැනීමට පුළුවන.

කාලය හා අවකාශය පිළිබඳ දාර්ශනික විවාද වෙත මෙහි දී අවධානය යොමු කිරීම අවශ්‍ය යැයි හැඟේ. ක්‍රි.පූ. 1500 හා 900 අතර කාලය තුළ ලියැවී ඇතැයි සැලැකෙන සෘග්වේදයේ සඳහන් අඝමර්ෂණ ගේ කාලවාදය අනුව ජීවිතය හා මරණයට තීරණාත්මක ව බලපාන බලවේගය කාලය යි. කාලය විසින් මිනිසා ඇතුළු සමස්ත ලෝකයට අයත් භෞතික වස්තූන් විපරිණාමයට භාජනය කොට ඇති බව ද අඝමර්ෂණ පෙන්වා දී තිබේ.

කාලය මැනීම සඳහා දැනට භාවිත වන මිම්ම සකස් කැර ඇති ආකරය අපි දැන් විමසා බලමු. එය සිංහල විශ්වකෝෂයෙහි මෙ සේ විස්තර කොට තිබේ.

‘සම්මත කාල මිම්මක් ලෝකය පුරා අනුගමන කරනු ලැබේ. එංගලන්තයේ ගි‍්‍රනිච් නුවර හරහා යන මධ්‍යහ්න රේඛාවේ සිට මනිනු ලබන වේලාව මේ සඳහා යොදා ගනිත්. මෙම රේඛාවට මධ්‍යහ්නය උදාවන විට ඊට 1800 ක් බටහිරින්, නැත්නම් 1800 ක් නැඟෙනහිරින් පිහිටි ස්ථානයට මැදියම් රැය උදා වේ. සම්මත කාල මිම්ම උපයෝගි කැර ගැනීම සඳහා පෘථිවිය 150 බැගින් වූ කාලවලට බෙදනු ලැබේ. ඒ ඒ කලාපයේ සම්මත මධ්‍යහ්න රේඛාවකට අනුරූප වන කාලය ඒ ඒ කලාපයේ සම්මත කාලය වශයෙන් උපයෝගී කැරගනු ලැබේ. එක් එක් කලාපය අතර ඇති වෙනස පැය එකකි. ඒ අනුව කිසි යම් කලාපයකට නැඟෙනහිරින් ඇති කලාපයේ වේලාව පැයකින් වැඩි වන අතර බටහිරින් ඇති කලාපයේ වේලාව පැයකින් අඩු වේ. එ නම් ගි‍්‍රනිච් මධ්‍යාහ්නයෙන් 150 බැගින් නැඟෙනහිරට පිහිටි සෑම මධ්‍යාහ්නයක් ම පැයක් ඉදිරියෙන් ද 150 ක් බටහිරින් පිහිටි සෑම මධ්‍යාහ්නයක් ම පැයක් අඩුවෙන් ද වේලාව ගණන් ගනු ලැබේ’.

මේ ආකාරයට නිර්ණය කැරෙන කාලය අනුව හැසිරෙන අප ගේ ජීවිත වර්තමාන ග්‍රෙගරියානු දින දර්ශනය සමඟ බැඳී ඇත. එහෙත් පොහොය පවුරුණු චක්‍රය පිළියෙළ කිරීමට හා නක්ෂත්‍ර කටයුතු වලදී තවමත් යොදා ගනු ලබන්නේ චන්ද්‍ර මාස ක්‍රමය යි. කෙ සේ වුව ද චන්ද්‍රමාස ක්‍රමය ගැන කතා කැරෙන මේ මොහොතේ අධිමාසවාදය ද සිහිපත් කළ යුතු ය. ඒ සඳහා සිංහල විශ්වකෝෂය යළි උපුටා දැක්වීමට කැමැත්තෙමු.

‘බුදුරජාණන් වහන්සේ වර්ෂා සෘතුයෙහි වස් එළැඹිය යුතු යැයි ශ්‍රාවකයනට ශික්ෂාපද පැනැ වූ සේක. යළි ඇසළ පුන් පොහොය ගෙවී ගිය පෑළවිය දිනයෙහි වස් එළැඹිය යුතු යැයි ද, අධිකමාස පැමිණි වර්ෂයෙහි ඒ අධික මාසය හැරපිය යුතු යැයි ද නියම කළ හ. පූර්ණිමාන්තාවධි අමාන්තාවධි යන එක් එක් මාස ක්‍රමය අනුව අධිකය හළ යුතු වර්ෂය වෙනස් වෙයි. පසළොස්වක හිම් කොට මාසය ගණින පූර්ණිමාන්තාවධි ක්‍රමයෙහි යම් සෞර මාසයක් ඇතුළත පුර පසළොස්වක් දෙකක් යෙදේනම් ඒ වර්ෂයෙහි අධිකය හළ යුතු වෙයි. අමාවක හිම් කොට මාසය ගණින අමන්තාවධි ක්‍රමයෙහි එක රවි මාසයක දී අමාවක දෙකක් යෙදෙන වර්ෂයෙහි අධිකය හළ යුතු වෙයි. මෙයින් කවර මාස ක්‍රමයක් අනුව අධිකය හැර වස් එළැඹිය යුතු ද යන්නෙහි ලා මෙම අධිමාසවාදය ආරම්භ වූ බව පෙනේ. වාදය පිළිබඳ ඇතැම් ලියවිලිවල ක්‍රි.ව. 1855 වර්ෂය සඳහන් ව තිබෙන හෙයින් වාදයේ පටන් ගැනීම ඉනුදු පූර්වයෙහි යැයි සිතිය හැකි වේ.”

දින 354 ක් ඇති චන්ද්‍ර වර්ෂය මෙන් ම දින 365 ක් ඇති සූර්ය වර්ෂය ද මාස දොළසකින් යුක්ත ය. එ බැවින් සූර්ය වර්ෂයකට චන්ද්‍ර මාස දොළසක් හා දින එකොළහක් තිබේ. මේ නිසා සූර්ය මාස 33 ක් වන විට චන්ද්‍ර මාස 34 ක් වෙයි. මෙහි වැඩි වී ගිය මාසය ඇති තුන්වන වර්ෂයෙහි චන්ද්‍රමාස දහතුනක් වන හෙයින් ඉන් එකක් ‘අධිකමාසය’ ලෙස සලකා වසර සම කැර ගැනීම සම්මතය වී තිබේ.

කාලය හා අවකාශය පිළිබඳ දාර්ශනික මතවාද මෙන් ම චන්ද්‍රමාස ක්‍රමය හා ව්‍යවහාර දින දර්ශනය යන කරුණු අප ගේ් ජීවිත සමඟ බැඳී පවත්නා ආකාරය මෙයින් පැහැදිලි වනු ඇත. එහෙත් කාලයාගේ ඇවෑමෙන් සියලු සත්ත්වයා ජාති, ජරා, මරණයට ගොදුරු වේය යන බෞද්ධ ඉගැන්වීම අපට වඩාත් වැදගත් ය. එම සත්‍යය කරා ළඟාවීමට කාලය හා අවකාශය පිළිබඳ මාතෘකාව ප්‍රයෝජනවත් වේවා.

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 5 වන දා සිකුරාදා අපර භාග 5.23 ට ලබයි. 6 වන දා සෙනසුරාදා අපරභාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 05 වන දා සිකුරාදා ය.

මී ළඟ පෝය පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය..


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]