UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

උඳුවප් අව අටවක 2009 - 12 - 09

ජීවයේ පදනම සුරකිමු

සුගිය සතියේ අඟහරුවාදා දිනට යෙදී තිබුණු උඳුවප් පුර පසළොස්වක පොහොය දා මේ වසරේ ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ විය. සෑම වසරක ම උඳුවප් පොහොය දා සිට ඊළඟ වසරේ වෙසක් පොහොය දක්වා පවතින සිරිපා වන්දනා සමය තුළ ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් සිරිපා කරුණා කරති. වසර තිහක් පුරා පැවැති යුද බිය නිමා වූ පසු ඇරැඹි පළමු සිරිපා සමය වන මේ වාරයේ දී සිරිපා වන්දනාව සඳහා පැමිණෙන සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කැරේ. මෙය, ඊට අදාළ සේවා සපයන්නන් ගේ පමණක් නො ව පරිසරවේදීන් ගේ, ප්‍රතිපත්ති සම්පාදකයන් ගේ මෙන් ම සමාජ විද්‍යාඥයන් ගේ විශේෂ අවධානයට යොමු විය යුතු කරුණකි.

1940 දී අභයභූමියක් ලෙස ප්‍රකාශිත හෙක්ටයාර් විසි තුන්දහස් තුන්සිය පනහක් පුරා පැතිර පවත්නා සිරිපා අඩවිය අතිශය ජෛව විවිධත්වයෙන් යුක්ත ය. ශ්‍රී ලංකාවේ ජීවය ලෙස සැලැකිය යුතු ප්‍රධාන ම ගංගා සතර ආරම්භ වනුයේ සිරිපා අඩවියෙනි. ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ශාක විශේෂ අසූවක් පමණ මෙහි දක්නට ලැබේ.

සිරිපා වන්දනාව අතීතයේ දී මෙන් දැඩි අවදානමක් සහිත ගමනක් නො වූව ද තවමත් දුෂ්කර චාරිකාවක් බව කිව යුතු නැත. මුහුදු මට්ටමේ සිට අඩි හත් දහස් අටසිය හැටක් පමණ ඉහළින් පිහිටි ශ්‍රී පාද කඳු මුදුන තරණය කිරීම එ තරම් පහසු කාර්යයක් නො වේ. එහෙත් එම දුෂ්කරතාව සතුටින් විඳ ගැනීමට අපි පුරුදු වී සිටිමු. ඒ ඇයිදැයි යන ප්‍රශ්නයට පිළිතුරු සපයමින් තිස්ස අබේසේකර සූරීන් සිරිපා කරුණා කිරීමෙන් ලද අත්දැකීම විචිත්‍ර ලෙස සටහන් කැර තිබේ. ‘අයාලේ ගිය සිතක සටහන් ‘ නමැති කෘතියෙහි දැක්වෙන මේ අදහස අප ගේ අවධානයට යොමු විය යුතුය.

‘මුලින් ම සිරිපා දේ ගියා මට මතක ය. ඒ සිංහල අවුරුද්දෙන් පසු එළඹුණු මුල් ම සතියේ දී ය. ‘කන්ද උඩරට මිනිස්සු අවුරුදු කාලා පින් දෙන්න තමයි පද්මේ කරුණා කරන්නේ. ‘ අම්මා කීවා ය.’

‘මුළු රැයක් පුරා සිරිපාදේ නැග්ග අපි ඉර සේවයට පැයක් පමණ තියා අඳුරේ ම මළුවට පිවිසියෙමු. එදා මා දුටු ඉර සේවයත්, ඒ මොහොතේ දී මළුවේ ඇති වු තත්ත්වයත් මට කිසි දිනෙක අමතක කළ නො හැකි ය. සමනළ කන්දේ හෙවණැල්ල රටේ බටහිර කලාපය වසා පැතිරෙන ගන මීදුම් පටලය මත පතිත වූ එය අරුම පුදුම දර්ශනයකි. එදා මෙදා මතු දා තුන්කල් එක් කරන ආශ්චර්යවත් මංගල මොහොතකි. ඒ මංගල එළියෙන් එදා නිමේෂයක දී මට බොහෝ දේ පෙනී ගියේ ය. මගේ රටේ , මගේ ජාතියේ, මගේ උරුමයේ සාමුහික ආත්මය මම ස්පර්ශ කළෙමි. එදා මෙදා තුර මා ලියූ බොහෝ කතන්දර පුරා සමනළ කන්දේ හෙවණැල්ලත් ඉන් ඔබ්බේ උදාවන හිරුත් අඩු වැඩි වශයෙන් සිතුවම් වෙයි. “

ශ්‍රී ලාංකික බෞද්ධයන් ගේ අධ්‍යාත්මය තුළ සිරිපා වන්දනාවට හිමි තැන එම සටහනෙන් යම් තරමකට හෝ පැහැදිලි වනු ඇතැයි සිතමු. එහෙත් එය නිසි ලෙස වටහා ගැනීම සඳහා ඒ හා බැඳුණු ජනප්‍රවාද මෙන් ම චාරිත්‍ර විධි ආදිය හැදෑරිය යුතු ය.

සුමන සමන් දෙවියන් ගේ ආරාධනයෙන් සමනළ කන්දට වැඩම කළ බුදුරදුන් ඉන්ද්‍රනීල මාණික්‍යයක් මත වම් සිරිපා ලකුණ පිහිටුවා වදාළ සේක. ශ්‍රී පාද ලාංඡනය ආරක්‍ෂා කිරීම සඳහා ඉන්ද්‍රනීල මාණික්‍යය කළුගල් පුවරුවකින් වසා තැබීමට පසු කලෙක නිශ්ශංකමල්ල රජතුමා කටයුතු කළ බව ජනප්‍රවාදයේ එයි. බුදු රදුන් ගේ ශ්‍රී පාද ලාංඡනය නිසා පූජනීයත්වයට පත් මේ භූමිය වන්දනා කිරීම ක්‍රිස්තු පූර්ව යුගයේ පටන් පැවැති චාරිත්‍රයකි. සෑම වසරක ම උඳුවප් පුර පසළොස්වක පොහොය දිනට දින දෙකකට පෙර පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරයේ පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනවකින් සිරිපා වන්දනා සමයේ ආරම්භය සනිටුහන් කරයි. එම විහාරස්ථානයේ ආරක්‍ෂිත ව තැන්පත් කැර ඇති සධාතුක කරඬුව හා සුමන සමන් දේව ප්‍රතිමාව ඉන් පසු ව යෙදෙන සුබ නැකතකට අනුව පිටපතට වැඩම කිරීම සිරිත ය.

මේ කරුණු අනුව සිරිපා වන්දනාවේ සැබෑ අරුත වටහා ගැනීමට අප උත්සාහ දැරිය යුතු ය. සමනොළ කඳු සිරිස වැනි දුෂ්කර ස්ථානයක බුදු රදුන් ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළ හේතුව කුමක් දැයි අවබෝධ කැර ගැනීම හැර ඒ සඳහා වෙනත් මඟක් නැත. ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීම හුදු මතක සටහනක් යැයි කීම බුදු රදුන් ගේ මහා ප්‍රඥාව නො සලකා හැරීමකි. ජලය ජීවයේ පදනම බව හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජල මූලාශ්‍ර ඇරැඹෙනුයේ සමනොළ අඩවියෙන් බව මෙහි දී අමතක කළ යුතු නො වේ. එ සේ නම් බුදු රදුන් ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා සමනොළ කන්ද පූජනීයත්වයට පත් කිරීම යනු අප ගේ ජල මූල‍්‍රාශ්‍රයන්හි දීර්ඝ කාලීන පැවැත්ම පිණිස ගත් පියවරක් නො වේ ද?

එ බැවින් අප ගේ ජීවයේ පදනම ආරක්‍ෂා කැර ගැනීම සඳහා ශ්‍රී පාදස්ථානය රැක ගැනීම අප සියලු දෙනා ගේ වගකීමකි.

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 08 වන දා අඟහරුවාදා අපර භාග 06.40 ට ලබයි.
9 වනදා බදාදා අපර භාග 05.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වනදා බදාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]