UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

යහගුණ ගැයීම

සමාජයේ පිරිහීම පිළිබඳ නිදර්ශන අප අවට ඕනෑ තරම් තිබේ. ත්‍රිකුණාමලයේ විසූ ජූඩ් වර්ෂා නමැති සය හැවිරිදි දැරිය පැහැර ගෙන ගොස් කප්පම් මුදලක් ඉල්ලා දූෂණය කැර මරා දැමීම මෙන් ම සෙලින්කෝ සමූහ ව්‍යාපාරය යටතේ පැවැති ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පත් කළ රුපියල් බිලියන තිහක් පමණ එම ආයතනයේ අක්‍රමිකතා නිසා තැන්පත් කරුවන්ට ලබාගත නො හැකි වීම ආදිය ඉතා මෑත දී අපට ලැබුණු නිදර්ශනයන් ය.

මෙ තරම් බරපතළ පිරිහීමක් තිබිය දී වූව ද සමාජය හොඳින් ඉදිරියට ගමන් කිරීම සියලුදෙනාට පුදුමයක් විය හැකි ය. එහෙත්, ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පති ලබුතලේ සුදස්සන හිමියන් වැනි සුළු පිරිසක් අප සමාජයේ ජීවත් වන බැවින් අප ඒ ගැන පුදුම විය යුතු නැත.

වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාමවාසී ලබුතලේ සුදස්සන හිමියන් ගේ ආදර්ශවත් ක්‍රියාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ද ඇගයීමට ලක් කැර තිබේ. එ බැවින් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබුණු එම ක්‍රියාව පිළිබඳ ව අප පාඨකයන් දැනුවත් ව සිටින බවට සැකයක් නොමැත. එ සේ වූව ද එය මෙහි සටහන් කැර තැබීම අප ගේ ඓතිහාසික යුතුකමකි.

රුපියල් ලක්‍ෂ තුන්සියයක් පමණ වැය වන ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පිහිනුම් තටාක ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා මුදල් හිඟය බලපා තිබේ. මේ තත්ත්වය හමුවේ නිහඬ නො වූ විදුහල්පති ලබුතලේ සුදස්සන හිමියෝ, ලොතරැයියකින් අරමුදලක් ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්‍ෂ පහළොවක් වටිනා හයිඋන්ඩා වර්ගයේ සිය මෝටර් රථය ආදි ශිෂ්‍ය සංගමයට පරිත්‍යාග කළ හ. එම මෝටර් රථය පළමු ත්‍යාගය වශයෙන් යොදාගෙන ලොතරැයියක් පවත්වන ලෙස උන්වහන්සේ ආදිශිෂ්‍ය සංගමයට උපදෙස් දී ඇත. එ පමණක් ද නො ව එම ලොතරැයියේ දෙවන හා තුන්වන ත්‍යාග පිරිනමන්නේ උන්වහන්සේ විසින් ම ය.

වසර තිස් හතරක සේවා කාලයක් සපුරා ඇති උන්වහන්සේ, ලබන ඔක්තෝබර් මස විශ්‍රාය යෑමට නියමිත ය. එ සේ විශ්‍රාම ගැනීමට නියමිත ව තිබිය දී තමන් වහන්සේ සේවය කළ පාසල වෙනුවෙන් කළ මේ විශාල පරිත්‍යාගය වාහනයේ වටිනාකම අනුව තක්සේරු කිරීම වරදකි. සැබවින් ම අපට මෙහි දී සිහිපත් වනුයේ දාන පාරමිතාව පිරූ උත්තරීතර මිනිසුන් ගැන කියැවෙන බෞද්ධ සාහිත්‍යය යි. මේ දානමය ගුණය අප ගේ ජානමය ලක්‍ෂණයක් බවට පත් වූයේ විශිෂ්ට සාහිත්‍යය නිසා ම ය. එ බැවින් මෙ බඳු උත්තරීතර මිනිසුන් ගැන කියැවෙන නූතන සාහිත්‍යයක් ගොඩනැඟිය යුතු ව තිබේ.

මෙහි දී අපට ජපන් සෙන් බෞද්ධ සාහිත්‍යය ගුරු කොට ගැනීමට පුළුවන. ජපන් සෙන් කතා නමැති කෘතිය ලියූ චන්දිම විජේබණ්ඩාර හා එච්.එම්. මොරටුවේගම සිය ප්‍රස්තාවනාවේ තබා තිබෙන සටහනක් අපට මෙහි දී ප්‍රයෝජනවත් වනු ඇත.

“සෙන් යන ජපන් වචනය චාන් යන චීන වචනය අනුව සකස් වූවකි. එම චීන වචනය ‘ධ්‍යාන’ යන්නෙහි චීන කරණයකි. ඒ අනුව අපට ඉතා පැහැදිලි ලෙස පෙනී යන්නේ සෙන් බෞද්ධ සම්ප්‍රදායයෙහි ජීවය භාවනාව බව යි.”

‘එහෙත් සෙන් හුදු භාවනාව පිළිබඳ අතිරේක අවධාරණයක් පමණක් නො වේ. භාවනාව සමඟ සම්බන්ධ ප්‍රඥා ප්‍රතිලාභය අරමුණු කැර ගත් අතිවිශේෂ සංස්කෘතියක් සෙන් මගින් නිරූපණය වෙයි. අත්‍යයන්තයෙන් සියම්වූත් ගැඹුරුවූත් වින්දන ශක්තියක් සෙන් ජීවන ක්‍රමය විසින් තීව්‍ර කැරෙන අතර, පරමාර්ථ සත්‍යාධිගමය පිළිබඳ ව සුවිශේෂ ආකල්පයක් එමඟින් ඉදිරිපත් කැර ඇත. එය විශේෂයෙන් ම දෘෂ්ටිවාද මතිමතාන්තර විෂයෙහි ඇළෙන මිනිස් මනස ඒවා වෙතින් විමුක්ත කොට ‘විද්‍යා උත්පාදනය’ පිණිස ‘පවිත්‍ර’ කිරීමෙහි මූලික බෞද්ධ පරමාර්ථය නිර්භීත ලෙස අවධාරණය කැරේ.

පරිත්‍යාගශීලී ගුණය හුවා දක්වන ‘තෑග්ග‘ නමැති සෙන් කතාව මෙහි උපුටා දැක්වීම මැනවැයි සිතමු.

“රියෝකාන් නමැති සෙන් ආචාර්යතුමා කඳු පාමුල කුඩා පැල්පතක ඉතා චාම් දිවිපෙවතක් ගත කළේ ය. එක් දිනක් රාත්‍රියක ඔහු ගේ පැල්පතට සොරෙක් ඇතුළු විය. සොරාගැනීමට පැල්පත තුළ කිසිවක් නොමැති ව සොරා වට පිටා බලනු දුටු රියෝකාන් මෙ සේ කීය.’

‘ඔබ එන්න ඇත්තේ හුඟක් දුර ඉඳල වගෙයි. හිස් අතින් යන්නත් බැහැනේ. ඒ හින්ද මගේ ඇඳුම් ටිකවත් තෑගි වශයෙන් අරන් යන්න.’ එ සේ පවසා තමා ඇඳ සිටි ඇඳුම් උනා සොරාට දුන්නේ ය. අන්දමන් ද වූ සොරා කිසිවක් කියාගත නොහී ඇඳුම් ටික රැගෙන යන්නට ගියේ ය.”

“ රියෝකාන් නිරුවත් ව හඳ එළියේ වාඩි වී,’ අනේ දුප්පතා, මිනිහට මේ ලස්සන හඳවත් දෙන්න පුළුවන් වුණා නම් යැයි තමාට ම කොඳුරා ගත්තේ ය.”

මේ ආකාරයේ අප ද නූතන සාහිත්‍යයක් නිර්මාණය කළ යුතු ය. ලබුතලේ සුදස්සන හිමියන් වැනි උදාර මිනිසුන් තව තවත් බිහි කළ හැක්කේ එවිට ය.

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 2 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 9.7 ට ලබයි. 3 වන දා සිකුරාදා පූර්ව භාග 7.3 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 2 වන දා බ්‍රහස්පතින්දාය. මීළඟ පෝය අපේ‍්‍රල් 9 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අපේ‍්‍රල් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]