UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ජෙනිංස්වාදය ඉක්මවීම

දේශපාලනය පොදු ජනයා ගේ ජීවිතයේ උසුලන ස්ථානය පිළිබඳ සත්‍ය විග්‍රහයක් දැක්වීම පහසු කරුණක් නො වේ. දේශපාලනඥයා හැමවිට ම එය අතිශයෝක්තියෙන් දක්වන්නේ එ සේ කිරීමෙන් තමා ගේ වැදගත් කම වැඩි වී පෙනෙන නිසයි. අනික් අතින්, සංස්කෘතිය සහ පාණ්ඩිත්‍යය අනුව කල්පනා කරන අය එය අල්පකොට දැක්වීමට පෙළඹෙති.”

ලංකා විශ්ව විද්‍යාලයයේ උපකුලපති වශයෙන් සිටි ඉංගී‍්‍රසි ජාතික ශ්‍රීමත් අයිවර් ජෙනිංස් විසින් දේශපාලනය පිළිබඳ ව තබා ඇති මේ සටහන අද දින කතු වැකිය සඳහා මනා ප්‍රවේශයක් යැයි සිතුවෙමු. බ්‍රිතාන්‍යයේ දේශපාලනය සම්බන්ධයෙන් ජෙනිංස් සතු ව තිබූ විශිෂ්ට දැනුම් සම්භාරය ඊට එක් හේතුවකි. අනෙක් කරුණ නම්, ජෙනිංස් වැනි බටහිර දේශපාලන උගතුන් හට ශ්‍රී ලාංකික ජන විඥානය තේරුම් ගැනීමට ඇති නො හැකියාව අවධාරණය කිරීම ය.

සංස්කෘතිය හා පාණ්ඩිත්‍ය අනුව දේශපාලනය අල්පකොට දැක්වීම බටහිර සමාජ ලක්‍ෂණයක් මිස ශ්‍රී ලාංකිකයන් ගේ ස්වභාවය නො වේ. මේ බව නො දන්නා බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ මානුෂීය කටයුතු සහ ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසැඳුමක් ලබාදීම සඳහා ක්‍රියා කිරීම පිණිස යැයි එ රට හිටපු ආරක්‍ෂක ලේකම් ඩෙප් බ්‍රවුන් විශේෂ නියෝජිතයකු ලෙස මෙහි එවීමට ඒකපාර්ශ්වීය ව තීරණය කළේ ය. එය ජෙනිංස් කියූ ආකාරයට ම දේශපාලනය පොදු ජනයා ගේ ජීවිතයේ උසුලන ස්ථානය පිළිබඳ සත්‍ය විග්‍රහයක් කිරීමට අසමත් මිනිසුන් ගේ ප්‍රයත්නයකි. කෙ සේ වූව ද එම ඒකපාර්ශ්වීය මැදිහත්වීම ප්‍රතික්‍ෂේප කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියා කැර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය එළඹි එම තීරණය කෙරෙහි මහ නා හිමිවරුන් විසින් පසුගිය දා නිකුත් කළ නිවේදනය ද උපකාරී වූ බවට සැකයක් නොමැත.

උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, වේවැල්දෙණියේ මේධාලංකාර, දවුල්දෙන ඤාණිස්සර යන මහ නා හිමිවරුන් විසින් පසුගිය 11 වන දා නිකුත් කළ එම නිවේදනය මෙහි පහත උපුටා දක්වමු.

“ශ්‍රී ලංකාද්වීපය අතීතයේ දී ධර්ම ද්වීපයක් ව පැවැති අතර සාමය, සමාදානය, නිදහස බලවත් සේ සුරැකි ව පැවැතිණ. මෑත ඉතිහාසයේ දී වුව ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික පුනරුදය ඇති කොට සාමය, සමාදානය හා නිදහස සුරක්‍ෂිත කොට ආරක්‍ෂා කැර ගැනීමට මෙ රට සියලු ජාතීහු එස්සත් ව එක් සිත් ව කටයුතු කළ හ.

“බුදු රජාණන් වහන්සේ විසින් අනු දැන වදාළ ලිච්ඡවී රජ දරුවන් ගේ දියුණුවට හේතු වූ සමඟිව රැස් වී, සමඟි ව සාකච්ඡා කොට, සමගිව විසිර යෑම නම් වූ අපරහානී ධර්මය අනුව යමින් මෙ රට සිංහල, දෙමළ, මුස්ලිම් යන ජාතීහු ද සමඟි ව රටේ නිදහස උදෙසා ඇප කැප වී කටයුතු කළ හ. එතෙක් මෑත ඉතිහාසයේ දී අභාග්‍යයකට මෙන් ඇතැම් ජනකොටස් අතරේ වෛරය, අසමඟිය, අසමාදානය පැතිරී යෑම නිසා මුළු රට ම පරිහානියට පත් වෙමින් පවතින අයුරු දක්නට ලැබීම බලවත් සංවේගයකට කරුණකි.”

“ රටේ සියලු ජන කොටස් වලට එල්ල වී ඇති විවිධාකාරයේ තර්ජනයන් දිගට ම පැවැතීම රටේ සමෘද්ධිය, සෞභාග්‍ය හා සංවර්ධනය ඇති කැර ගැනීමටත්, භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කැර ගැනීමටත් බලවත් බාධාවකි. මේ ව්‍යසනයන් ගේ බරපතළ කම මැනවින් අවබෝධ කැර ගෙන ජාතික, ආගමික, දේශපාලනික නායක කාරකාදීන් එක් ව ස්වකීය ප්‍රශ්න ගැටලු හඳුනාගෙන විසඳා ගැනීමට වහා පියවර ගත යුතු ව ඇත. නැතහොත් දේශීය වශයෙන් පමණක් නො ව විදේශීය වශයෙන් ද අවස්ථාවාදී පුද්ගලයන්ට හා සංවිධානයන්ට අප රටේ නිදහස හා භෞමික අඛණ්ඩතාවට හානිකර අන්දමේ පියවර ගැනීමට ඉඩ සැලැසෙනු නො අනුමාන ය.”

“එ බැවින් මේ දුෂ්කර අවස්ථාවේ දී විදේශීය බලවේගයන්ට අනවශ්‍ය ඇඟිලි ගැසීම් වලට ඉඩ නො තබා රටේ භෞමික අඛණ්ඩතාව හා සමඟිය, සමාදානය ආරක්‍ෂා කැර ගැනීම උදෙසා පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොර ව සියලු දේශපාලනික, ආගමික නායක කාරකාදීන් සමඟ එකතු ව රටේ ත්‍රස්ත උවදුරු හා වෙනත් ජාතික උවදුරු මැඩලීමට අවශ්‍ය පියවර එඩිතර ව හා සාධාරණ ව ගෙන රටේ සාමය හා සෞභාග්‍යය ඇති කැර දෙන ලෙස ශාසනාලයෙන් ඉල්ලා සිටුම් හ.”

ශ්‍රී ලාංකික ජන විඥානය මෙන් ම බුදු දහමෙන් පෝෂණය වූ දේශපාලන චින්තනය ද මේ නිවේදනය හැදෑරීමෙන් අවබෝධ කැර ගැනීමට පුළුවන. බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය නමැති බටහිර දේශපාලන රාමුව වෙනුවට සප්ත අපරිහානී ධර්ම මත ගොඩනැඟුණු දේශපාලන රටාවක් කරා යොමුවීම මේ සියලු ගැටලු විසඳා ගැනීමට ඇති එක ම මාවත ය. තමන් ගේ රුධිරය නොමිලයේ පරිත්‍යාග කැරෙන, තම ධනය වැය කැර නිරන්තරයෙන් දන්දෙන අප රටේ මිනිසුන්ට මානුෂීය කටයුතු ඉගැන්වීමට බටහිර රටවල් ගනු ලබන උත්සාහය හාස්‍යයට කරුණකි. එහෙත්, යුක්තිය යනු ශක්තිය බවට පත් වූ ලෝකයක යුද හා ආර්ථික ශක්තිය නොමැති කුඩා රටවල් පීඩාවට පත් වීම නො වැළැක්විය හැකි ය. මෙහි දී අප අනුගමනය කළ යුතු එක ම පිළිවෙත, මහ නා හිමිවරුන් ඉතා නිවැරැදි ව පෙන්වා දී ඇති පරිදි සමඟි ව රැස් වී, සමඟි ව සාකච්ඡා කොට සමඟි ව විසිර යෑම පමණි.

නවම් අමාවක පෝය
පෙබරවාරි 24 වනදා අඟහරුවාදා පූර්ව භාග 06.01 ට ලබයි.
25 වනදා බදාදා පූර්ව භාග 07.05 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම පෙබරවාරි
24 වනදා අඟහරුවාදා ය.
මීළඟ පෝය මාර්තු 4 වනදා ය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 24

First Quarterපුර අටවක

මාර්තු 4

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]