UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,

ඩී. ආර්. විජයවර්ධන මාවත,

ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:

2429598, 2429429

ෆැක්ස්:

2429329, 2449069

ඊමේල්:

[email protected]

ගාසා තීරය හා කිලිනොච්චිය

අසමාන ඓතිහාසික තත්ත්වයන් දෙකක් සංසන්දනය කිරීම ඉතිහාසයට මෙන් ම අනාගතයට ද කැරෙන මහා අපරාධයකි. කිසිදු ආකාරයේ යුද්ධයකට ආශිර්වාද කිරීමට අප අකමැති වූව ද එ බඳු ජාතික අපරාධයක් හමුවේ නිහඬවීම යහපත් ධර්ම සන්නිවේදකයකු ගේ යුතුකම යැයි අපි නො සිතමු. අප ගේ අවධානය යොමු වූ අසමාන සංසන්දනය මෙ සේ ය.

“ශ්‍රී ලංකා සිංහල දෙමළ ජනතාවන් අතර පවතින ජාතික ගැටලුවට මෙන් ම පලස්තීන අරාබි සහ යුදෙව් ජාතික ප්‍රශ්නයට ද ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. පොදුවේ ගත් විට මේ ප්‍රශ්න දෙකෙහි ම ගැබ් වී ඇත්තේ ජනවාර්ගික ගැටලුවකි. ශ්‍රී ලංකාවේ මුල්ම පදිංචිකරුවන් සිංහලයින් ද දමිළයින් ද යන ප්‍රශ්නයෙන් පටන්ගෙන නාගයින් හා යක්‍ෂයින් පිළිබඳ ව තර්ක විතර්ක හරහා ක්‍රිස්තු පූර්ව 161 දී අනුරාධපුරයේ දී සිදු වූ එළාර දුටුගැමුණු යුද්ධය දක්වා ඈතට දිවෙන ඉතිහාසයක් අපේ ජාතික ගැටලුව සමඟ බැඳී පවතී.”

“ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කරද්දීත් ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව කිලිනොච්චිය ඇතුළු උතුරේ ප්‍රදේශ වලට ගුවන් ප්‍රහාර එල්ල කරද්දීත් දකින්නට ලැබුණේ එක සමාන තත්ත්වයකි.”

මෙය අප උපුටා ගන්නා ලද්දේ 2009/01/11 දිනැති ලක්බිම පුවත්පතට ජනදාස පීරිස් මහතා විසින් ලියන ලද ගාසා තීරය, කිලිනොච්චිය සහ ත්‍රස්තවාදය නමැති ලිපියෙනි. දැන් අපි මෙය අසමාන ඓතිහාසික තත්ත්වයන් දෙකක් සැසඳීමක් වන්නේ කෙ සේ දැයි බලමු.

දුටුගැමුණු - එළාර යුද්ධය යනු අසේල රජු මරා රාජ්‍ය පැහැර ගත් එළාර (ක්‍රි.පූ. 205 – 161) නමැති සොළී රජු සම¼ග රුහුණු රටේ කාවන්තිස්ස රජු ගේ පුත් ගැමුණු කුමරු යුද වැදීම ය. යුදෙව් විරෝධී ඉතිහාසය හා ශ්‍රී ලංකාවේ දෙමළ සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාරය හෝ එළාර – දුටුගැමුණු යුද්ධය සමාන සිදුවීම් දැයි තේරුම් ගැනීම් පිණිස සිංහල විශ්වකෝෂය මෙහි දී උපුටා දක්වමු.

“ඊශ්‍රායෙල් යන වචනය පළමුවෙන් ම සඳහන් වන්නේ ක්‍රි.පූ. දෙවන සහස්‍රවර්ෂයේ අවසාන කොටසට අයත් මිසර පුරාණ ලේඛනයන්හි ය. එම ලේඛනයන්හි මෙම වචනය යොදා ඇත්තේ පලස්තීන කඳුකරයේ විසූ ගෝත්‍රයන් හැඳින්වීමටයි. දකුණු දිග ප්‍රදේශයන්හි සිට පලස්තීන කඳුකර ප්‍රදේශයට ඊශ්‍රායෙල් වර්ගයා සංක්‍රමණය වන්නට ඇත්තේ ක්‍රි.පූ. 1300 – 1100 අතරතුරේ දී යැයි පිළිගැනේ. මුළු ඊශ්‍රායෙලය ම නැතහොත් ඊශ්‍රායෙල් වාසීන් ජීවත් වූ ප්‍රදේශය එක්සත් කිරීමට ක්‍රි.පූ. 1020 දී සාවුල් රජුට හැකි විය. පැරැණි ඊශ්‍රායෙලයේ ශ්‍රේෂ්ඨතම අවධිය දාවිත් (ක්‍රි.පූ. 1010 – 970) රජු යටතේ ආරම්භ වන අතර එහි උච්චතම අවස්ථාව ඇති වන්නේ සොලමන් (ක්‍රි.පූ. 970 – 930 ) රජ කල ය. මේ කාලයේ දී ඊශ්‍රායෙල් ජනතාවට ඔවුන් ගේ විරුද්ධවාදීන් හැම පැරදවීමට හැකි විය. පලස්තීන් නම් තම බලය පලස්තීනයේ සීමාවන් ගෙන් ඔබ්බට ද ව්‍යාප්ත කළ හ.”

යුදෙව් විරෝධී ව්‍යාපාරය සෙමිටික් විරෝධය යනුවෙන් දේශපාලන ව්‍යවහාරයේ දැක් වේ. නයිල් ගඟේ දූපතක පිහිටි යුදෙව් දේවාලයක් ක්‍රිස්තුස් වහන්සේ ගේ උපතට වසර හාරසියයකට පමණ පෙර මිසර පූජක පිරිසක් විසින් විනාශ කිරීම නිසා මේ සෙමිටික් විරෝධය උපත ලද බව කියැ වේ. එහි උච්චතම අවස්ථාව වූයේ හිට්ලර් ගේ නාසිවාදී ප්‍රහාරය යි. යුදෙව් ආගමට ක්‍රිස්තු ධර්මයෙන් එල්ල වූ විරෝධයත්, පොලීකරුවන් හා බඩු උකස්කරුවන් වූ යුදෙව්වන්ට විරුද්ධ ව එල්ල කළ ආර්ථික විරෝධයත් මේ ඓතිහාසික විරෝධය සමඟ බැඳුණු අතිරේක කරුණු ය.

යුදෙව්වන්ට එරෙහි මේ ඓතිහාසික විරෝධය පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගෙන යෑම සඳහා පුහුණු කැරේ. මෙයට මුහුණදීම සඳහා යුදෙව්වන් විසින් 1870 දී සියෝනිවාදය (Zionism) ආරම්භ කරන ලදී. එහි අරමුණ වූයේ සිය ශුද්ධභූමිය වන පලස්තීනයේ යුදෙව් රාජ්‍යය පිහිටුවීම ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගේ සහයෝගය මත 1917 දී බිහි වූ බැල්ෆර් ප්‍රකාශනයෙන් ලද ආශීර්වාදය නිසා එය 1948 දී යථාර්ථයක් බවට පත් විණි.

මෙ බඳු පසුබිමක් සහිත ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම හා දෙමළ සන්නද්ධ බෙදුම්වාදී අරගලය සමාන කැර දැක්වීම බරපතළ වරදකි. මේ අසමාන ඓතිහාසික සිද්ධි දෙක සංසන්දනය කිරීම අපරාධයක් යැයි අප කියන්නේ දේශපාලන අර්ථයෙන් නො වේ. ඓතිහාසික සෙමිටික් විරෝධය සඳහා පදනම් වී ඇති ආගමික වෛරය සිංහල බෞද්ධ හැසිරීමට සමාන කිරීම බෞද්ධයන්ට කළ අවමානයක් ලෙස අප සලකන බැවිනි.

දුරුතු අව අටවක පෝය


දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සෙනසුරාදා අපරභාග 7.57 ට ලබයි. 18 වන දා ඉරිදා අපරභාග 8.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
ජනවාරි 18 වනදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 25 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]