UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දේව කතා පුරාණය

දේවකතා පුරාණය පිළිබඳ ලිපි පෙළෙහි අවසාන කොටස මෙයයි. මෙහි පළමු කොටස ඉල් පුර පසළොස්වක පොහොය දා (නොවැම්බර් 12 දා) ද, දෙවන කොටස ඉල් අව අටවක පොහොය දා ද පළ විය.

කනානයිට් වරුන්ගේ දේවකතා පුරාණය -

කනානයිට්වරු වනාහි, බටහිර දිග සෙමයිට්වරුන් මෙන්, පුරාතන සමයට අදාළ කණ්ඩායමක කොටසක් වෙති. මේ කණ්ඩායමට ෆීනීෂියානුවන්, උගරිතානුවන් සහ හිබෲහු අයිති වෙති. හිබෲ බයිබලය කනානයිට් වරුන්ගේ ආගම ගැන බෙහෙවින් විවාදාත්මක විස්තරයක් සපයයි. ක්‍රිව. හතර වැනි සියවසේ මුල හරියේ ක්‍රිස්තියානි ඉතිහාසඥයකු වන සීසරියාවේ එවුසේබියස් ඔහුගේ “පී‍්‍රපරේෂන් ෆෝ ද ගොස්පල්” කෘතියෙහි කනානයිට් වරුන්ගේ ආගම ගැන විස්තර කරයි. ඔහු එහිදී සන්චුනියකන් නම් ෆීනීෂියන් ලේඛකයකුගේ කෘතියක් ගැන අදහසක් වශයෙන් විශ්වාසයෙන් යුතුව සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ මූලාශ්‍රයන්ගේ අවිනිශ්චිත ස්වභාවය නිසා කනානයිට් ආගම ගැන වූ දැනුම විතර්කමූල වූත්, නොපැහැදිලි වූත් එකක් විය. ඒ අතර 1929 දී පුරාතන උගරිත් දේශයේ රාස් ෂම්රා නම් තැන දේවකතා පුරාණාත්මක ලේඛන සොයා ගන්නා ලදී. මේ ලේඛන කනානයිට් දෙවිවරුන් හා දේවකතා පුරාණාත්මක කාලක්‍රම සම්බන්ධයෙන් වඩාත් පුළුල් තොරතුරු සපයයි. මේ ලේඛන වලින් බොහෝවක් ලියා ඇත්තේ කනානයිට් ධර්මාචාර්යවරුන් විසිනි. කනානයිට් වරුන්ගේ සහ සත්තකින් ම බටහිර සෙමිටික් ජාතීන්ගේත්, අත්‍යන්තයෙන් කැපී පෙනෙන දෙවිවරුන්ගෙන් එක් කෙනෙක් වන්නේ ‘එල්’ නම් දෙවියා ය. එල් යනු නිතර ම දෙවියකු සඳහා ජාතිසූචක නමක් වූවත්, නිශ්චිත පුරාණ දේවකතාත්මක කාල චක්‍රයන්හි ඔහු විශේෂ දෙවියෙකි. ඇතැම් කරුණු අතින් එල් දෙවියා, මිසපොතේමියානුන්ගේ එන්ලිල් සහ ගී‍්‍රකයන්ගේ සියස් දෙවිවරුනට සමානත්වයක් දක්වයි. එල් පීතෘවරයෙක් ද, මැවුම්කරුවා ද, ඇතැම් විට දිව්‍ය යුද සෙබළා ද වෙයි. එහෙත් එල් දෙවියාගේ ප්‍රබල ප්‍රතිරූපය වන්නේ, චිරන්තන, බුද්ධිමත් කුලදෙටුවකුගේ හා විනිසුරුවකුගේ අනන්‍යතාවයි. ඔහු මහා ශක්තියක් ප්‍රකට කරයි. එහෙත් හෙතෙම අත්තනෝමතික පාලකයෙක් නොවේ. මිසපොතේමියානු දෙවිවරුන් මෙන් නොව එල් සොබාදහමේ අසිරිමත් බව පසු පසින් සිට සිය බලය ප්‍රකට නොකරයි. ඔහු ‍ෙදවියකුට වඩා සමාජ ජීවිතයේ දී හමුවන සමානයකු සේ දකින්නට ලැබේ.

අෂේරාහ්, අස්තර්තේ සහ අනත්, එල්ගේ මෙහෙසියෝ ය. මේ සියලු දෙනා ම මිසපොතේමියානු ඉෂ්තාර්ගේ ප්‍රතිරූපයෝ ය. තවත් අතකින් අෂේරාහ් සහ අස්තරීතේ, එල්ගේ බිරියෝ හෝ ඇතැම් සන්දර්භයකට අනුව සොහොයුරියෝ ය. අනත් ඔහුගේ දියණියයි. නොයෙක් විට අෂේරාහ් දෙවිවරුන් 70 දෙනකුට උපත දෙන මැවුම්කරුවා ලෙස සඳහන් කරනු ලැබේ. එල් ආකාශ දෙවියෙකි. පොළොව නියෝජනය කරන අෂේරාහ්, පළමුවෙන් උදෑසනත්, සැඳෑ තරුත් මැවුවා ය. ඇගේ තවත් පුත්තු දෙන්නෙක් නම්, යම් හෙවත් මුහුද සහ මොක් හෙවත් පාතාලයයි.

එල්ට පසු අතිශයින් වැදගත් දෙවියා බාල් හදාද් ය. බාල් හදාද්, දශාන්ගේ පුතා ය. බාල් වර්ෂාධිපති දෙවියෙකි. ඇතැම් විට ඔහු උපත ලද්දේ මධ්‍යම යුප්‍රෙට්ස් පළාතේ ය. ඉක්බිති අකාඩියන්වරුන් මඟින්, බටහිර සෙමයිට්වරුන් වෙත සම්ප්‍රේෂිත ය. බාල් හදාද් යන්න පාලක පදවිය යන්නෙහි ගුප්තාර්ථය දරයි. හෙතෙම තරුණයෙකි. සුළඟටත්, අකුණු සහිත කුණාටුවටත් අරක්ගත් යුද්ධකාමී දෙවියෙකි. ඔහු එල් මෙන් නොව, කිසිසේත් ප්‍රඥාවන්ත නොවේ. හෙතෙම නිතර නිතර කරදර පටලවා ගනී. ඒවායින් ඔහු ගලවා ගත යුත්තේ දෙවඟනක් විසිනි. බොහෝ විට එසේ ගලවා ගන්නේ ඔහුගේ මෙහෙසිය ලෙස සැලකෙන අනත් විසිනි. මෙහිලා ඔහු දරා සිටින්නේ, මිසපොතේනියානුන් අතර දුමුසිට සාදෘශ්‍යයකි. දුමුසි වට කර ගනු ලැබ සිටින්නේ ද කාන්තා ආරක්‍ෂකයන් විසිනි. ඔහුගේ ක්‍රියා ද සදාචාරාත්මක අගයක් ඇති ඒවා නොවේ.

දේවකතා පුරාණාත්මක කාල චක්‍රයන්හිදී එල් සමඟ සටනට බාල් ඉදිරිපත් කරනු ලැබේ. මේ සටනින් දැක්වෙන්නේ කිසියම් පෙදෙසකට බාල්ගේ පශ්චාත් ආගමනයකි. සටන සංස්කෘතික වෙනස්වීමක් සමඟ සංගත වන බවක් පෙනේ. මූලික වශයෙන් බාල් සහ අනත්, එල්ගේ දේවසභාවේ සාමාජිකයන් වන බවක් දකිනු හැකි ය. අනත්, එල්ගේ අනියම් බිරියයි. බාල්, එල්ගේ මීවිත දරන්නා බවට පත්ව ඇත. අහඹු හා මවිතකර කලබැගෑනියකින් බාල්, එල්ට පහර දෙයි. බාල් සහ ඔහුගේ සහායකයෝ සපාන් කන්දේ පිහිටි එල්ගේ නිවහනේ දී ඔහු පරදවනු ලබයි. ඉක්බිති බැඳ දමනු ලැබූ එල්ගේ කරඅඹනු ලැබේ. මෙයින් එල්ගේ ජනක ශක්තිය විනාශ කැරෙයි. සුන් වූ බලාපොරොත්තුවෙන් යුතු එල් සිය පුතුට හඬගසයි. එකල යම්, පියාගේ උදවුවට එයි. එවිට එල්, සිය පුත් යම්, වංශාධිපති බවට නම් කරනු ලැබේ. ඉක්බිති එල්, බාල් විසින් සොරකම් කර ගන්නා ලද රන් හා රිදී සොයා ගත යුතු බවත්, අනතුරුව කුලදෙටුවකුට ගැළපෙන ලෙස තමා විසින් ම මාලිගයක් ගොඩනැඟිය යුතු බවත් යම්ට කියයි. එසේ කොට සියලු සම්පත් අයිති කර ගන්නා ලෙස දන්වයි. එසේම ලෙයට ලෙයින් පළිගැනීමක් ලෙස සිය පියා (තමා) පැරදවීමට දඬුවම් දෙනු පිණිස බාල් සමග සටන් කළ යුතු බවත් පවසයි.

බාල් විසින් සටනේ දී යම් ඝාතනය කැරේ. එවිට ලෙයට ලෙයින් පළිගැනීමේ ගිවිසුමේ වගකීම එල්ගේ දෙවැනි පුතා වන මොක් පිට පැවරේ. බාල්ගේ නිවහනේ දී ම ඔහු මරා මොත් ජය ලබයි. බාල්ගේ මරණයෙන් අනත් අන්ද මන්ද වෙයි. ඕ, බාල්ට පුනර්ජීවනය ලබා දෙන ලෙස මොක්ට බැගෑ වෙයි. මොක් එය පිළිකෙව් කරයි. ඉක්බිති අනත් විසින් මොක් කෑලි වලට ඉරා දැමේ. අනතුරුව ඒවා සීසීකඩ විසුරුවා හැරේ. මේ සිදුවීම් වලින් පසු බාල් යළිත් පණ ලබයි. ඉක්බිති ඔහු සියලු දෙවියනට එරෙහිව මහා පරිමාණ සටනක් දියත් කරයි. එහිදී “අෂේරාහ්ගේ පුතුන් වෙති” යි සඳහන් සියල්ලන් පරදා ජය ගනී. ඉක්බිති මොක් ද යළි පණ ලබා නැවත වරක් ද්වන්ද්ව සටනකට බාල්ට අභියෝග කරයි. කෙසේ වෙතත් සටන් මැදදී, හිරු දෙවඟන වූ ප්සී හෝ ‘ෂපාෂ්’ මැදිහත් වෙයි. එල් දැන් බාල්ගේ පැත්ත ගෙන ඇති බැවින් තව දුරටත් සටනක් අනවශ්‍ය නොවන බවට ඕ මොක්ට උපදෙස් දෙයි. නිත්‍යයෙන් කුලදෙටු හා ප්‍රඥාවන්ත වූ එල්, බාල් ඔහුගේ පරාජයේදී සහ යළි ඉපදීමේ දී අලුත් ආකෘතියක ආඥාවක් ප්‍රත්‍යක්‍ෂ කර ගෙන ඇති බව තේරුම් ගෙන තිබිණ. කුලදෙටු දෙවියකු වූයෙන්, එල් විසින් මේ අලුත් ආඥාව පනවා පවත්වා ගෙන යා යුතු විය. ඒ අනුව නව නියෝගයක් පනවන ලදී. එනම් සමෘද්ධිමත් සෘතුවලදී බාල් විසින් ද, නියං හා අස්වනු පාළු සෘතුවලදී මොක් විසින් ද පාලනය කර ගෙන යනු ඇති බවයි. සාමාන්‍යයෙන් කනානයිට් දේවකතා පුරාණය සහ විශේෂයෙන් එල් හා බාල් අතර සටන පිළිබඳ පුරාණ දේවකතා චක්‍රයට පුළුල් ක්‍ෂේත්‍රයකට අදාළ අනුමිති හෝ අඟවීම් කීපයක් ඇත. පළමු තැනෙහිලා භූගෝල විද්‍යාත්මක පිහිටීම හා ඓතිහාසික කාල වකවානුව, මේ පුරාණ දේවකතා වඩාත් පුළුල් දේවකතා පුරාණාත්මක සංකලනයක කොටසක් බව අඟවයි. මිසපොතේමියානු, ඊජීප්තියානු, හිටයිට්, හුරියානු සහ උගරිතීක දේවකතාවන්ගේ මූලිකාංග මේ චක්‍රයෙහි විද්‍යාමාන ය. එබැවින්ම මේ දේවකතා චක්‍රය, මේ කාල වකවානුවේ ඉතිහාසය සහ පුරාණ දේවකතා තේරුම් ගැනීම සඳහා වැදගත් කඩඉමක් වෙයි. දෙවැනිව මේ දේවකතා චක්‍රය හීබෲ පරණ තෙස්තමේන්තුව මත විහිදුවන ආලෝක ධාරාවක් ද වේ. බාල්, අෂේරාහ් සහ අස්තර්කේ පිළිබඳ විරුද්ධ මතවාදයක් පරණ තෙස්තමේන්තුවේ අන්තර්ගත වෙතත්, කනානයිට් දේවකතා පුරාණයේ සන්දර්භය තුළ, හීබෲවන් පිළිබඳ ඇතැම් මූලික කරුණු හා ව්‍යවහාර මැනවින් ප්‍රකාශිතය. තව දුරටත්, හිසියට් මේවායින් ඇතැම් දේවකතා පුරාණාත්මක මූලිකාංග සිය ‘තියොගනි’ කෘතියෙහි පැහැදිලිව යොදා ගෙන ඇත. බාල්, යම් සහ මොත් කෙළින්ම සියස් පොසීඩන් සහ හේඩ්ස්ට සම්බන්ධ ය.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය
නොවැම්බර් 26 වනදා බදාදා  අපරභාග 8.11 ට ලබයි. 27 වන දා බ්‍රහස්පතින්දා
අපර භාග 10.25 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම
නොවැම්බර් 27 වන දා
බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් 5 වනදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19
 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]