UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ සංස්කෘතික උරුමය වර්ණවත් කළ කලා ශිල්පියෙක්

බෞද්ධ සංස්කෘතික උරුමය වර්ණවත් කරන බොදු කලා ශිල්පියා ලොව හමුවේ අපගේ අභිමානය චිත්‍රනය කළ අයුරු අපූරුය.


ලලිත් අබේසිංහ විසින් නිර්මානය කරන ලද බුද්ධ ප්‍රතිමාවක්

එවන් වූ විශිෂ්ට නිර්මාණ බිහිකළ බොහෝ කලා ශිල්පීන්ගේ නම් ගම් වතගොත අප නොදනිතත් එදා කළ ඒ විශ්මිත ආකර්ෂණීය නිර්මාණ හෙටද ජීවමානව පවතින බව අපි දනිමු.

වර්තමානයේ ඉතා අපහසු වාතාවරණයක් මැද බෞද්ධ චිත්‍ර හා මූර්ති ශිල්පයේ නියැලෙන නිහඬ කලා ශිල්පීන් අතලොස්සද හෙට දින මේ බිමෙන් සමුගත් පසු නන්නාඳුනනා අපගේ අත් අකුරින් සොහොන්කොත් හී දුක් ගී ලියන්නට පෙර ඔවුන් ගේ නෙත් හමුවේ යමක් ලියන්නට හැකිනම් එය එම කලාකරුවන්ට කරන උපහාරයකි. දැනට හැත්තෑ එක්විය සපුරා සිටියද තවමත් චිත්‍ර හා මූර්ති ශිල්පයේ නියැලෙන වර්ෂ 2003 දී කලා භූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබූ ගමරාලලාගේ ලලිත් අබේසිංහ ගැන අපට කියන්නට ඇත්තේ ද ඒ ටිකමයි. ඔහු ඉපැදුනේ 1937.08.11 වනදින ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අරුග්ගොඩනම් ග්‍රාමයේ ය. කුඩා කල සිටම කලා හැකියාවන් ප්‍රදර්ශනය කළ මොහු, පාරම්පරික චිත්‍ර ශිල්පීන් වන ජේ. වීරරත්න හා ජේ.ඩී.ඒ. පෙරේරා ගුරුවරුන් යටතේ් තරුණ අවදියේදී චිත්‍ර හා මූර්ති ශිල්පය ප්‍රගුණ කළේය. ජේ.එන්. ජේ. සිල්වා කලා ශිල්පියා යටතේ නිර්මාණ කාර්යයේ නියැලෙමින් ඔහුගේ දැනුම තව තවත් පෝෂණය කර ගත්තේ්ය.

1962 වසරේදී පමණ නුගේගොඩ සුභාද්‍රාරාමයේ සිතුවම් හා මූර්ති නිර්මාණය කළේ ජේ. ඇන්. ජේ. සිල්වා මහතා ය. ලලිත් මහතා ඔහු යටතේ එම නිර්මාණ කාර්යයට එකතු විය.


 මුර්ති ශිල්පී ලලිත් අබේසිංහ

එතැන් සිට මේ කලා ශිල්පියා ස්වාධීනව කළ නිර්මාණ අපමණ ය. නුගේගොඩ සුභද්‍රාරාම විහාරයේ තුන්වන වියන් සිතුවම් කර ඇත්තේ ද මොහු ය. දංඕවිට මංසන්ධියේ ඇති බුද්ධ ප්‍රතිමාව මොහු විසින් නිර්මාණය කර ඇත්තේ 1963 වසරේදීය. වරකාපොළ රෝහල ඉදිරිපිට නිර්මාණය කර ඇති බුද්ධ ප්‍රතිමාව ද ලලිත් අබේසිංහ ගේ ය. අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවේ බුද්ධ ප්‍රතිමාව සහ සිංහරූප, වඩුවත්ත ශ්‍රී ජයසුමනාරාමයේ මකර තොරණ, මීරිගම හකුරු කුඹුර රජමහා විහාරයේ නව දොළොස් රියන් බුදු පිළිමය, කොටදෙනියාව එරබද්ද විහාරස්ථානයේ විහාර බුදු පිළිමය හා චෛත්‍ය නිර්මාණය කිරීම, ජාඇල නිවන්දම බුදුපිළිමය හා චෛත්‍යය නිර්මාණය කිරීම, නාවාන ශ්‍රී මහා කතරගම දේවාලයේ බුද්ධ ප්‍රතිමාව හා දේව ප්‍රතිමා නිර්මාණය කිරීම, ගාල්ල තල්පේ විහාරයේ මෙන්ම ඉහල බියන්විල විහාරයේ සිතුවම්, තලගම රජමහා විහාරයේ නව බුද්ධ ප්‍රතිමාව, ආදී ඔහු විසින් කළ සිතුවම් හා මූර්ති විශාල ප්‍රමාණයෙන් කීපයක් සිහිපත් කළ හැකිය.

මීරිගම ලින්දර දේවාලයයේ බුදුපිළිම වහන්සේ මේ වනවිටත් ඔහු අතින් නිර්මාණය වෙමින් පවතී. මේ කාලය තුළ ලලිත් අබේසිංහ නිර්මාණ ශිල්පියා විසින් බිහිකළ ගෝල බාලයෝ ද බොහෝ වෙති.

බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී නියමිත පරිමාණ පවා ඇතැම් ශිල්පීන් නොදන්නා බවත්, තමා සෑම ගෝලයකුටම ගුරුමුෂ්ටියෙන් තොරව සියලු ශිල්පීය තාක්ෂණය කියාදීමට නොපැකිලෙකෙන බවත් ඔහු පවසයි. එදා සිතුවම් නිර්මාණ පැහැ ගැන්වීමේදී භාවිතා කළ දොරණ තෙල් වැනි ද්‍රාවණ නිසා පිළිම දුර්වර්ණ නොවී බොහෝ කාලයක් පැවැති බවත් අද ලෙහෙසියට පහසුවට වෙළෙඳ පොළෙන් රැගෙන එන වර්ණයන්ගෙන් කෙරෙන නිර්මාණවල පැවැත්ම කෙටි බවත් ඔහු තවදුරටත් පවසයි.

බුද්ධ ප්‍රතිමා නිර්මාණය වැනි උතුම් කාර්යයක දී එදා පැදුරු තුනක වී ලාස් 60 ක් අතුරයි. දේව පූජාවට සියලු පලතුරු තබා, තෑගි වශයෙන් දැකුම් වට්ටි ප්‍රදානය කරයි. නේත්‍ර ප්‍රතිශ්ඨාපනයේ අඳුන රන් භාජනයක දමා පිරිත් කර කිරිහරකුන් පවා මේ පූජාවට සම්බන්ධ කර ගනිමින් කෙරෙන සම්ප්‍රදායික ඒ මහඟුª මංගල්‍යයන්ගෙන් බලාපොරොත්තු වූයේ සියලු වස්දොස් අපල උපද්‍රවයන් දුරලා සෙත ශාන්තිය උදාකර ගැනීමේ උතුම් අපේක්ෂාවය. එහෙත් මේ යුගය වන විට එවැනි සම්ප්‍රදායන් අප සමාජයෙන් ගිලිහෙමින් පැවැතීම කණගාටුවට කරුණක් බව ඔහුගේ අදහසයි.

බෞද්ධ කලා නිර්මාණයේදී ආගම ධර්මය පිළිබඳව බුද්ධ චරිතය එහි පසුබිම පිළිබඳව ජාතක කතා පෙළ ආදිය ගැන හොඳ අවබෝධයක් තිබිය යුතු බවත් ඔහු පවසයි.

වසර 71 ක් පුරාවට කටුක මංපෙත ඔස්සේ දුකසේ ඇවිද ගිය ඔහු මෙවන් නිර්මාණයන් තොගයක් රට දැයට දායාද කළද අදත් ඔහු ධනය ඉපැයූවන්ගේ ගොඩට එකතු වී නොමැත. ඔහු අද පදිංචිව සිටින්නේ අංක 67 මිහිර අරුක්ගොඩ දංඕවිට නිවසේය. මනා කරුණාව මෛත්‍රීය වෑහෙන බුදුරුවන ආකර්ෂණීය සිතුවම් පෙළක පසුබිම හැඩ කරනා මෙවැනි කලාකරුවන්ගේ රුව ගුණ වරුණ එම නිර්මාණයන් සේම චිරාත් කාලයක් පවතීවා යන අපගෙ ප්‍රාර්ථනාවයි.

වප් පුර අටවක පෝය


වප් පුර අටවක පෝය
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදා පූර්ව භාග 1.22 ට ලබයි. 8 වනදා බදාදා පූර්ව භාග 3.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28
 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]