UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගෞතම බුදුරජුන්ගේ ලංකාගමනය ගැන ඓතිහාසික වාර්තා

පුරාවිද්‍යා ගවේෂක  ජයරත්න පතිරආරච්චි

බොදුනුවන් වන අපි සැවොම දන්නා වූ කරුණකි බුදුරදුන්ගේ ලංකාගමනය. ලංකාවේ ඇති මූලාශ්‍ර ග්‍රන්ථ වලදී අපිට බුදුරදුන්ගේ ලංකා ගමනය පිළිබඳව පළමුව හමුවන්නේ පාලි මහා වංශයේ දී ය. ගෞතම බුදුරදුන් බුද්ධත්වයෙන් නව වන මාසයේ දී ලංකාවේ මහියංගනයේ වෙළඳ නගරයට වැඩම කළ බව පාලිමහාවංශයේ දී මෙසේ දැක ගැනීමට පුළුවන.

“බෝධිතො නවමෙ මාසේ ඵුස්ස පුණ්ණමියං ජිනො”

ලංකාදීපං විසොධෙතුං ලංකාදීපං උපාගමි ( 1 වන පරිච්ඡේදය 19 වන ගාථාව)

මෙම පාලි ගාථාව සිංහල භාෂාවට මෙසේ ලියැවේ. “සම්‍යක් සම්බෝධියෙන් නව වන මස දුරුතු පුර පසළොස්වක්හි ලංකාද්වීපය හෙවත් ලංකාවට පැමිණි සේක.මෙම සිදුවීම පිළිබඳව වැඩිවිස්තර ලිවීම සඳහා එකළ තවත් ග්‍රන්ථයක් ලියවී ඇත. එම කෘතියට දමා ඇති නාමය වංසත්ථප්පකාසිනී යන්නයි. මෙම පොතේ දී මෙසේ විස්තර කර ඇත.

“බෝධිතො යනු බුද්ධත්වයට පැමිණීමෙන්, ඵුස්ස පුණ්ණමියං යනු පුස නකත් යෙදුණු දුරුතු පසළොස්වක් දිනයෙහි යන අර්ථය යි විසොධෙතුං යනු බුදු සසුන් පිහිටුවීමට පස මිතුරු යක් පිරිස් නමැති කටු කොහොල් හරවා පිරිසුදු කරනු වස් ලක්දිවට එළඹී සේක. යන අර්ථයි. උන්වහන්සේ ගේ වැඩම කිරීමට හේතු දැක්වීම පිණිස අනතුරුය කීහු(වංසත්ථප්පකාසිනි 1994 මුද්‍රණය 59 පිට) ගෞතම බුදුරජාණන්වහන්සේ ලංකාවේ මහියනංගණයට වැඩම කරවීම සඳහා ඉන්දියාවෙන් පිටත් වී ඇත්තේ ප්‍රයාගපට්ටන නම් නැව් තොටුපොලෙන් භික්‍ෂූන් 500 ක් සමගය. උන්වහන්සේ භික්‍ෂු 500 ක් සමග නැවක නැග පැමිණී බව වංශකථාව පවසන අතර උන්වහන්සේ වැඩම කරවීමට ලක්දිවින් ගියා වූ නැව අයත් වූ නැව් සමාගම “මඩුකශලිය පුගියන” ලෙසට සෙල්ලිපිවල සඳහන් ය. “MadukaSaliya pugiyana lene SagaSa” JRASCB, NS , II, P. 137 – 8.1 C, 1 NO, 662, P,50 එම සෙල්ලිථඵය අද දිනද මහියංගණය ගඟ පහළ දහස්තොට නමැති, නැව් 1000 ක් නැවැත්විය හැකි තොටුපොළ අසළ තිබේ. එම සෙල්ලිපිය සද්ධාවන්ත බෞද්ධ බැතිමතුන්ගේ බුද්ධාලම්භන පී‍්‍රතිය සහ බුද්ධඥාණය ද තව තවත් වැඩි දියුණු වීම සඳහා මෙසේ ලියා තබමු.

පරුමක, අබය, පුත, තිශහ නවිකහ, ලෙණෙ, ගොතම, ශමෙණෙ, කරපිතෙ ලාංජන දෙකක් සහ නැව් ලාංජනය මෙහිදී දැක ගත හැක. බුදුරදුන් ඉන්දියාවේ ප්‍රයාගපට්ටන නම් වූ නැව් තොටින් නැවට නැග්ග බව පාලි මහාවංශයේ මෙසේ සඳහන් කර තිබේ.

“නිමන්තෙත්වාහි සම්බුද්ධං සහ සඩ්සං අභොජයි සත්ථා පයාගපට්ටනෙ සසඩ්ඝො නාවමාරුහි” (පාලි මහාවංසය 31 වන පරිච්ඡේදය 6 වන ගාථාව)

මෙම පුවත දීර්ඝ ලෙස විස්තර කරන අටුවාව මෙසේ කියා තිබේ... එකල්හි ලෝක නායක වූ ශාස්තෘන් වහන්සේ භික්‍ෂු සංඝයා සමග ප්‍රයාගපට්ටන නම් තොටෙහි දී මිනිසුන් විසින් එළවන ලද නැවකට නැගි සේක. එහෙයින් ‘චාරිකං රමා නම්හි පෙසසඩ්ඝො නාවමා රුහි’ ය යි කියන ලදී... වංසත්ථප්පකාසිනිය නම් වූ ඉහතදීද සඳහන් කළ විශාල ග්‍රන්ථයේ පිටු අංක 447 දී මෙම තොරතුරු බොදුනුවන් වූ ඔබ සැමට දැක බලා ගැනීමට ද පුළුවන. මහියංගණයට බුදුරදුන් නැවෙන් වැඩි පුවත සඳහන් වන සෙල්ලිපියද දැනට මුද්‍රණයේ ඇති ග්‍රන්ථයක් වන “දකුණු බුදු සිරි පතුල පිහිටි මක්කම සහ රාවන රජුගේ සෙල්ලිපි” හි පිටු අංක 51 දී දැක ගැනීමට පුළුවන. බුදුරදුන්ගේ අගසව් වූ සැරියුත් හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා වූ සංඝරක්ඛිත හිමියන් ද මහියංගණයට වැඩම කර ඇති අතර, උන්වහන්සේ සරඹු හිමියන් සමඟ මෙහි ගල්ලෙනක වැඩ වාසය කර ඇත. දැනට දුවේගල ලෙස හඳුන්වනු ලබන ඓතිහාසික ගල්ලෙන් විහාරයට අයත් සෙල්ලිපියක සඳහන් වන්නේ සංඝරක්ඛිත හිමියන් ද මඩුකශලිය පුගියන නාමය දරන නැව් සමාගමේ නැවකින් ආ බව ය. එම සෙල්ලිපිය මෙසේ ය.

“බරත - ශගරකිතහ - ලෙණෙ” INSCRIPTIONS ON CEYLON. PLATE, XXV, 270
 

භාරත සංඝරක්ඛිත හිමියන්ගේ ලෙණ, මෙම ලිපියේ තෙර යනුවෙන් සඳහන් වී නැත. භික්‍ෂුවක් හැඳින්වීමේ දී තෙරහ යනුවෙන් යොදති. මෙම හිමියන් අසූමහ ශ්‍රාවක භික්‍ෂූන්ගේ අට වන ස්ථානය හිමිවන පුණ්ණ තෙරුන් සමග සද්ධිවිහාරිකව වැඩ වාසය කර ඇති නිසා, (පුණ, තෙරහ ශදිවිහරිය බත - ශගරකිතහ ලෙණෙ ශගශ I.C668) මෙම ලිපියේ සඳහන් වන සංඝරක්ඛිත නාමය හිමියන් කෙනෙකු බව හඳුනා ගැනීමට අපහසු නැත. මෙම හිමියන් සරඹු හිමියන් සමග ද එකට වැඩ වාසය කළා වූ ගල්ලෙනක් මහියංගණය අසල හෙබරව ග්‍රාමයේ තිබේ. එම ලිපිය ගල්ලෙණේ ඇති ආකාරයටම මෙසේ ලියා තබන්නේ බුදුනුවන්ගේ දැන ගැනීම පිණිස ය.

“ශගර කිත හ ච ශබර තෙරහ ශදිවිහරය”

සංඝරක්ඛිත හිමි සහ සරඹු හිමි ගේ සද්ධි විහාරය ලෙසට මෙම සෙල්ලිපිය නූතන සිංහල භාෂාවට පරිවර්තනය කළ හැක. බුදුරදුන් භික්‍ෂූන් පිරිසක් සමග වැඩ සිටියා වූ විශාල ගල්ලෙන් විහාරයක් රුහුණේ දී දැක ගැනීමට පුළුවන. එම විහාරය කරවන්නට ඇත්තේ බුදුරදුන් සිතුල්පව්වට වැඩම කළ අවස්ථාවේදී වීමට පුළුවන.

එම ලිපියද ඉතාමත් වැදගත් වන බැවින් මෙහිදී බුද්ධාලම්භන පී‍්‍රතිය උදෙසා මෙසේ ලියා තබමු. මෙම ලිපිය මීට ඉහත දී ප්‍රකාශයට පත් වී ඇත.

“සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක්” නම් වූ ග්‍රන්ථයේ 42 වන පිටුවේ ඇති එම ලිපිය මෙසේ ඉදිරිපත් කරමු.

බගවත ගොතම ශමණෙ මොගලි පුත තෙරහ ශරිපුත තෙරහ පුශතෙර පුනතෙරහ ශදිවි හරිය අගත අනගත චතුදිශ ශගශ දිනෙ පරුමක අබය පුත පරුමක එරක (ධර්මචක්‍රය විය හැකි ය)

බුදුරදුන්ට විවිධ නාමභාවිතා කර ඇත. ඒ අතර බගවත යන්න සෙල්ලිපියෙහි දී යොදා ඇත්තේ භාග්‍යවතුන් යන අදහසින් විය යුතු ය. අයි.සී. 621

“පිත මහරඣහ බඩකරික පරුමක ශුමන පුත පරුමක චෙමශ ලෙණෙ රඣ තිශහ රඣි යශි නියෙත අගත අනගත බගවත සගස” ලෝකවිදු යනුද බුදුරදුන්ට යෙදු ගෞරවය නාමයකි. ගොතම යනු බුදුරදුන් ගේ පුද්ගලික පැවිදි නමයි. චීවරයක් ඇගලු නිසාවෙන් ශමෙණෙ හෙවත් ශ්‍රමණ යන්න එකළ භාවිතා කර ඇති ආකාරය අටුවා වලදී විස්තර කර ඇත. ශ්‍රමණ භගවත් ගෝතම යනු සෑම තැන්හිම බුදුරදුන්ට රජවරු ඇමතු අයුරුයි. බුදුරදුන් ලංකාවට වැඩම කළ දින දී පැමිණි මුගලන් හිමි, සැරියුත් හිමි, පුණ්ණ හිමි ඇතුළු මහා සංඝයාට පූජා කර ඇති මෙම ගල්ලෙන කරවා ඇත්තේ පරුමක අබය නමැති රජුගේ (ගෝඨාභය රජතුමා) පුත්‍රයෙක් වූ ඵරක නමැති ප්‍රධානියා ය. මෙම ඵරක බුදුරදුන්ට පූජා කළ තවත් ගල්ලෙන් විහාරයක් යටියන්තොට අසල (වේඔය ස්ටේට් පහළ කොටස) ඇත. බුදුරදුන් ඇතිරිල්ලක් දමා අසුන්ගත් ස්ථානයක් ලෙස සඳහන් ස්ථානයට දැන් කියන්නේ බල්ලාහෙළ යනුවෙනි. මෙම ස්ථානය පරණ විහාර නාමලේඛනයට ද අයත් ය. (.... ගිලිමලය, සමන්තකුට පර්වතය, දිවා ගුහාව, බල්ලාහෙල, සිඳගල...)

ගෞතම බුදුරදුන් දෙවන වර ලංකාවට වැඩම කරවන්නේ නාගදීපයට බව මූලාශ්‍ර ග්‍රන්ථ වල සඳහන් ය. එම පුවත පාලි මහා වංශය මෙසේ වාර්තා කොට ඇත. මහා කාරුණිකො සත්ථා සබ්බලොකහිතෙ රතො

බොධිතො පඤ්චමේ වස්සේ වසං ජෙතවනෙ ජිනො “(පාලිමහා වංසය 1 වන පරිච්ඡේදය 44 වන ගාථාව)

පස්මරුන් දිනු මහත් කරුණා ඇත්තා වූ සියලු ලෝවැස්සන්ගේ වැඩෙහි ඇලුනා වූ ශාස්තෘ වූ සර්වඥයන් වහන්සේ සම්‍යක් සම්බෝධියෙන් පස්වෙනි වස.... ජේතවනාරාමයේ සිට නාගදීපයට වැඩම කළ සේක. නාගදීපයේ සිටියා වූ රජවරු ධර්මය අසා පැහැදී බුදුරදුන්ට ඉතා මනරම් ගල්ලෙන් විහාරයක් සාදවා ඒ සමග ආවා වූ ද පසුව එන්නා වූද මහාසංඝයාට පූජා කර ඇත. එම තොරතුරු ඇතුළත් සෙල්ලිපි හත අටක් ම ලිය වී ඇති ස්ථාන දෙකකි. වව්නියාව අසල ඵරුපොතාන සහ පෙරියපුලියම්කුලම් ගල්ලෙන් විහාරයන්, එහි ඇති සෙල්ලිපි දැනට ප්‍රකාශයට පත් වී ඇති බැවින් එම ලිපි මෙහි දී අප ඉදිරිපත් කරන්නේ දැනට මුද්‍රණයේ ඇති සිංහල පොතකින් ය.

“මතුල, බගිනි ලෙණෙ, අගත, අනගත, චතුදිශ, ශගශ, නියතෙ, ශෙ” (මාමා - බෑණාගේ ලෙණ ආ නො ආ සතරදිග සංඝයාට පමුණුවන ලදී. (සිංහල ශිලාලේඛන සංග්‍රහය 2000 මුද්‍රණය 91 පිට 369 වන ලිපිය)

රඣ, නග, ඣිත, රඣ, උති, ඣය, අබි, අනුරදි, ච, රඣ, උති ච, කරපිතෙ, ශෙ ඉම, ලෙණෙ, චතුදිශශ, ශගශ, අනග, ගතන, පශු, විහරයෙ, අපරිමිතෙ, ලොකදතුය, ශතන, ශිත, ශුකයෙ” (නාග රජුගේ දියණිය වූ උතිරජතුමාගේ බිරිය වූ අනුරාදි කුමරිය හෙවත් රැජින සහ රජතුමා වූ උති සමග එකට එකතු වී කරවන ලද ගල්ලෙන් විහාරය අපරිමිත වූ ලොකනායකයාට සහ ඒ සමග වැඩම කළා වූ මහාසංඝයාට නැවත පැමිණෙන සංඝයාටද දෙන ලදී. අපරිමිත ලොකු දතු යන්‍ර ගෞතම බුදුරජාණන් වහන්සේට යොදා, ඇති ගෞරවනීය නාමයකි. “නාග පෝතිකාවා...” යනුවෙන් ආටානාටිය සූත්‍රයේ දී දක්වන ලද නාග දියණියන් මෙම විහාරය කරවා ඇත. මෙම නාග දියණිය ගේ නාමය සඳහන් වන්නේ රැජිනක් වූ අනුරාදි යන්නයි. මෙම අනුරාදි කුමරිය පිළිබඳව වංශ කථා වල දක්නට නැත. අපි කවුරුත් අසා ඇති වෙශමුණි මහරජතුමාගේ පුත්‍රයෙකු ද මෙහි ගල්ලෙනක් කරවා ඇත. එම ලිපිය මෙසේ ය. ‘චිත – ගුතශ - ච - බරණිය – ච - ලෙණෙ (අයි.සී. 344) (චිත්ත ගුත්තගේ සහ බරණියගේ ලෙණ යන්න මෙහි නූතන සිංහල අදහසයි. මෙම සෙල්ලිපිය මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ද තම ග්‍රන්ථයේ දී ඉදිරිපත් කර ඇත.

Parumaka – v(e) Samana – puta – Baraniya – lene – Devaha – ca – catu – disa – Sagasa. I.C.No.09  වෙශමුණි මහරජතුමා ගෞතම බුදුරදුන්ගේ ඉතා සමීතම මිතුරෙකු බව ජාතක අටුවා කථා පොතේ ද තවත් අටුවා හත අටකම සඳහන් වී ඇත. බුදුදහම හා එහි මුල ඉතිහාසය විමසා බැලීම සඳහා මෙහිදී අප ග්‍රන්ථ කිහිපයක නාම ඉදිරිපත් කරමු. එම ග්‍රන්ථ කියවා බලා බොදුනුවන් වන ඔබට බුදුරදුන්ගේ ලංකාගමනයන් ද එදවස මෙහි සිටියා වූ රජවරු පිළිබඳව දැක ගත හැකි ය. සුමංගලවිලාසිනි 3, 962 පිට, ජාතක අට්ඨ කථා අයි, 328 පිට,

වෙශමුණිමහ රජතුමාගේ මිණිපිරියක් වූ පුස්සා නම් කුමාරිකාව ගෞතම බුදුරදුන්ට ගල්ලෙන් කිහිපයක්ම කරවා ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් හොරොව්පොතන සිට කිලෝමීටර් 26 ක් පමණ දුරින් පිහිටි නූතන හන්තාන කන්දේ එම සෙල්ලිපි අද දිනද ඕනෑම අයෙකුට එහි ගිය විට දැක ගැනීමට පුළුවන.

“පරුමක, ශතනශත, ඣිත, පරුමක, මිත, ඣය, පරුමකලු, පුශය, ලෙණෙ, අගත, අනගත, චත, දිශ, ශගශ, රත”

“ “Parumaka – Mita – jhaya – parumaka – Sata – NaSata – jhita – parumakalu – pu Saya – lene – agata anagata –catu – Sagasa .I.C. No. 331
 

මෙම ලිපි දෙකෙහි සඳහන් “ශතනශත” යනු නාසත්‍යයය මෙම නිවුන් දරුවන් දෙදෙනා වෙශමුණි මහරජතුමාගේ පුත්‍රයෝ ය. මොහුනට වේද ග්‍රන්ථ වලදී අශ්වින් ලෙසකියති. මෙම විස්තර දීර්ඝ ලෙස දැන ගැනීමට වුවමනා නම් අසිරිමත් ඉන්දියාව නමැති ග්‍රන්ථයේ 306 පිට බලන්න. බුදුරදුන් නාගදීපයට වැඩම කළ ගමනේ දී චූලෝදර නාරජතුමාට ධර්මය දේශනා කළ බව වංශකථාවල සඳහන් ය. ධර්මය අසා පැහැදුණ මෙම චූලනාග රජතුමා ගල්ලෙන් විහාරය කරවා බුදුරදුන්ට සහ ඒ සමඟ වැඩම කළ මහා සංඝයාට පූජා කර ඇත.

ප්‍රධාන චූලනාගගේ ලෙණ සාංඝිකයි. යන්න මෙම ලිපිය නූතන සිංහලයාට පරිවර්තනය කිරීමට පුළුවන.

ලිපියේ අවසාන අකුරු තුන ශගශ වූවා නම් සංඝයාට යන්න කිව හැක. මෙහි ශගිකෙ යනු සංඝීක යනු විය හැක.

ඉතිහාසයේ කිසිදු තැනක දැකීමට නොලැඹෙන වියග නමැති ප්‍රධානියෙකුගේ පුත්‍රයෙක් වූ නාග නමැති පරුමකයා විශාල ගල්ලෙනක් කරවා බුදුරදුන්ට පූජා කර ඇත. එම ලිපිය, බෙරවාගම ගලේ ඇති පිළිවෙළටම පහත සටහන් කර තබමු.

පරුමක, වියග, පුත, පරුමක, නගශ, ලෙණෙ, අපරිමිතෙ, ලොකදතුශෙ, අගත, අනගතශ, පශුපරිබොගශ, වශතනශුතශුකයෙ

අපරිමිත ලොකදතුශෙ යනු බුදුරජාණන් වහන්සේ ගේ සංඝයාට ද ආවා වූ පසුව පැමිණෙන මහා සංඝයාට පසු පරිභෝජනය සඳහා වැඩ වසන්නා වූ ද වස්වන්නා වූවන්ට ද හිතසුව පිණිස දෙනලදී. යන්න නූතන සිංහල භාෂාවට මෙම ලිපිය පරිවර්තනය කළ හැක. ලිපියේ අවසාන වචනය වූ ශුකයෙ යන්න සුවපිණිස යන්න ලියා ඇති ක්‍රමයයි. මෙම ලෙණ ගෞතම බුදුරදුන්ට කෙළින්ම දී ඇත්තේ වියගගේ පුත්‍ර නාගය. මෙම නාග නාගරජු විය යුතු ය. පැය 4 ක් පාගමනින් ගොස් මෙම ලිපිය ඕනෑම අයෙකුට දැක බලා ගත හැක. ලිපිය පිහිටා තිබෙන්නේ හොරොව්පොතාන දියතිත්තවැව අසල බෙරවාගමය. මෙම සෙල්ලිපිය ලංකාවේ කිසිවෙකුවත් පිටපත් කර රටට ඉදිරිපත් කර නැත. මෙම ලිපියේ සඳහන් වන නාග රජතුමා පිළිබඳව දීපවංශය ඉතා පැහැදිළිව කරුණු ඉදිරිපත් කර ඇත. “....එදින බුදුරජාණන් වහන්සේ අසූ කෝටියක් පමණ නාග ජනයාට බුද්ධ ශාසනයෙහි පැහැද වූ සේක. එසේ පැහැදුනා වූ නාගයෝ එහිදී ඒ තථාගතයන් වහන්සේට නොයෙකුත් ආහාර පානාදියෙන් සංග්‍රහ කළාහුය. වළඳා අවසන් වූ කල්හි ඒ අසුකෝටියක් නාග සමූහයා බුදුන්වහන්සේ පිරිවරා සිටියහ...” සිංහල දීපවංශය 1997 මුද්‍රණය 47 පිට. මෙහිදී ගෞතම බුදුරදුන්ට කළ ආරාධනාවක් මත බුදුරදුන් බුද්ධත්වයෙන් අටවන වසරේ දී කැලණියට වැඩි බව වංශ කථා සියල්ලම කියා ඇත. එම සිදුවීම එසේ වූව ද ගෞතම බුදුරදුන්ගේ හත් වන වසයෙහි දී ලංකාවට වැඩම කරවා ඇත. ඒ අවස්ථාවේ දී උන්වහන්සේට ආරාධනා කර ඇත්තේ බම්බා රජතුමා ය. ගෞතම බුදුරජාණන් වහන්සේ හත් වන වසේ දී වැඩම කළේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වන මාවතගම අසල මකුලාන විහාරයටයි. ඒ බව ඒ අසල ඇති සෙල්ලිපියක සඳහන් ය. බුදුරදුන් මක්කම වෙළඳ නගරයේ සිට (කල්පිටිය) ගුවන් රථයකින් වැඩම කරවා ඇත්තේ කැප්පෙටිගල අසල පිහිටි ගුවන් තොටුපළට ය. දැනට කියන නාමය අනුව දොඩම්තලාව පිහිටි භූමියට පැමිණි බුදුරදුන් කනක බමුණා විසින් කරවූ චෛත්‍යය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වී ඇත.

“බමණ, කනක, තුබෙ, ගොතම නම ශමෙණෙ පතිට පිතෙ”

බරන්දර අසල ගල් පර්වතයක ඇති මෙම සෙල්ලිපිය ඉතා වටිනා ලිපියකි. මෙම ලිපිය විනාශකිරීමට ඉඩ ඇති බැවින් ලිපිය පිහිටි ස්ථානය පැහැදිළිව සටහන් නොකරන්නේ දැන් මෙම ප්‍රදේශය, අන්‍ය ආගමිකයින් සිටින නිසා ය. කුම්බා රජතුමා ගේ දියණීය වූ වල්ලි කුමරිය කරවූ “චකොරවැව“ ද මේ අසලය. අද එම ග්‍රාමය තුළ මහාමදික පල්ලි ඉදිවී ඇත. බුදුරදුන් මකුලානට වැඩි බව බුරුම පොතක සඳහන් ය. එම පොත සිංහල අකුරින් ද මුද්‍රණය වී ඇත. විස්තර වුවමනා අයට ජිනකාලමාලි නමැති කෘතියේ පිටු අංක 134 බැලීමෙන් එය දත හැක. මකුලානට වැඩි බුදුරදුන් මේ අසල වෙනත් ස්ථානයක ගල්ලෙනක විවේක සුවයෙන් ගත කර ඇත. එම නිසා එම ලෙනට දැන් බගවා ලෙණ ලෙස කියති. මෙම ලෙණේ ලියා ඇති සෙල්ලිපියට එම පුවත සහතික කරයි.

වප් පුර අටවක පෝය


වප් පුර අටවක පෝය
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදා පූර්ව භාග 1.22 ට ලබයි. 8 වනදා බදාදා පූර්ව භාග 3.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28
 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]