UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන් නිර්දේශ කළ ඖෂධ හා ප්‍රතිකාර ක්‍රම

ඔබට ලෙඩ රෝග වැළදී තිබේද? මෙලොව කිසියම් ලෙඩක් හෝ රෝගයක් නොවැළඳුණු ජීවියෙකු සොයා ගැනීමටත් නොහැකිය. ඒ තරමටම ලෙඩ රෝග අපගේ ජීවිතය හා බද්ධව පවතියි. අපට ලෙඩක් දුකක් වූ විට එයට කිසියම් පිළියමක් හෝ ඖෂධ වර්ගයක් ලබා ගැනීම සඳහා අපි වෛද්‍යවරයෙක් කරා යන්නෙමු. විවෘත සමාජයේ කාහටත් ලැබෙන පොදු සාමාජික වරප්‍රසාදයක් ලෙස ඒ ආකාරයෙන් වෛද්‍යවරයෙකුගෙන් පිළියම් ලබා සුවවීමේ අවස්ථාව ලැබීමේ සම්භාවිතාව අප හැම දෙනාටම ඇතත් ගිහි සමාජ සංස්ථාවෙන් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි සමාජ සංස්ථාවට ඇතුළත්ව වැඩ වෙසෙන භික්ෂූන් හට ගිහි ප්‍රජාව අත් විඳින එකී ස්වස්ථතා සුඛ විහරණ ඒ අකාරයෙන්ම භුක්ති විඳීමේ සම්භාවිතාවක් ඇතැම් විට නොතිබීමේ ඉඩකඩ ඇත. නගරයෙහි වෙසෙන භික්ෂූන් වහන්සේට වඩා ගමෙහි වෙසෙන භික්ෂූන්වහන්සේටත්, ගමෙහි වෙසෙන භික්ෂූන් වහන්සේට වඩා ආරණ්‍යගතව හා වනවාසීව ස්වකීය ජීවිත කාලයම බවුන් වඩමින් ගතකරන භික්ෂූන් වහන්සේටත් ස්වකීය ගිලන් බව සඳහා සුදුසු ඖෂධ වර්ග හා පිළියම් කලට වේලාවට ලබා ගැනීමේ සම්භාවිතාව අවම වන්නට පුළුවන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර ජීවමානව වැඩ වෙසෙන කල නම් විටින් විට උන්වහන්සේ දිනපතා පා ගමනින් වනවාසී ආරණ්‍ය සේනාසන කරා වැඩම කොට භික්ෂූන් වහන්සේගේ සුව දුක් රෝග නිරෝගී බව විමසා බලා පිළියම් කළ යුත්තෙකු දුටුවහොත් වහාම ඊට නිසි පිළියම් යෙදීමේ බුද්ධ කෘත්‍යයක් හෙවත් බුද්ධ චාරිත්‍රයක් තථාගතයන් වහන්සේ සතුව පැවතිණි.

බුදුරජාණන් වහන්සේ ලෝකවාසී සත්වයාගේ මානසික ලෙඩට ඖෂධ ලබා දුන්නා මිසක කායික ලෙඩට හා කායික නිරෝගීතාවය උදෙසා ඖෂධ වර්ග අනුදැන වදාළ බව සාමාන්‍යයෙන් වැඩි දෙනා අතර ප්‍රචලිත දෙයක් නොවෙතත්, භෙසජ්ජගුරු යන අන්වර්ථ නාමයකින් හැඳින්වෙන තථාගතයන් වහන්සේ උන්වහන්සේ සමග එක්ව වැඩ සිටී භික්ෂූන් වහන්සේ රෝගීව සිටි ඇතැම් අවස්ථාවල දී විවිධ ඖෂධ වර්ග හා පිළියම් වර්ග නිර්දේශ කර ඇති ආකාරය අපට ත්‍රිපිටකයෙහි දී දැක ගත හැකිය. වර්තමානයෙහි දී මෙහි සඳහන් වෙන ඇතැම් ඖෂධ වර්ග ඒ ඖෂධ නාමයෙන්ම හඳුනා ගැනීමට අපහසු වන්නට පුළුවන. ඒ මීට වසර දහස් ගණනකට පෙර භාවිතා වූ වදන් වලින් එකී ඖෂධ වර්ග හැඳින්වී ඇති හෙයින් විනා එහි පවතින ජීවමාන ප්‍රත්‍යක්ෂ බව දැන් එහි ගැබ් නොවන නිසා නොවන බව සැලකිල්ලට ගත යුතුය. එමෙන්ම ත්‍රිපිටකයෙහි සඳහන් වන මෙකී ඖෂධ වර්ග පිළිබඳව දේශීය හෝ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව පර්යේෂකයන්ගේ සැලකිල්ල නොපමාව යොමු කළ යුත්තේ් මෙවැනි අගනා ඖෂධ හා පිළියම් කාලයෙහි වැලි තලාවෙන් වැසී යාම බලා සිටීම නොකළ යුතු දෙයක් වන හෙයින් හා අවම තරමින් එහි කිසියම් කෞතුක වටිනාකමක් හෝ අන්තර්ගතව තිබිය හැකි බැවිනි. පුරාණයෙහි භාරත දේශයෙහි මෙන්ම ලක්දිව දේශීය වෛද්‍ය විද්‍යව අතිශයින්ම දියුණුව පැවති කාල වකවානුවක සිට ලක්දිව මාතුළ ජනපදයෙහි ආලෝක විහාරයේ දී ලේඛනගතවීම දක්වා මුඛ පරම්පරාගතව පැවති මෙකී ත්‍රිපිටකය තුළ තවමත් එදා යුගයෙහි භාවිතා කළ ඖෂධ හා ප්‍රතිකාර ක්‍රමවල ස්වභාවය මේ යැයි නිරීක්ෂණය කිරීමටවත් මේ ආකාරයට හෝ ශේෂ වී තිබීම අප ලත් සුවිශාල භාග්‍යයක් සේ ද සැලකිය හැකිය.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා උෂ්ණාධික කාලයක ඒ නගරයෙහි පිඬුසිඟා වඩින භික්ෂූන් වහන්සේ එකී උෂ්ණය හේතුවෙන් තද අව්වට නිරාවරණය වීම හා වරින්වර ඇද හැලෙන වැස්ස නිසා තෙමුණු මඩ පැගීම ද නිසා, පිත කිපී පිත්තාධික බව නිසා පෙන්වන වමන හා ඔක්කාර ලක්ෂණයන්ගෙන් යුක්ත බව නිරීක්ෂණය කළ සේක. ඊට අමතරව ශාරීරික වශයෙන් ද කෘෂ, දුර්වර්ණ, පඬු පැහැ ඇති අවයවන්හි නහර ඉල්පුනු බවද දුටහ. එයට පිළියම් ලෙස බුදුරජාණන්වහන්සේ විසින් අනුදැන වදාරා ඇත්තේ ගිතෙල්, වෙඬරු, තල තෙල්, මී පැණි, සහ උක් සකුරු යන බෙහෙත් වර්ග පහයි. මේවා ආහාර කෘත්‍යය හා ඖෂධ කෘත්‍යය යන කෘත්‍යයන් දෙකම සිදු කරන අතර විකාලයෙහි පවා වැළදිය හැකි පස්ගෝරස ද්‍රව්‍යයන් ලෙස භික්ෂූන් වහන්සේට නිර්දේශ කර තිබේ.

උදෑසන හා දිවා ආහාර පමණක් වැළදීමත් රාත්‍රී භෝජනයෙන් වැළකීමත් නිසා උදෑසන හා දිවා කාලයෙහි රුධිරයෙහි ග්ලුකෝස් මට්ටම නියතව පවතින අතර රාත්‍රියෙහි එය අවම අගයක් ගන්නේ රුධිරයට ග්ලුකෝස් එක් කරන ආහාරයෙන් වැළකීම නිසාය. එක් පැත්තකින් කිසිදු විවේකයක් නොලබා නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වන ආමාශය ඇතුළු සමස්ත ආහාර ජීර්ණ පද්ධතියට එවැනි ආහාර විරමණයක් මඟින් මඳ අස්වැසිල්ලක් ලබා එහි ක්‍රියාකාරිත්වය ප්‍රකෘතිමත් කර ගැනීමට එය අගනා අවස්ථාවක් වන අතර රුධිරයෙහි ග්ලුකෝස් මට්ටම නියත අගයකින් පවත්වා ගැනීමට බාධාවක්ද වේ. සාමාන්‍ය ශරීර නිරෝගිතාවය ඇති පුද්ගලයන්හට මේ තත්ත්වයට හැඩ ගැසීම අසීරු නොවෙතත්, අභ්‍යන්තර දේහ කි‍්‍රයාකාරිත්වයෙහි හා සිරුරෙහි හෝමෝන නිෂ්පාදන ක්‍රියාවලියෙහි යම් යම් දුර්වලතා ඇති අයහට දියවැඩියා තත්ත්ව වැනි රෝග අවස්ථා මතුවීමට ද මේ තත්ත්වය ඇතැම් විටකදී ඉවහල් වේ. එම හේතුව නිසා ඉහත භික්ෂූන් වහන්සේට නිර්දේශ කරන ලද ගිතෙල්, වෙඬරු, තල තල්, මී පැණි සහ උක් සකුරු යන බෙහෙත් වර්ග පසෙන් සාමාන්‍යයෙන් ආහාර විරමණය කරන රාත්‍රී කාලයෙහි රුධිරයෙහි ග්ලුකොස් මට්ටම නියතව තබා ගැනීමට හා එකී ආහාරවල අන්තර්ගත පෝෂක කොටස් මඟින් රුධිරයෙහි අන්තර්ගත පෝෂක අගය නියතව තබා ගැනීමට අදහස් කර ඇති බව පැහැදිලිය. විශේෂයෙන්ම ධාතුවල කෝපවීම්, විකෘතිතා හා ක්ෂයවීම් මඟහරවා ගැනීම මෙකී ආහාර වැළඳීමේ මුඛ්‍යතම අරමුණ බව කෘෂ, දුර්වර්ණ පඬුපැහැ හා ඉල්පුණු නහරවලින් යුක්ත ශරීර ඇති භික්ෂූන් උදෙසාම මෙකී බෙහෙත් වර්ග පහ අනුදැන වදාරා තිබීම මඟින් ද තහවුරු වේ.

භික්ෂූන් වහන්සේගේ සුව නොවන විවිධ ආහාර අජීර්ණබාධ සඳහා කසාද, ඉඟුරු, වද කසාද, හෙළවදද, ඉවද, කළුරෑණද, සුවඳහොටද, වම්මුතුද මුල් බෙහෙත් වර්ග ලෙස අනුදැන වදාරා තිබේ. මෙහිදී අතැම් භික්ෂුන්වහන්සේ සඳහා මෙකී මුල් බෙහෙත් වර්ග හොඳින් කොටා පිළියෙල කරගත් විවිධ චූර්ණ වර්ග භාවිතා කිරීම අවශ්‍ය වී තිබේ. ඒ අවස්ථාවල දී තමන් මෙකී මුල් බෙහෙත් වර්ග කොටා පිළියෙළ කර ගැනීම සඳහා ඇඹරුම් ගල හා අත්ගල භාවිතා කරන මෙන්ද වදාරා ඇත.

පිත කිපීමෙන් හැර වෙනත් දෝස තත්ත්වයන් හේතුකොට ගෙන ද භික්ෂූන් වහන්සේට අජීර්ණබාධ වැළඳුනු කළ ඒ සඳහා බුදුරදුන් විසින් කොසඹ, කෙළිඳ, දුම්මැල්ල, හඟුල් හා කරඳ යන කහට රස වර්ග ඒ සඳහා නියම කොට ඇත. එසේම ඒ සඳහා තවත් සමහර භික්ෂූන් වහන්සේට කොසඹ, කෙළිඳ, දුම්මැල්ල, තුලසි හා කපු යන ශාක වර්ග වල කොළ වලින් තනන ලද ඖෂධ නියම කොට තිබේ. එසේම සාල්, වගපුල්, මිරිස්, අරළු, බුළු නෙල්ලි හා කුකුළුපත් යන ගෙඩි වර්ගවලින් පිළියෙළ කරගත් ඖෂධ වර්ග ද මෙවැනි ආබාධ සඳහා යෝග්‍ය බැව් පෙන්වා දී තිබේ. එසේම මෙවැනි ආබාධ සඳහාම හිඞ්ගු යන ශාකයෙන් වැගිරෙන මැලියම්, රුක්දඬු හෝ පන් කොළ පිත තම්බා එයින් ලබාගන්නා මැලියම්, රුක්කොළ තම්බා එයින් ලබා ගන්නා මැලියම්, රුක් කරටි යුෂයෙන් ලබා ගන්නා මැලියම්, රුක් වර්ගයේ මේරු කොළ තම්බා ලබා ගන්නා මැලියම්, ලා දළු තම්බා එයින් ලබා ගන්නා මැලියම් හා දුම්මල උණු කිරීමෙන් සාදා ගන්නා මැලියම් වර්ග ද ඖෂධ ලෙස දක්වා ඇත. එමෙන්ම අජීර්ණාබාධ ඇතුළු ආහාර දිරවීම් පද්ධතියට අයත් වෙනත් බොහෝ රෝගාබාධ සඳහා මුහුදු ලුණු, කළුවන් ලුණු, සින්ධු ජනපදයෙන් ලබා ගන්නා ලුණු සුවස ලුණු හා මුහුදු වෙරළාසන්නයෙහි ඇති මැටි වර්ගයක් පුළුස්සා ලබා ගන්නා බළල් ලුණු යන ලුණු වර්ග නිර්දේශ කොට ඇත.

භික්ෂූන් වහන්සේට ඇති වන චර්මාබාධ සඳහා පිළියම් සෙවීමට අවශ්‍යතාවය මතුවූයේ ආනන්ද හිමියන්ගේ ගුරුවරයෙක් වූ බෙලට්ඨීසීස මහරහත් හිමියන්හට හටගැණුනු බරපතල තත්ත්වයෙහි වූ චර්මාබාධයක් නිසාය. මේ චර්මාබාධය නිසා උන් වහන්සේගේ සිරුරෙහි වණ ඇති වී එයින් ඕජස් තරලය දුර්ගන්ධය හමමින් පිටතට ගලා එන්නට වෙයි. හැඳ සිටින පෙරවන සිවුරු ඒ ඕජස්වලින් නැහැවී වියළිී ගොස් වෙන් නොවන සේ තදින් සිරුරටම ඇලී පවතියි.

මේ අසාධ්‍ය තත්ත්වය දුටු භික්ෂූන්වහන්සේ දියෙන් තෙමා පොඟවමින් ඒ ඇලුනු සිවුරු සිරුරෙන් ගලවා ඉවත් කරති. විහාර චාරිකාවෙහි වඩිනා බුදුරජාණන් වහන්සේට මෙය දැන ගැනීමට ලැබී එතැනට වැඩ, බෙලට්ඨිසීස හිමියන්ගේ චර්මාබාධය වැනි ආබාධයක් හෝ කණ්ඩුති රෝගය හෝ පොළක් රෝගය හෝ අර්ෂස් රෝගය හෝ මහ පිළිකාබාධ නමින් හැඳින්වෙන සිරුර පුරා වණ, කුෂ්ඨ තුවාල, බිබිල වැනි දෑ මතු වී එන චර්මාබාධයන් හෝ වැළඳුනහොත් ඒ ආබාධ නිසා ශරීරය දුගඳ හමන සුළු වුවහොත් මහරි කොළ හෝ කොහොඹ කොළ ආදී ඖෂධමය කොළ වර්ග වලින් පිළියෙළ කරනු ලබන වූර්ණ වර්ග හා එම කොළ වර්ගවලින්ම පිළියෙළ කරනු ලබන ඖෂධමය සුවඳ සුණු වර්ග ඇඟ ආලේප කොට පසුව ස්නානය කිරීම මඟින් එකී රෝග තත්ත්වය සමනය කර ගන්නා මෙන් ඒ සඳහා ප්‍රතිකර්ම දක්වා තිබේ.

ඇස් රෝගයන්ගෙන් පීඩාවට පත් වූ භික්ෂූන් වහන්සේ අරභයා ඊට පිළියම් ලෙස කළු අඳුන්, විවිධ ඖෂධ වර්ගවලින් කළ අඳුන්, ගංගාශි‍්‍රත අඳුන්, ස්වර්ණ ගෙරුක අඳුන් හා පහන් දැල්ලෙන් කළ අඳුන් යන නමින් හැඳින්වෙන ඖෂධ වර්ග හොඳින් කොටා සිහින් කුඩු බවට පත්කොට සකස් කරගන්නා අඳුන් වර්ග පිළියම් ලෙස නියමකොට දක්වා ඇත. ඇස් රෝග සඳහා පිළියම් ලෙස අඳුන් වර්ග සැදීමේදී දී සඳුන් තුවරලා, පිත් සමනයට හිතකර බෙහෙත් වර්ගයක් ලෙස ප්‍රචලිත කළුවැල් හා වම්මුතු යන ශාක වර්ග අඹරා එකී අඳුන් වර්ග පිළියෙළ කරගන්නා ආකාරය පෙන්වා දී තිබේ.

තුන්දොස් කිපීම නිසා මහ රහත් පිළින්දවච්ඡ හිමියන්හට ඉවසිය නොහැකි තද හිසරදයක් වැළඳුනු කලක එයට ප්‍රතිකර්ම වශයෙන් පළමුව හිසේ තෙල් බෙහෙත් ආලේපකොට පිරිමැදීම ද අනතුරුව නස්‍ය කර්මය කිරීම ද බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරා තිබේ. එහිද නස්‍ය කර්මය කිරීමේදී භාවිතා කරනු ලබන ඖෂධ වර්ග නාසිකාවෙන් ඉවතට වැරෙන නිසා එකී නස්‍ය ක්‍රියාවලිය සඳහා රත්රනින් හෝ රිදියෙන් හෝ එවැනි වෙනත් වටිනා ලෝහ වර්ග වලින් නොතනන ලද එමෙන්ම පමණට වඩා විශාල හෝ කුඩා නොවූ භාජනයක් ද භාවිතා කරන මෙන් නියම කොට ඇත. නියමිත ප්‍රමාණයට නොවූ භාජන හෝ උපකරණවලින් එම කාර්යය නිසි සේ ඉටු කරගත නොහැකි බැවිනි. එමෙන්ම භික්ෂූන් වහන්සේට වැළඳෙන ඇතැම් ශිර්ෂාබාධ තෙල් ආලේපකොට හෝ නස්‍ය කිරීම මඟින් සුව නොකළ හැකි අවස්ථාවලදී ඒ සඳහා ඖෂධ බෙහෙත් වර්ග ගින්දර භාවිතයෙන් දවා එයින් නැඟෙන ඖෂධ ධූම භාවිතා කිරීමෙන් සුව කරගත හැකි බව ද පෙන්වා දී තිබේ.

තවත් එක් අවස්ථාවක දී රක්තාබාධ තත්ත්වය හේතුවෙන් මහ රහත් පිළින්දවච්ඡ හිමියන්ගේ් දෙපාවල යටි පතුල් පැලී මහත් සේ වේදනාකාරී විය.

බුදුරදුන් විසින් පැළුන පා සුව වීම පිණිස ඖෂධීය තෙල් වර්ග නියම කරන ලදී. ඉන් සුව නොවූ කළ ඒ සඳහා තෙල් වර්ග හා ඖෂධ වර්ග පිස සකස් කර භාවිතා කිරීම නියම කර තිබේ.

එක්තරා භික්ෂූන්වහන්සේ නමකට සිරුරෙහි ගෙඩියක් සහිත ආබාධයක් ඇති විය.

එහි දී බුදුරදුන් විසින් එම ගෙඩි ශල්‍ය කර්මයට ලක් කිරීම කටයුතු කරන මෙන් වදාරා තිබේ. එසේම එකී ශල්‍ය කර්ම සිදු ඛ්ලම පිණිස කසට දිය භාවිතා කිරීම ද, ශල්‍ය කර්මයෙන් පසු තුවාලයට ප්‍රතිකර්ම ලෙස තල කල්කය ආලේප කිරීම ද, වහන් බෙහෙත් ද, කබලිකා ද, තුවාලයට ඖෂධ යෙදීමෙන් අනතුරුව බැඳීම සඳහා රෙදි ද භාවිතා කරන සේ නියම කොට තිබේ.

තුවාලය කසන්නට ගතහොත් එයට පිළියම් ලෙස තුවාලය මතුපිට අබ කුඩු දැමීම ද, තුවාලය මතුපිට පිණි බින්දු සේ ඕජාව මතු වී එයින්ම තුවාලය තෙත් වුවහොත් දුම් කිරීමේ ප්‍රතිකර්මය මඟින් සුව කරගන්නා ආකාරයද පැහැදිලි කර දී ඇත.

තුවාලයෙන් අධික මස් දළු දැමීමක් සිදු වුවහොත් එයට ප්‍රතිකර්ම ලෙස ලුණු ඇට භාවිතයෙන් එකී මස් දළු සිඳ දැමිය යුතුªබව පෙන්වා දී තිබේ.

එසේම තුවාලය සුව නො වුනහොත් එසේම තුවාල කැළල නො මැකුණහොත් එයට ප්‍රතිකර්ම වශයෙන් තුවාල තෙල් භාවිතා කළ යුතුªබව ද, තුවාලයට යෙදන ලද තෙල් වැගිරීම නැවැත්වීම සඳහා තුවාලය බැඳීම පිණිස රෙදි කඩක් ද මීට අමතරව කිසියම් තුවාලයක් සුවවීම පිණිස කළයුතුª සියලුම තුවාල ප්‍රතිකර්ම කිරීමට ද බුදුරදුන් විසින් භික්ෂූන් වහන්සේට නියමකොට තිබේ.

සර්ප දෂ්ටයේ දී එකී විෂ සමනය කිරීම සඳහා අසුචි ද, මුත්‍රා ද අළුද මැටි ද යන සතර වැදෑරුම් මහා විකටය මුඛ මාර්ගයෙන් ශරීරගත කිරීමට බුදුරදුන් විසින් නියම කොට ඇත.

ආහාර ජීර්ණ පද්ධතියෙහි ඇතිවන දුර්වල දිරවීමේ ආබාධ තත්වයන් හෙවත් විපර්යාස වූ එසේම විකෘති සහගත අග්නි ආබාධ වලට පිළියම් ලෙස වියළි බත් පුළුස්සා ගත් අළු පෙරහනෙහි දමා ඒ මත වතුර වත්කළ විට ඉන් වෑස්සෙන දිය පෙවීම ප්‍රතිකර්ම ලෙස වදාරා තිබේ. එසේම පාණ්ඩු රෝග තත්ත්වයන් සඳහා ගෝ මුත්‍රවල දමා කල් තබන ලද අරළු පෙවීමත්, තුන් දොස් කිපීම නිසා හමෙහි මතුපිට සිවිය නරක්වීම සඳහා ඖෂධීය ගන්ධාලේප වර්ගත් අනුදැන වදාරා තිබේ. මේ ආකාරයටම යම් යම් හේතු නිසා සිරුරෙහි තුන් දොස් අධික සේ කුපිත වීමෙන් හට ගන්නා රූක්ෂ, කෘෂ බව වැනි ශරීරගත ආබාධ සඳහා විරේක බෙහෙත් වර්ග පානය කිරීමත්, විවිධ ඖෂධීය ද්‍රව්‍යයන්ගෙන් පෙරා තනන ලද කැඳ වතුර පානය කිරීමත් බුදුරදුන් විසින් නියම කොට තිබේ. එවැනි කැඳ වර්ග හා ඖෂධීය පාන වර්ග පිළියෙළ කිරීමේදී දුරු මිරිස් ආදිය ඒ සඳහා භාවිතා කිරීමෙන් වැළකිය යුතු බව පෙන්වා දී ඇත්තේ ආමාශගත ඇතැම් අජීර්ණබාධ සඳහා එවැනි දේ අගුණ විය හැකි හෙයිනි. එලෙසින්ම සිරුර සිසිල් කොට දොස් සමනය කිරීම සඳහා මුංඇට තැම්බා ඇට ඉවත්කොට පෙරා ගන්නා ලද වතුර පානය යෝග්‍ය බැව් නිර්දේශ කර තිබේ.

අද යුගයෙහි ශේෂව ඇති දේශීය වෛද්‍ය ක්‍රමවල ද විවිධ ආමාශගත ;රීග සමනය සඳහා මෙවැනි නිර්දේශයන් භාවිතා වී ඇති ආකාරය අනුව පැහැදිලි වන්නේ කුමන රටක වුවත් ක්‍රියාත්මක වන දේශීය වෛද්‍ය ක්‍රමයන්හි එක සමාන ආකාරයෙන් ප්‍රතිකාර විධීන් හා ඖෂධ වර්ග කාලානුක්‍රමිකව විකාශය වෙමින් පැවතුණු බවයි.

වප් පුර අටවක පෝය


වප් පුර අටවක පෝය
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදා පූර්ව භාග 1.22 ට ලබයි. 8 වනදා බදාදා පූර්ව භාග 3.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28
 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]