UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

අතීත උරුමය සොයා යෑම

ලෝකයේ පැරැණි ම තත් වාද්‍ය භාණ්ඩය යැයි විශ්වාස කැරෙන රාවණාහස්ත්‍රම් ගැන ලියූ ලිපියක් මෙහි විශේෂාංග යටතේ පළ වේ. ධර්ම සන්නිවේදනයේ නිරත බුදුසරණ පුවත්පතෙහි සංගීත භාණ්ඩයක් පිළිබඳ ලිපියක් පළ කැරෙනුයේ කුමක් සඳහා දැයි යමකු තුළ කුතුහලයක් ඇති වීමට පුළුවන. එම ලිපිය පළ කිරීමට හේතුව, රාවණා හස්ත්‍රම් ගැන කියන දිනේෂ් සුබසිංහ නමැති සංගීතඥයා සමඟ ඇති පෞද්ගලික සබඳතාවක් හෝ සංගීත විෂයයට ඇති විශේෂ ලැදියාවක් හෝ නො ව ජාතික වගකීමක් ඉටු කිරීමකි.

රාවණ රජු ගේ තත් වාද්‍ය භාණ්ඩය පිළිබඳ පුවත කෙ තරම් වැදගත් දැයි අවබෝධ කැර ගැනීම පිණිස ලන්ඩන් විශ්වවිද්‍යාලයයේ ඉන්දීය ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වූ ඒ.එල්. බෂාම් 1953 දී පළ කළ ‘අසිරිමත් ඉන්දියාව‘ නමැති කෘතියේ ඇතුළත් කරුණක් මෙහි උපුටා දක්වමු.

‘ඉන්දීයයන් ගේ ප්‍රධාන සංගීත භාණ්ඩය වීණාව යි. මුල දී ඒ නම යොදන ලද්දේ මිසරයේ හා මැද පෙරදිග තිබූ ‘හාප්’ නමැති භාණ්ඩයට සමාන තත් දහයකින් සමන්විත ඉන්දීය භාණ්ඩයකට ය. ගුප්ත රාජ්‍යයේ අවසාන භාගය වන විට මේ භාණ්ඩය කාලයට අනුචිත වන්නට විය. අද භාවිතයේ ඇති වීණාව වියළි වට්ටක්කා බෑයකට සවි කැරෙන දණ්ඩකින් යුක්ත ය. මේ තත් (එනම් උප වීණයකින් වාදනය කැරෙනු ලබන) භාණ්ඩය ද ඇතැම් විට භාවිතයේ පවතින්නට ඇතැයි අනුමාන කළ හැක. එහෙත් මුස්ලිම්වරුන් ගේ පාලන සමය එළඹීමට පෙර ඒවා ශිෂ්ට සංගීතඥයන් අතර පාවිච්චි වන්නට ඇත්තේ කලාතුරකිනි.’

මේ විස්තරය අනුව රාවණාහස්ත්‍රම් තත් වාද්‍ය භාණ්ඩයට හිමි ඓතිහාසික ස්ථානය කුමක්දැයි වටහා ගැනීමට අප පාඨකයන්ට එ තරම් අපහසු නො වනු ඇත. දිනේෂ් සුබසිංහ මහතා ගේ මේ ප්‍රයත්නය සාර්ථක වුවහොත් කෙ තරම් පෙරැළියක් සිදු වේ දැයි අවබෝධ කැර ගැනීමට යුරෝපා කලා ඉතිහාසය කණපිට හැරැ වූ සිද්ධියක් ගැන 2008/02/06 දිනැති කතු වැකියෙහි කොටසක් වෙත පාඨක අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

‘ජනවාරි මස 30 වන දා ඩේලිනිවුස් පුවත්පතෙහි පළ වූ අපූරු ප්‍රවෘත්තියක මෙ සේ සඳහන් ව තිබිණ. තෙල් සායම් චිත්‍ර කලාව ආරම්භ වූයේ 14 වන සියවසෙහි යුරෝපයේ පැවැති පුනර්ජීවන කලා යුගයේ දී යැයි පවතින පිළිගැනීම වැරැදි බව ජපන් ජාතික පර්යේෂකයකු පෙන්වා දී තිබේ. ඇෆ්ගනිස්ථානයේ බාමියන් ගුහාවලින් හමු වී ඇති බෞද්ධ චිත්‍ර කලාවේ ආරම්භය ක්‍රි.පූ. 650 දක්වා අතීතයට දිව යයි. යොකෝ තනිගුචි නමැති මේ විශේෂඥයා, ජපානයේ සංස්කෘතික දේපළ පිළිබඳ ජාතික පර්යේෂණ ආයතනයේ සේවයේ යෙදී සිටී. බාමියන් නිම්නයේ ගුහාවන් හි ඇති බෞද්ධ චිත්‍ර පනස් තුනක් නවීන විද්‍යාත්මක විශ්ලේෂණයකට භාජනය කිරීමෙන් මේ ප්‍රතිඵලය ලැබී තිබේ. එම චිත්‍ර සඳහා භාවිත කළ තෙල් වර්ග, 14 වන හා 15 වන සියවස් වල දී ඉතාලියේ භාවිත කළ ඒවාට සමාන ය.’

බුදු දහමෙහි උපත සඳහා පාදක වූ භාරතයේ විශිෂ්ට සමාජ පරිසරයත් බුදු දහම මඟින් පෝෂිත අප ගේ මහඟු සංස්කෘතියත් ලොවට අනාවරණය කිරීම පර්යේෂකයන් ගේ යුතුකමකි. දිනේෂ් සුබසිංහ මහතා ගේ එ බඳු ප්‍රයත්නයට බුදුසරණෙහි ඉඩ කඩ වෙන්වීම අරුමයක් නො වන බව මේ අනුව පැහැදිලි විය යුතු ය. කෙ සේ වූව ද රාවණාහස්ත්‍රම් පිළිබඳ පුවත සංගීත විෂයයට පමණක් සීමා වූ කරුණක් නො වේ. මෙය අප ගේ ජාතික අනන්‍යතාව පිළිබඳ කාරණයක් හා මානව ශිෂ්ටාචාරයේ වැදගත් සංධිස්ථානයක් අනාවරණය කිරීමක් ලෙස දකිමු.

මෙ බඳු භාරධූර කාර්යයක් වෙනුවෙන් වෙහෙසෙන දිනේෂ් සුබසිංහ සංගීතඥයා හට කෘතඥතාව පළ කිරීම ද අප ගේ යුතුකමකි. ශ්‍රී ලංකාවට අවශ්‍ය ව ඇත්තේ අනුකාරක සුපිරිතරු නො ව දිනේෂ් සුබසිංහ වැනි ප්‍රඥාවන්ත තරුණයින් බව විශේෂයෙන් කිව යුතු ය.

මැදින් අමාවක පෝය

    අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදා අපර භාග 12.22 ට ලබයි.
අපේ‍්‍රල් 06 වැනිදා ඉරිදා පූර්ව භාග 09.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]