UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘දිරියෙන් පිරිපුන් රීස් ඩේවිඩ්ස්’ ඉතිහාසය විකෘති කිරීමකි



රීස් මැතිතුමා



රීස් මැතිනිය

පසුගිය දෙසැම්බර් 17 වන දින ‘බුදුසරණ’ පත්‍රයේ පළවූ දිරියෙන් පිරිපුන් රීස් ඩේවිඩ්ස් යන ලිපියෙහි සඳහන් ඇතැම් කරුණු සත්‍යයෙන් තොර ඒවා බව සඳහන් කරන්නෙමි. එයින් පාඨකයා අසත්‍ය අදහසක් ලබාගන්නා නිසා මේ ලිපිය ලියන්නට අදහස් කළෙමි.

බුදුසරණ පත්‍රයේ පළවූ එම ලිපියට අනුව රීස් ඩේවිඩ්ස් මහතා ලංකාවට පැමිණ ඇත්තේ 1864 වර්ෂයේදී ය. එවිට එතුමාගේ වයස අවුරුදු 21 කි. එසේ පැමිණි ඔහු සිවිල් සේවයට බැඳී එවකට ආණ්ඩුකාර පදවිය දැරූ (වැඩ බලන) මේජර් ජනරාල් ටෙරන්ස් ඕබ්‍රියන් ගේ පෞද්ගලික ලේකම් ලෙස වසර තුනක් සේවය කළ බව එම ලිපියෙන් පවසයි. නමුත් මේජර් ජෙනරාල් ඕබ්‍රයන් මෙරටේ ආණ්ඩුකාර වරයෙකු ලෙස සේවය කරන ඇත්තේ 1863 සිට 1865 දක්වා වසර දෙකක් පමණකි. නමුත් ඔහු සේවය කර ඇත්තේ ද වැඩ බලන අයකු ලෙස නොවේ. වසර දෙකක්ම වැඩ බලන්නකු වශයෙන් සේවය කරාවිද යන්න ගැටලු සහගත ය. ඔහුගෙන් පසු 1865 සිට 1872 දක්වා වසර හතක් ලංකාවේ ආණ්ඩුකාර වරයා වශයෙන් සේවය කර ඇත්තේ ශ්‍රීමත් හර්කියුලිස් රොබින්සන් නමැති ආණ්ඩුකාර වරයා ය. ඔහු යටතේත් රීස් ඩේවිඩ්ස් පෞද්ගලික ලේකම් වරයකු ලෙස සේවය කළ බව, එම ලිපියෙන් පවසයි. වයස අවුරුදු 21 වැනි නව යොවුන් තරුණයකුට ලංකාවේ ප්‍රධාන පුරවැසියාගේ පෞද්ගලික ලේකම් වශයෙන් සේවය කිරීමට ලැබේද යන්න සිතීමට අපහසු ය.

එම ලිපියේ මෙසේ ද සඳහන් වෙයි. හෙතෙම සිය විභාග සඳහා යාත්‍රා මුල්ලේ ධම්මාරාම හිමියන්ගෙන් සිංහලත් සිවිල් සේවාවේ ආධුනිකයන් සඳහා වූ අනිවාර්ය විභාග වලට අදාළ ශ්‍රී ලංකා සංස්කෘතියත් උගත්තේ ය. යාත්‍රාමුල්ලේ ධම්මාරාම හිමියන්ට රීස් ඩේවිඩ්ස් මහතා වෙත මෙහි සඳහන් තරම් අධ්‍යාපනයක් ලබා දෙන්නට නොහැකි විය. එමෙන්ම රීස් ඩේවිඩ්ස් තුමා යාත්‍රාමුල්ලේ හිමියන්ගෙන් අධ්‍යාපනයක් ලබන්නට තැත් කළේ බුදුසරණ ලිපියේ සඳහන් වන පරිදි විභාග වලට හෝ අනිවාර්යෙන් ශ්‍රී ලංකා සංස්කෘතියක් උගත යුතු ය යන න්‍යායකට අනුව බව කීම, අසත්‍යයකි. සිංහල රටේ සිංහලයනට සිංහල බෞද්ධ සංස්කෘතියක් ඉගෙනීම තහනම් කළ එයට අතහිත නොදුන් ඉංගී‍්‍රසි පාලකයන් ඔවුන්ගේ නිලධාරීන්ට එසේ කිරීමට අනිවාර්ය කිරීමක් කළා යැයි සිතිය හැකිද යන්න ප්‍රශ්නයකි. එසේ ඉඩකඩ ලබා දුන්නා නම් රීස් ඩේවිඩ්ස්ලා වැනි යුරෝපීය බෞද්ධ පඬිවරු සිය ගණනක් ලෝකයට හිමිවනු ඇත. රීස් ඩේවිඩ්ස් පඬිවරයා 1881 දී පමණ කරන ලද දේශනයකදී යාත්‍රාමුල්ලේ ධම්මාරාම හිමියන් ගැන මෙසේ පවසා ඇත.

උන්වහන්සේ පළමුව මා වෙත පැමිණෙන විට මාරයා ගේ හස්තය උන්වහන්සේ වෙත දිගු කොට තිබිණි. දුක් ගෙන දෙන අසාධ්‍ය රෝගියකින් මරණයට ළං වෙමින් සිටි එවැනි අවස්ථාවකදීත් තමාගේ අමාරුකම් නොසලකා ආගන්තුකයකුට ඉගැන්වීම සඳහා මා වෙත පැමිණීම ගැන මම උන්වහන්සේට කෘතඥ වෙමි. (රාමඤ්ඤ මහ නිකාය පඨම මහ සන්දේයො 186 පිටුව)

මේ අනුව පෙනී යන්නේ රීස් ඩේවිඩ්ස් තුමා වැඩි අධ්‍යාපනයක් ලැබුවේ රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූහි මහ නා හිමියන්ගෙන් සහ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිවරුන්ගෙන් බව ය. මෙය පාලි භාෂාව ඉගෙනීමට හේතු වූයේ විභාගයක් සඳහා නොවන බවට කදිම නිදසුනකි. රීස් ඩේවිඩ්ස් පඬිතුමා මියගොස් දෙමසකට පසුව එකල ලංකාවේ තිබූ ප්‍රබල බෞද්ධ සඟරාවක් වූ “ශ්‍රී ධර්ම ශ්‍රී” සඟරාවේ 1923 පෙබරවාරි කලාපයේ පළ වූ රීස් ඩේවිඩ්ස් පඬිතුමා පිළිබඳ සමරු ලිපියේ සඳහන් වන මෙම කොටස සලකා බැලිය යුතු ය.

වර්ෂ 1866 දී එනම් වයස 23 හැවිරිදි කාලයේ දී ලක්දිව සිවිල් නිලධාරියෙකු ලෙස පත්වී, ආවේ ය. සිවිල් මෙහෙයේ යෙදී අවුරුදු 11 ක් ගතවූවායින් පසු එනම් වර්ෂ 1877 දී ඔහු නීතිවේදියකු විය. රයිස් ඩේවිඩ්ස් තුමා ගාලු නගරයේ පොලිස් නඩුකාරධූරයෙහි කටයුතු කරන කාලයෙහි තමන් ඉදිරියට පැමිණි නඩුවක් පිළිබඳ බුද්ධ ධර්මානුගත රීතිය කුමක්දැයි දක්වනු සඳහා බුද්ධ වචනයෙන් ගෙන යොදන ලද පාලි පාඨ කීපයක් දැක එහි අදහස තේරුම් කර ගැනීමෙහි බලවත් ආශාවක් ඇති කර ගත්තේ ය.

බුද්ධාගම පිළිබඳ මෙතුමාගේ සිත යොමු කරන ලද ප්‍රථම අවස්ථාව මෙය බව සැලකිය යුතු යි. පළමු වරට අසන්නට ලැබුණු යථෝක්ත පාඨයන්ගේ අර්ථ එවිට අසාගෙන ඉන්පසු පාලි භාෂාව දත් අයකු නිවෙසට කැඳවා සියලු දිනයන්හිම උදය කාලයේ ඔහුගෙන් පාලි ඉගෙනීමට පටන් ගත්තේ ය. මෙසේ ඉතා ඉක්මනින් පාලි ධර්මය පිළිබඳ දැනීම දියුණු කර ගැන්මෙහි යෙදුණු මේ තරුණ ප¼ඩිවරයා නිරතුරු සිප්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් වහන්සේගෙන් ද ගුරුකම් ලබා ගත්තේ ය. මේ කාලයේ දී පාලි භාෂාව කෙරෙහි ඇල්මක් යුරෝපීයයන් තුළ නොමැති විය. ඔවුන් තුළ අද පවතින ඇල්ම ඇති කරලීමෙහි අතිශය වෙහෙස දරා මෙසේ කටයුතු කළ මෙතුමාගේ ක්‍රියාව බෞද්ධයෝ නිතර මෙනෙහි කරත්වා!

ඉහත සඳහන් කළ “ශ්‍රී ධර්මශ්‍රී” සඟරාවේ මීට අවුරුදු අසූපහකට පෙර ලියන ලද එම ඡේදය බුදුසරණ ලිපියේ අසත්‍ය, කරුණු වලට නිවැරැදි පිළිතුරක් වනවා ඇත. ඒවා නම් රීස් ඩේවිඩ්ස් පඬිතුමන් මෙරටට පැමිණියේ 1864 නොව 1866 දී බවත් පැමිණ සිදුකර ඇත්තේ ආණ්ඩුකාර ලේකම්, පදවියක් නොවන බවත් සිවිල් සේවයෙන් වසර 11 කට පසු පොලිස් නඩුකාරවරයකු ලෙස ඇති වූ භාෂා ප්‍රශ්නයක් නිසා පාලි ඉගෙන ගත්තා මිස විභාග ආදියට නොවන බවත් යන කරුණු හොඳින් පැහැදිලි කරයි.

බුදුසරණ ලිපියේ සඳහන් කරනුයේ රීස් ඩේවිඩ්ස් තුමා 1872 දී ආපසු එංගලන්තයට ගිය බව ය. නමුත් ශ්‍රී ධර්ම ශ්‍රී සඟරාව 1923 දී පවසනුයේ රීස් ඩේවිඩ්ස් තුමා ලංකාවට පැමිණ වසර 11 කට පමණ පසු 1877 දී නීතිවේදියකු වී පසුව පොලිස් නඩුකාරයකු වූ බවයි. නමුත් රීස් ඩේවිඩ්ස් තුමාගේ අභාවයෙන් මාස දෙකක් ගිය තැන ලියූ ශ්‍රී ධර්ම ශ්‍රී සඟරාවේ රීස් ඩේවිඩ්ස් සමරු ලිපියේ සඳහන් වන්නේ රීස් ඩේවිඩ්ස් තුමා ලක්දිව සිටගෙන ගිය බුදු දහමේ හා පාලි භාෂාවේ කටයුතු නිසා සිය සේවා නිසි පරිදි ඉටුකර ගැනීමට නොහැකි වූ නිසා ආපසු එංගලන්තයට ගොස් ලන්ඩන් නුවර මහා විද්‍යාලයේ පාලි ආචාර්ය පදවිය ලබා ගත් බවය. පසුව 1882 වසරේ දී පාලි පොත් සමාගම පිහිටුවා ගෙන ක්‍රියා කළ බවය.

රීස් ඩේවිඩ්ස් පඬිවරයාගේ පි‍්‍රය මැතිනිය වූ කැරොලයින් තෙලී නම් කාන්තාව සිය සැමියාගේ කටයුතු වලට ප්‍රබල ශක්තියක් ලෙස කටයුතු කළා ය. ඇයද පොත් පත් රාශියක් ලියා පළ කළ අතර ඇය දරුවන් තිදෙනකු රීස් ඩේවිඩ්ස් පරපුර වෙනුවෙන් මෙලොවට බිහි කළා ය.

ඇයගේ එකම පුතණුවන් පළමුවන ලෝක සංග්‍රාමයේ දී යුද අනතුරකට ලක්ව අකාලයේ මිය ගියත් දියණියන් දෙදෙනා උසස් අධ්‍යාපනයක් ලබා වැදගත් ජීවිත ගෙවූහ.

ලංකාවෙන් නික්ම ගියද සිය සබඳතා නොකඩවා පවත්වාගෙන ගිය රීස් ඩේවිඩ්ස් පඬිවරයාගේ සේවය අගය කළ අමරපුර සිරි සද්ධම්ම වංශ මහ නිකාය හා එවකට මහනායක ධූරය හෙබවූ වස්කඩුවේ සිරි සුභූති රාජගුරු මහා ස්වාමිපාදයෝ “සිරි ධම්මපණ්ඩිතාචරිය” යන ගෞරව නාමය රීස් ඩේවිඩ්ස් පඬිවරයාණන්නට පුදා ගෞරව උපහාර දක්වා ඇත. වසර 79 ක් පමණ ජීවත්ව සිටි මෙතුමා 1922 දෙසැම්බර් මස 28 වන දින පරලෝක ගතවිය. එතුමාගේ මැතිනියද එයින් වසර විස්සකට පසු පරලෝක ගත විය.

බුදුසරණේ රීස් ඩේවිඩ්ස් පඬිවරයාණන්ගේ ලිපියේ අවසානයට ඇති කොටසේ තොරතුරු ඉතා සාවද්‍ය කරුණු වලින් සමන්විත බව පෙන්වා දෙනු කැමැතිවෙමි. එම ඡේදය මෙසේ ය.

“ මහමුදලි ලුවී ද සොයිසා බලපිටියේ සලාගම කුලයෙන් ප්‍රථම වරට මහ මුදලි තනතුරක් ලත් තැනැත්තා හැටියට සිහිවටනයක් ලෙස ගාල්ල කොටුවේ ඔරලෝසු කුළුන ඉදි කරවූයේ ය” යනුවෙනි. මෙය නොදැනුවත්ව ලියන ලද විකෘතියකි.

සලාගම කුලයේ ප්‍රථම මහමුදලි වරයා ලුවි ද සොයිසා මුදලි තුමන් නොවිය යුතු ය. එතුමන් උපත ලැබුවේ 1816 දී බළපිටියේ වැලිතර හාරඹ වලව්වේදී ය. මියගියේ 1884 මාර්තු මස 02 වන දින බළපිටියේ කොස්ගොඩ මහවිලච්චේදී ය. එතුමන් මහ මුදලි තනතුරකට පත්වූයේ 1879 දීය. ඊට පෙර 1845 ජූනි 01 වන දින රජයේ භාෂා පරිවර්තක මුදලි තනතුරද 1863 තෝල්ක මුදලි තනතුර ද 1867 දී මුදලි පදවියද පිළිවෙළින් ඉසිළු ලුවිද සොයිසා මහතා සිදු කළ මා හැඟි සාහිත්‍ය සේවා අතර ප්‍රධානම කාර්යය වන්නේ ලංකාවේ ප්‍රථම වතාවට පුස්කොළ ග්‍රන්ථ නාමාවලියක් තැනීම ය.

බුදුසරණ ලිපියේ ලුවිද සොයිසා මුදලි පදවි සමරු ඔරලෝසු කුළුණ, නමින් සඳහන් වන කුළුණ කෑගල්ල, කොටුවේ තැනවීම සිදුකරන ලද්දේ මෙම සැම්සන් ද ආබ්‍රේව් රාජපක්‍ෂ මහ මුදලිවරයා විසිනි. එය තනවන ලද්දේ ලුවි ද සොයිසා සිහිවීමට නොව ගාලු ප්‍රදේශයේ සේවය කළ කීර්තිමත් වෛද්‍යවරයෙකු වූ පීටර් ඩැනියෙල් ඇත්තනීස් නම් මහත්මයකුගේ සේවාව සිහිවීම පිණිස ය. එය ගාලු නගරවාසීන්ගේ යෝජනාවකට අනුව ඉදිකැරිණි. ඒ සඳහා වියදම් කළ සම්පූර්ණ මුදල සැම්සන් රාජපක්‍ෂ මහ මුදලි තුමන් විසින් දරා ඇත. එම ඔරලෝසු කණුවේ සමරු ශිලා ලේඛනයේ ඉංගී‍්‍රසි බසින් සඳහන් වනුයේ මෙම සටහනයි. The Clock is the Gift of Samson D’ Abrew Rajapakse J – P of kosgoda (Mdccel XXXiii ( = 1883)

වර්ෂ 1883 වසරේදී තනවා නිම කර ඇති මෙම ඔරලෝසු කුළුණ අවුරුදු 125 ක් ඉපැරණි ය.

මෙලෙස ලිඛිත සාක්‍ෂි ආදිය තිබියදී, අසත්‍යවුන් විකෘතිවුන් තොරතුරු ලිවීම තුළින් අනාගත පරපුර ද වත්මන් පරපුර ද නොමඟ යනු ඇත. මෙම ලිපිය ලියන ලද්දේ එම නොමඟ යෑම වළක්වනු පිණිසය.

එම අසත්‍ය කරුණු ඇතුළත් 2007.10.25 බුදුසරණ ඉංගී‍්‍රසි ලිපිය සිංහලයට පරිවර්තනය කළ නාරාවිල පැට්රික් මහතාට මම පින් දෙමි. එතුමන් මෙය සිංහලයට පරිවර්තනය නොකළා නම් මේ සත්‍ය කරුණු එළි දකින්නේ නැත.

දුරුතු
අව අටවක 

දුරුතු අව අටවක
පෝය ජනවාරි 29 වන දා
අඟහරුවාදා අපරභාග
09.20 ට ලබයි. 30 වන දා බදාදා අපර භාග 11. 48 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 30 වනදා බදාදාය.

මීළඟ පෝය
පබරවාරි 06 වනදා බදාදා.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]