UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපදට්ඨකථාවෙන් හෙළි වන ‘වෙසමුනි රජතුමා’ සහ ‘අවරුද්ධ’ ලංකාවේ ද?

‘අභිවාදන සීලිස්ස, නිච්චං වුද්ධා පචායිනො චත්තාරො ධම්මා වඩ්ඪන්ති – ආයු වණ්ණො සුඛංබලං” සිල්වතුන්ට වඳින වැඩිහිටියනට පුදන තැනැත්තාගේ ආයු පැහැ, සැප බල යන සිව් ගුණ වැඩෙත් යනු බුදු වදනකි. ධම්ම පදයේ සහස්ස වග්ගයේ දස වන ගාථාව අනුව, ඉහත ඉදිරිපත් කළ ගාථාවට ලියා ඇති නිදාන කථාවේ දී, “දඹදිව දීඝලම්බික නුවර වැසි බමුණෙක් තපස් රැකුමට වන මැද අටසාළිස් වසක් තපස් වතරැඳී පසුවැ කුලය නැසුනොත් පරපුරට වන හානිය සලකා තපස හැර ගොස් බිරිඳක් සරණ කැරැ ගත්තේ ය.

දරුවෙක් ලැබුණු පසු ඒ බමුණු, බැමිණි දෙදෙනපුත් සිඟිත්තා (කුඩා පුතු) සමඟ දීඝලම්බික නුවර ඇසුරු කොට අරණ කිළියෙකැ (වන කුටියෙක් හි) වැඩ වෙසෙන බුදුරදුන් වෙත එළඹ වැඳ සිටියහ. බුදුරදහු “දීඝායු කො හොථ” (බොහෝ ආයු විඳිවමු) වදාළ සේක. දරු සුඟිත්තා (පැටවා) වැන්ද වූ කලැකිසිවක් නොවදාළහ. ඔවුන් එයට කරුණු විමසූ කලැ “මේ ළදරුට උවදුරෙක් ඇත. ආයු සත් දවසකැයි වදාළ පසු දෙමාපියෝ තැතිගෙන කඳුළෙන් පිරුණු නෙත් ඇත්තෝ වූහ. ඔවුහු “බුදුරදුන් වහන්ස! ඒ උවදුර වැළකුමට උවදෙසක් වේ නම් වදාළ සේකැයි අයැදූහ.” “ එසේ නම් සිය ගෙදොරැ මණ්ඩපයක් තනා එහි අසුන් පනවා සඟුන් වහන්දැ අට නමක් හෝ සොළොස් නමක් වඩා හිඳුවා සතියක් මුළුල්ලෙහි නොකඩ වැ පිරිත් දෙසුම් පවත්වා ඒ උවදුරු දුරු කැරැ ගන්නයි වදාළ සේක. බමුණු විගස ගේ දොර පිරිසුදු කරවා මණ්ඩප තනා සියලු කටයුතු නිමවා සඟුන් වැඩමවා පුතු ද පසෙක බිම හොවා සතියක් මුළු දා නොකඩ වැ පිරිත් දෙසුම් කැරැ විය.

සත් වන දවස බුදු හිමියෝ ද වැඩම කළ සේක. එහෙයින් දෙවියන්ගේ පැමිණීම ද ඇතිවිය. බෙහෙවින් සෙත සැලසුණේ ය. ඒ කුමරු උතුරු දිගදි පති වෙසමුණු රජුගේ නියමය පරිදි අවරුද්ධ නම් යකුට බිලි වැ සිටි. පිරිත් දෙසුමේ අනුසසින් සෙත සැලසී ආයු වැඩුණේ ය. තුනුරුවන් ගේ පිහිට ලැබිණ. දෙවියන්ගේ රැකවල් ඇතිවිය. එහෙයින් වෙසමුණු රජුගේ නිලය (නියමය) වැරැදුණේ ය. අවරුද්ධ යකුගේ බිලිය වැළකුණේ ය. අනතුරුවැ ඒ ළදරුවන් ලවා බුදුරදුන් වැන්ද වූහ. බුදුරදහු “දීඝායු කොහොහි” (බොහෝ ආයු විඳුව) යි වදාළ සේක. එක්සිය විසි අවුරුද්දක් ආයු වැඩුණේ ය. ඒ කුමරු ආයු වඩ්ඪන නමින් පසිඳුවිය. ඒ නිමිති කොට ‘නි තොරැසිල්වතුනට වඳින වැඩිහිටියනට පුදන තැනත්තාගේ ආයු හා සිරුරැ පැහැය ද සැපයද කය බල හා නැණ බෙලද වැඩෙන බැව්” වදාළ සේක (ධම්මපද ෂවරණය 225 පිට) මෙම කථාවේ සඳහන් වී ඇති වෙසමුණු රජු සහ අවරුද්ධ යන දෙදෙනාගේ නමින් කැරැවූ සෙල්ලිපි ලංකාවේ ගල්ලෙන් වලදී දැක්ක හැක. ඒ අනුව උතුරු දිගදිපති 7 උතුරු දිග අධිපති වූ වෙශමුණු ගේ පුත්‍රයෝ කරවූ ලෙන් ලිපි වව්නියාව එරුපොතාන, පෙරිය පුලියම් කුලම සහ මිහින්තලය සිතුල් පව්ව බඹරගස්තලාව සහ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ වතුර ග්‍රාමය අසල ද තිබේ.

දැනට ප්‍රකාශයට පත් වී ඇති සෙල් ලිපි සංග්‍රහයේ අංක 9 ට සඳහන් ලිපිය මෙසේ ඉදිරිපත් කර ඇත.  “ Patumaka v (E) Samaha – Puta – Batahiya icne Devaha – Cacatu – disa – Sagasa (The Cave of Batani, Son of the chicf vesamana, and of Deva (isgiven) to the Sangha of the Four Quatters)” (ISSCRIPTIONS OF CEYLON.VOLUME I P.2 NO.9)  “පරුමක වෙශමණ – පුත – බරණිය - ලෙණෙ දෙවහ චචතුදිශ ශගශ (ප්‍රමුඛ වෙසමණගේ පුත්‍ර බරණගේ සහ දේවගේ ලෙණ සතර දිග සංඝයාටය) සිංහල ශිලා ලේඛන සංග්‍රහය 50 පිට අංක 9 ලිපිය.

මෙම ලිපියෙහි සඳහන් වන වෙශමණ සංස්කෘත වලදී වෛශ්‍රවණ ලෙසද, පාලි වලදී වෙස්සමණ ලෙසද, සිංහලයට වෙශමුණ ලෙසද මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා අදහස් කර තිබේ. ක්‍රි.පූ. 580 දී පමණ ලිපය ලද මෙම ලිපියට, මෙහිම අකුරු උපයෝගී කර ගනිමින් ක්‍රි.ව. යෙන් පසුව තවත් ලිපියක්, ගම් ප්‍රධාන උදයගේ පුත්‍රයෙක් වූ මළනක නැමැත්තෙකු ලියා ඇත. “ගමික, උදහ, පුතහ, මලනක, ලෙණෙ, චතු දිශ ශගශ” (1107)

ඉහත සඳහන් සෙල් ලිපිය මිහින්තලයේ ඇති ගල් ලෙනක කොටා ඇත. එම ලිපිය ලියා ලෙන කරවා ඇත්තේ වෙශමණයේ පුත්‍ර බරණි සහ දේව, යන අයෙකි. මෙහිදී බරණට ලෙන කරවීමේ දී දේව සහය වී ඇත. මෙම දේව නැමැත්තා අවරුද්ධගේ පුත්‍රයෙකු ලෙස සිතුල්පව්වේ ඇති සෙල් ලිපියකින් හඳුනා ගැනීමට පුළුවන. “ගපති, අවිරද, පුත, පරුමක, දෙවහ, ලෙණෙ” (630 ලිපිය)

“පරුමක, දෙව, පුත, පරුමක, තිශහ, ලෙණෙ, ශගශ” (639 ලිපිය)

දේවගේ පුත්‍රයා තිස්ස යන අයෙකි. මෙම පියපුතු දෙදෙනා සිතුල්පව්ව අසල කොරවක්ගල ගල්ලෙනෙහි ලෙන් කරවා තිබේ. වෙශමුණි රජතුමා සහ අවරුද්ධ පිළිබඳව තොරතුරු ධම්ම පදට්ඨකතාවේද සඳහන් වේ. වෙශමුණ රජතුමා යක්‍ෂයින්ගේ අධිපතියා ලෙසද සඳහන් වේ. බුදුරදුන් ලක්දිවට වැඩම කර පළමු ධර්ම දේශනාව කළේ, යක්‍ෂයින්ට බව පාලි මහාවංශයේ සඳහන් ය. යක්‍ෂ ගෝත්‍රිකයන් විසින් ලියන ලද ත්‍රිපිටක ග්‍රන්ථ අනුව බුදුරදුන් රිටිගලට වැඩිය බව සඳහන් ය. එහිදී බුදුරදුන් යක්‍ෂ ගෝත්‍රික නායකයෙකු වූ ගිරිභද්‍ර ;සනෙවියාට විශකුම්භ සූත්‍රය දෙසූ

බව යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ වර්ග පූර්විකාවේ සඳහන් වෙයි. මෙතෙක් අප්‍රකටව ඇති එම පුස්කොළ ග්‍රන්ථයෙහි කවිලාශ අග්නි පාලි හෙවත් මුතුලතා හෙවත් රත්නාවලි දේවියගේ ආරාධනයෙන් බුදුරදුන් ධූමක කද්දිරයට වැඩම කරවා බිම්බා අරහත් මාතා සූත්‍රය දෙසූ බවද සඳහන් වෙයි. බිම්බා, බම්බා, කුම්බා යන යක්‍ෂ ගෝත්‍රික රජවරු තිදෙනෙක් බුදුන් දවස මෙරට සිටිය බව ඓතිහාසික මාතලේ ග්‍රන්ථයේ සඳහන් ය. බම්බා රජතුමාගේ දියණිය කුවේණියය. කුම්බා රජතුමාගේ දියණිය රත්නවල්ලි හෙවත් වල්ලිරාණිය. මෙම වල්ලි කුමරිය කුම්බා රජතුමා සිහිවීමට කුබ වෙහෙර කුම්බා වෙහෙර කුම්බා විහාරය කරවීය.

මෙය මහාවංසයේ 35, 58 හි සඳහන් වන්නේ වල්ලි විහාරය ලෙසට ය. (වල්ලි විහාරකං) අද වැලි වෙහෙර නමින් හැඳින්වෙන ස්ථානයේ කුබ රජතුමා කරවූ සෙල්ලිපි සහ කණ රජතුමා කරවූ සෙල්ලිපි ඇත. (I .C.No.111) (AIC 20, JRAS CB NO 73, 55)

මෙහි සඳහන් කළ වැලි වෙහෙරේදී බුදුරදුන් ගිරිභද්‍රා සේනාධිපතියාට සහ ඔහුගේ පිරිසට ධර්මය දේශනා කළ බවද වර්ග පූර්විකාවේ සඳහන් වේ. වංශකථාවලදී දැකීමට ලැබෙන යක්‍ෂයෝ මෙරට පාලකයින් වූ පරුමක වරුන් බව සෙල්ලිපි වලින් අනාවරණය වේ. මිහින්තලයේ ලෙන් කරවූයේ එක් පරුමක වරයෙකි. බරණ, ඔහුගේ පියා වෙශමුණිය. කුවේණියගේ පියා වූ බම්බා රජතුමාගේ නාමය සමඟ ලියූ සෙල් ලිපියක් හඳගල විහාරයේ ඇත. ලිපිය කරවා ඇත්තේ ඔහුගේ පුත්‍රයා වූ තිස්සය. “පරුමක, බම, පුත, පරුමක, තිශහ, ලෙණෙ, ශගශ” (IC.NO.130)ප්‍රධාන බම්බා බම්බාගේ පුත්‍ර ප්‍රධාන තිස්සගේ ලෙන සංඝයාට යන්න ලිපියේ අදහසයි. බම යනු බම්බා ලෙස පරණවිතාන මහතාගේ ග්‍රන්ථයේ 116 පිටුවේ සඳහන් ය. තෝරව මයිලෑවේ ඇති ලිපියකට අනුව බම්බා නගරයේ බාරකරුවකු ලෙස සිටියා වූ පරුමක වරයෙක් කරවූ සෙල් ලිපියක් ඇත. “බම, නගර, බොඣක, පරුමක, රෝහණ, ලෙණෙ” (IC.NO.1037)

බම්බා නගරයේ බෝජක ප්‍රමුඛ රෝහණගේ ලෙන බම්බා නගරය පිළිබඳව ලියැවී ඇති සෙල්ලිපි පිහිටි ස්ථානයේ ඇති වෙනත් ලිපියක් කරවා ඇත්තේ භාණ්ඩාගාරික වරයෙකි. (IC.NO.1035)  ඔහු නමින් සුමන වන අතර ශුමන භාණ්ඩාගාරික ධූරය දැරුවේ පණිත මහරජතුමාගේ ය. (I.C.621)මේ අනුව පරුමක වෙශමුණ පරුමක බම, වැනි රාජ්‍ය පාලකයින් සිටින විට මහරජු වූයේ පණික මහ රජු ය. (I.C.761)බලහරුකන්ද) වෙශමුණු රජතුමා පිළිබඳව අටුවාවල දැක්වේ.

නමුත් බම්බා, කුම්බා යන යුවරජවරුන් සහ පණිත මහ රජතුමා යන අප්‍රකට නාම නූතන අටුවාවල දැකීමට නැත. පැරණි පුස්කොළ ග්‍රන්ථයක් වූ ලීනත්‍ථප්පකාසිනි ටීකාවේදීම පමණක් පණිත මහරජතුමා පිළිබඳව දැක්වේ. (කෲ, පත් ඉරිව) නූතන ග්‍රන්ථයක් වන ඓතිහාසික මාතලේ ග්‍රන්ථයේ හිදි බම්බා රජතුමා දැක්ක හැක. (228 පිට) ලංකාව ආරක්‍ෂා කිරීමට සිටින්නා වූ සතර වරම් දෙවියන්ගෙන් එක් අයෙකු වෙශමුණි ලෙසද වෛශ්‍රවණ ලෙසද සඳහන් මේ සතර වරම් දෙවියන්ගේ වෛශ්‍රවණ දෙවියා වූයේ වෙශමුණු රජතුමා විය හැක. පණිත රජතුමාගේ පුත්‍රයා වූ ශ්‍රමණ දැන් සුමනසමන් දෙවියන් ලෙස අපි අදහන්නෙමු. මැයගේ සොහොයුරිය මහලොකු දේවියයි. (IC.NO.1103, 1104, 037)

වෙශමුණු රජතුමාට පුත්‍රයෝ 91 දෙනෙකු සිටිය බව වේද ග්‍රන්ථවල සඳහන් ය. (මෙය ත්‍රිපිටකයේ දී සහහණි) මෙම 91 ක් දෙනාගෙන් එක් අයෙකු වූ අශ්වින්ගේ දියණිය කරවූ ලෙන් ලිපියක් පෙරිය පුලියම් කුලම් වලදී දැක්ක හැක. “පරුමක, මිත, ඣය, පරුමක, ශත,නශත, ඣිත, පරුමකලු, ප්‍රශය, ලෙණෙ, අගත, නගත, චතු, ශගශ” (IC.NO.331)මෙම ලිපියේ සඳහන් ‘නශත’ යනු නශත නාසත්‍ය අශ්වින් ලෙස පරිවර්තනය වේ. අශ්වින් රෝද තුනක් සහිත ගුවන් යානයකින් ලෝකය පුරාම ඇවිද මුහුදු බත් වූ නැව් වල ජනයා බේරා ගත් බව වෛදික ග්‍රන්ථ වල සඳහන් වී ඇත.

ඉන්දීය ඉතිහාසය පිළිබඳ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයකු වූ ඒ.එල්. බෂාම් මහතා THE WONDER THATWASINDIA  ග්‍රන්ථයේ දී අශ්වින් යනු, හිරුගේ දියණිය වූ සූර්යාගේ සැමියා ලෙස දක්වා ඇත. මෙම සූර්යාගේ ගුවන් රථයේ රියදුරු විසින් කරවූ ලෙන් ලිපියක් මොළගොඩ කොට මුණේගල ගල්ලෙනක දැක්කහැක. “පරුමක, ශුරි, පුතහ, පරුමක, බිමණ, දුතකහ, ලෙණෙ ශගශ” (මෙම ලිපිය අඩි 13 1/2 ක් දිගය) 812 ශුරි යනු සූර්යා ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා තම ග්‍රන්ථයෙහි 124 පිටෙහි Suri, Sf (Skt Surrya, p.Suriy) Sun.  Sun මෙහි සූර්යයා යනු හිරු (ඉර) විය නොහැක්කේ හිරුට සෙල්ලිපි කරවිය නොහැකි නිසා ය. සූර්යයා යනු Sun (සන්) යැයි ඉංගී‍්‍රසියෙන් කියති. අශ්වින්ගේ දියණිය වූ පුෂ්පාට ලෙන කරවීමේ දී සහය වී ඇති තවත් කාන්තාවකි නම නොසඳහන් මිත්තාගේ බිරිය ‘පරුමක මිතඣය පරුමක ශත, නශත ඣිත, මිත මිත්ත මිත්‍රස් මිත්‍රයි මිත්‍රාස් යනු දිවුරුම් හා ගිවුසුම් පිළිබඳව වගබලා ගන්නා අයෙකු ලෙස බෂාම් මහතා පෙන්වා දී ඇත. (අසිරිමත් ඉන්දියාව, 308 පිට) හෙළ වදන් අනුව බිමණ යනු ගුවන් රථයයි.

බිමණ විමණ වූයේ වෛදික ග්‍රන්ථවලදීය. ඒ එම භාෂාව ලිවීමට ‘බු’ අක්‍ෂරය. නොමැති නිසා ය. බාල්දියට වාල්දිය යනු කියනු ලබන්නේ එම නිසාවිය හැක. “පරුමක, වෙශමණ, පුත, පරුමක, බරණි ච, පරුමක, අවිරද, පුත, පරුමක, දෙවහ, ලෙණෙ, අගත, අනාගත, චතුදිශ, ශගශ”

මෙතෙක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර නොමැති සෙල්ලිපියක් වන මෙම ලිපිය කෑගල්ල දිස්ත්‍රික්කයෙහි වතුර ග්‍රාමය අසල දේව තැන්නේ බරණගල ඇති මෙම ලිපිය අගට විශාල ගුවන් රථ ලාංඡනයක් සමග ලිපිය පිහිටුවා ඇත. මේ අනුව බරණ සහ දේව ගුවන් රථයක් භාවිත කර ඇති බව පෙනෙයි. ගෞතම බුදුරදුන්ගේ මංගලධර්ම දේශනාව ශ්‍රවණය කළ සාතාගිර සහ හේමවත යන යක්‍ෂයින් දෙදෙනාද ගුවන් රථ දෙකකින් ගමන් කර උඩුගුවනේ සිට දම්සක් පැවතුම් සූත්‍රය ගැන විග්‍රහ කරන විට ගෙමිදුලක සිටි ගබ්ගත් කාන්තාවක් සෝවාන් වී ඇති බව සඳහන් වේ. ඒ අනුව බුදුන් දවස ගුවන් රථ තිබුණු බව හෙළි වන අතර වෙශ මුණු රජුගේ පුත්‍රයෝ ද ගුවන් රථ වලින් ලංකාවට පැමිණ ලෙන් ලිපි කරවා මහා සංඝයාට දී ඇති බව පෙනෙයි. “ධම්ම පදට්ඨ කථාවේදී දීඝායු කුමාර වත්‍ථුවේ” සඳහන් වන වෙශමුණු රජතුමා සහ අවරුද්ධ යන දෙදෙනා ලංකාවේ සෙල් ලිපිවල සඳහන් වන වෙශමණ, අවිරද, වෙශමුණ, අවරුද්ධ ද යන්න සහ බුදුරදුන් වැඩ සිටියාවූ දීඝලම්බික නුවර දඹදිවද ලංකාවේ දීඝවාපිය ප්‍රදේශයට අයත් ගල් ඕඩය හෙවත් කලි ඕඩය පිහිටි අරනද යන්න විමසිය යුත්තේ එහි ඇති සෙල් ලිපියක ගෞතම බුදුරදුන්ගේ නාමය සඳහන් වන බැවිනි. “ ගපති පුත තිශ පුතන දො බතිකන ලෙණෙ ගොතම නම ශමෙණෙ කරපිතෙ” (IC.NO.486) ගෞතම බුදුරදුන් වෙනුවෙන් ගෘහපති තිස්සගේ පුත්‍රයෝ කරවූ ලෙන යන සෙල්ලිපිය, එසේම කඩයිම් වල දැක්වෙන දිගාමඩලු රට දිගා මඩුල්ල දිශාමඩුල්ල නුවර නම් වූයේ මෙහි සඳහන් දිඝායු කුමාරයාගේ නාමයෙන් ද යන්න විභාග කර බැලීම පුරාවිද්‍යාඥයින්ගේ සහ ඉතිහාසඥයින්ගේ වගකීම හා යුතුකම ද වන්නේ ය.

උඳුවප්

අමාවක

උඳුවප් අමාවක පෝය ජනවාරි 07 වන දා සඳුදා අපරභාග 03.56 ට ලබයි. 08 වන දා අඟහරුවාදා අපරභාග 05.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය ජනවාරි
15 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]