හේතුවලට හේතුව හඳුනාගනිමු

හේතුවලට හේතුව හඳුනාගනිමු

ග්‍රීසියේ ජීවත් වූ ප්ලේටෝ වරක් ජනතාව වෙත මේ සරල ප්‍රශ්නය යොමු කළා.

“ඔබගේ සපත්තුව කැඩුණු විට එය සාදා ගැනීමට ඔබ යන්නේ දක්ෂ සපතේරුවෙක් ළඟට නොවේද?

ඔබ රෝගාතුර වූ විට ඊට නිසි පිළියම් ගැනීමට ඔබ සොයා යන්නේ දක්ෂ වෛද්‍යවරයකු වෙත නොවේද? නමුත් කලාවන්ගෙන් ඉතාමත් උසස් ම කලාව මෙන් ම වැදගත් ම කලාව වන දේශපාලන කලාවේ දී ජනතාව මෙම තේරීම නොකරන්නේ මන්ද? සත්ත්වයින් අතරින් ඉතාමත් බුද්ධිමත් සත්ත්වයා වූ මිනිසා තමන් පාලනය කර ගැනීම සඳහා ඔවුන් අතරින් කිසිම හැකියාවක් නැති, දක්ෂකමක් නැති කපටින් රැළක් තම පාලකයින් වශයෙන් තෝරා ගන්නේ මන්ද?”

මීට වසර දෙදහසකට පෙර යුරෝපියානු සමාජයෙන් ප්ලේටෝ අසන ලද මෙම ප්‍රශ්නය මොනතරම් වැදගත් ද?

අපේ මිහිඳු හාමුදුරුවොත් ලංකාවට වැඩම කරල මේ ප්‍රශ්නය මෙයාකාරයෙන් ම ඇසුවේ නැති වුණාට, එදා සිට පාලකයින්ගේ දැනුම හොඳින් පරීක්ෂා කරල බැලුවා. අඹ පැනය එහෙම අහල පාලකයාගේ බුද්ධිය, තර්කන හැකියාව හොඳින් පරීක්ෂාවට ලක්කළා පමණක් නොවේ. ඔබ දන්නව ඇති, මිහිඳු හාමුදුරුවෝ දෙවනපෑතිස් රජතුමාට අවධාරණයෙන් කියා සිටියා. “රජතුමනි, ඔබ මේ රටේ භාරකරු මිස අයිතිකරු නොවේ” ය කියල. අතීතයේ සිටි බොහෝ පාලකයෝ එම අදහස් හොඳින් පිළිගත්හ. මිහිඳු හිමියන් දෙන ලද මෙම උපදේශය මුල්කරගෙන මෑත කාලයේත් වැදගත් නඩු තීන්දු පවා දුන්නා.

බොහෝ පාලකයෝ හිතන්නේ තමන් රටේ භාරකරු කියල නොවේ. අයිතිකරු කියල. බොහෝ පාලකයෝ උපදේශයට ගත්තේ “නිකලෝයි මැකියාවෙලී” ගේ දර්ශනය. බලය ලබා ගැනීම, බලය පවත්වා ගැනීම සහ බලය තහවුරු කර ගැනීම ගැන පමණයි හිතන්නේ. බලය වෙනුවෙන් ඕනෑම පහත් වැඩක් කරන්න පවා ඒ පාලකයින් සූදානම් වුණා.

“ඇක්ටන් ස්වාමිවරයා වරක් ප්‍රකාශ කළා අධික බලය විසින් මිනිසා අත්‍යන්තයෙන් ම දූෂණය වන බව“

බලය පාවිච්චි කළ යුත්තේ ජනතාව වෙනුවෙන් මිස ජනතාවගේ දේපළ මංකොල්ලකෑමට හෝ ජනතාව පීඩාවට ලක් කිරීමට නොවේ. රාජ්‍ය පාලනයට අවශ්‍ය යහපත් ආදර්ශ බුදු දහම තුළින් කොතරම් ලබා දී තිබුණත් ඇතැම් පාලකයින් යහපාලනය වෙනුවෙන් ඒවා ප්‍රයෝජනයට නොගැනීම කනගාටුදායක යි.

අතීත රජ දරුවෝ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයන් පිළිබඳ බුදුසමයේ එන ඉගැන්වීම් හුදෙක් මනෝරාජික සංකල්ප ලෙස බැහැර කළේ නැහැ. එයට අපේ ඉතිහාසය සාක්ෂි දරනවා. “ගමයි - පන්සලයි, වැවයි - දාගැබයි” යන සංකල්පය අප සමාජ සංස්කෘතියේ සංකේතය බවට පත් කළා. එයට මූලික පදනම් ලබා දුන්නේ බෞද්ධ දර්ශනය. ස්වර්ණමය අතීතයක් ගැන සාකච්ඡා කිරීමට අවශ්‍ය සරු පසක් රජ දවස නිර්මාණය කළත්, එම පසේ පැළ සිටුවීමට ඉන්පසුව බොහෝ පාලකයින් අසමත් වුණා. සොබාදහමත් සමඟ බැඳි කෘෂි ආර්ථිකය විනාශ කළා.

ප්ලේටෝගේ තර්කය වූයේ “පාලකයා දාර්ශනිකයකු විය යුතු බවත්, දාර්ශනිකයා පාලකයකු විය යුතු බවත් ය”. පාලකයා දාර්ශනිකයෙක් නම් පාලන කලාව පිළිබඳ ව උපදෙස් අවශ්‍ය නොවේ.

දේශපාලනය යනු ලෞකික සාධකයක්. ආගම කියන්නේ ලෝකෝත්තර සාධකයක්. මේ දෙක එකට පටලවා ගැනීම පාලකයින් නොකළ යුත්තකි. මෑත ඉතිහාසයේ බොහෝ පාලකයින් ආගමික සංකේත, දේශපාලන සංකේත ලෙස භාවිත කළා. බහු සංස්කෘතික සමාජයකට එය ගැලපෙන්නේ ම නැහැ. පාලන ක්‍රමයකට අවශ්‍ය උපදෙස් ආගම තුළින් ගැනීමයි, දේශපාලනය ආගමීකරණය කිරීමයි කියන්නෙ දෙකක්. පසුගිය කාලයේ සිදු වූයේ බෞද්ධ පරමාදර්ශයන් පාලනයට එකතු කර ගැනීම නොවේ. ආගම දේශපාලනීකරණය කිරීමක්. දේශපාලනය ආගමීකරණය කිරීමක්.

චක්කවත්තී සීහනාද, කුටදන්ත, මහාසුදස්සන වැනි සූත්‍රවල පාලකයින්ට අවශ්‍ය උපදෙස් සපයනවා. අග්ගඤ්ඤ සූත්‍රයේ රාජ්‍යයේ සම්භවය පිළිබඳ ව සවිස්තරාත්මක සටහනක් සපයනවා.

රටක පාලකයා හැඳින්වීම සඳහා සූත්‍රවල පද දෙකක් යොදාගෙන තිබෙනවා. එකක් “රාජා “ යන්න. අනෙක් “ඛත්තිය” යන්නයි. “රාජා මුඛං මනුස්සානං” මිනිසුන් අතර ප්‍රමුඛයා “ඛෙත්තානං ආධිපතීති සො ඛත්තියෝ” වගාවට අධිපති ක්ෂත්‍රීය යනුවෙන්.

මෙයින් පැහැදිලි වෙනව රටේ ප්‍රමුඛයා වන පාලකයා වගාවට අධිපති විය යුතු බව, පසුගිය කාලයේ බොහෝ පාලකයෝ වගාව තමයි වැඩියෙන් ම අමතක කරල තියෙන්නේ. ජනතාව සුඛිත මුදිත තත්ත්වයට ගෙන ඒම පාලකයන්ගේ වගකීමක්. “ධම්මිකො ධම්ම රාජා” රජතුමා ධාර්මික ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුªයි. පස් පවින් වැළකී සිටිය යුතුයි. ආදර්ශවත් වෙන්න ඕන. ජනතාවට සැබෑ ලෙස සේවය කරන්නෙක් වෙන්න ඕන.

රාජ්‍ය යහ දේශපාලන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ ව හොඳ අවබෝධයක් පාලකයාට අවශ්‍යම වෙනව. ඒවාගේ ම ආධ්‍යාත්මික සංවරය ජනතාව වෙත බෙදා දීමට හොඳ යාන්ත්‍රණයක් පාලකයා සතුව තිබීමත් අවශ්‍යම වෙනවා. එසේ නැතුව යහපාලනයක් පිළිබඳ ව සිතීමත් අපහසුයි.

අපේ කියමනක් තියනව. “බලියෙ හැටියටයි කට” කියල. ඒ වගේම පාලකයගේ ස්වරූපය ගොඩනැඟෙන්නේ සමාජයේ පවතින ස්වභාවයට ම අනුවයි. නමුත් පාලකයා වගකිවයුතු බවයි පිළිගනු ලබන්නේ. මෙතැනදි අප කරන බලවත් වරදක් තමයි ජනතාව විදිහට අපි මීට වගකිව යුතු බව අමතක කිරීම. මේ නිසා ජනතාව විදිහට අප කවුරුත් අත්විඳින්නේ අපේම අඩුලුහුඬුකම්වල පල විපාක. මෙය වැළැක්විය හැකි එකම මඟ අවම වශයෙන් හෝ ඔබ බුද්ධිමත් ලෙස කටයුතු කිරීමයි. ව්‍යාජ පෙළඹවීම්වලට ඔබ රැවටෙන්නේ බුද්ධිමත් තීරණ නොගන්නා නිසා බව ඔබ වටහාගත් විට යහපත් දේශපාලන සංස්කෘතියක් මඟින් ගැටලුවලට පිළිතුරු සොයා ගැනීමට මාර්ගය පෑදෙනවා.

බක් අමාවක

 අප්‍රේල් 27 ඉරිදා පූ.භා 04.51 අමාවක ලබා 28 සඳුදා පූ.භා. 01.02න් ගෙවේ.
 27 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]