සිරුරේ මායාව ගැනමොහොතක් සිතන්න

සිරුරේ මායාව ගැන මොහොතක් සිතන්න

ශරීරය දෙතිස් කුණුප කොටස්වලින් පිරිපුන් ය. එවැනි කුණුප කොටස් තිස් දෙකක් පමණ මේ ශරීරය තුළ පවතී. පිළිකුල් භාවනාවේ දී වුව ද ප්‍රගුණ කෙරෙන්නේ එම කොට්ඨාසයන් ය. ඒවා නම්,

උදේට පිපෙන මල සවසට පරවෙනවා සේ මෙම ශරීර කූඩුව ද අනිත්‍ය සිද්ධාන්තයත් සමඟ ම පවතී. උදේට ශරීර කූඩුව පිරිසුදු කොට පාරට, නගරෙට, වැඩටපළට යන පුද්ගලයා සවසට නැවත අපිරිසුදු වී, දහඩිය දුගඳින් නිවසට එනු ඇත. අප අඥානකමින් ශරීරය දෙස බැලීමේ දී රාගාදී සිතුවිලි මතු වුව ද එහි යථා ස්වභාවය විමසා බැලීමේ දී පිළිකුල් භාවනා කිරීමට තරම් උත්සුක වනු නො අනුමාන ය.

මේ ශරීරය පිළිබඳ දේශනා කොට ඇත්තේ හරියට අසුචි පිරුණු කළයක් විලසිනි.

ප්‍රඥාවෙන් බැලීමෙන් පමණක් මෙම ශරීරය නිතර කැඩෙන බිඳෙන හා අපවිත්‍ර වන බව අවබෝධ කර ගත හැකි ය. ලෝවැඩ සඟරාවෙහි 59 වැනි පද්‍ය දෙස අවධානය යොමු කළොත් මේ පිළිබඳ තවත් අවබෝධයක් ලැබෙනු ඇත. එහි කයෙහි සැබෑ ස්වරූපය දක්වා ඇත. එනම්,

කයට වේ ද රස මුසු බත් කන්නේ
ගඳට වේ ද ඇඟ සුවඳ කවන්නේ
ලෙඩට බේත මේ මෙලොව සතුන්නේ
කුමට මීට සැපයෙකැයි සිතන්නේ

කබලිංකාහාර තුළින් කය පෝෂණය වේ. එතුළින් මාංශ පේෂි වර්ධනය වී ඇට සැකිල්ල වැසී පිරිපුන් බවක් පෙනෙනු ඇත. එම ගන්නා ආහාර අසූචි වශයෙන් ශරීරයෙන් පිටවනු ඇත. නැවත ශරීරයට ආහාර අවශ්‍ය වනු ඇත. මෙලෙස උදේ සවස මෙම ශරීරය නඩත්තු කිරීම උදෙසා ආහාර දිය යුතු ය. ආහාර නොමැති වුවහොත් ශරීරය වැහැරී ගොස් ක්ලාන්ත ස්වභාවයට පත් වනු ඇත. අප ගන්නා ආහාර තුළින් ම සෙම්, සොටු, කබ, කඳුළු, දාඩිය, මල මූත්‍ර සැදී, ඒවා ද අපවිත්‍ර දේ වශයෙන් ශරීරයෙන් පහව යනු ඇත.

නිරන්තරයෙන් මේ ශරීරය නැහැවීම්, පිරිසුදු කිරීම් ආදිය සිදු කළ යුතු ව ඇත. නිතර දුර්ගන්ධ හමන බැවින් සුවඳ විලවුන් ආදිය ද භාවිත කිරීමට සිදු වේ. එය ද වර්තමාන ලෝකයේ ශරීර පිළිබඳ ඇල්ම වැඩි කිරීමට කරනා උපක්‍රමයක් ද වී ඇත. බේත් හේත් නිතර නිතර මෙම ශරීරය කල් තබා ගැනීම උදෙසා දීමට ද සිදු වේ. එසේ නොමැති වුවහොත් නොයෙක් ලෙඩ රෝගාදිය සෑදී මරණය පවා උදා වීමට පුළුවන. මදුරුවෙක්, සර්පයෙක් ආදී සතෙක් කෑමෙන් පවා ජීවිතක්ෂයට පත් වීමට පුළුවන. ඒ තරමට ම ස්ථිරත්වයක් නැති, ශක්තියක් නැති, නඩත්තු කිරීමට අපහසු දෙයක් ලෙස මෙම ශරීරය හැඳින්වීමට පුළුවන. එවන් හිස්, නිරර්ථක ශරීරයක් ඇති සත්වයා කරන අසාර කටයුතු ප්‍රඥාගෝචර නොවන්නේ ය.

අමාරුවෙන් නඩත්තු කරන ශරීරය, නිතර රෝගාතුර වන ශරීරය, නිරත අපවිත්‍ර දෑ පිටවන ශරීරය සැපයක් ලෙස සිතීම මුළාවකි. එලෙස සිතන්නේ නම්, එය තාවකාලික වින්දනයක් උදෙසා පමණි. මේ ශරීරය සැරසීමට අද බොහෝ දේ භාවිත කරති. ඇඳුම්, පැලඳුම්, රන් - රිදී, විවිධ ආලේපන තුළින් මේ ශරීරය නිතර සැරසීමට හුරු වී ඇති සත්වයා තරගකාරී ව එය සිදු කරති. ඇත්තෙන් ම කිසිවක් අත නොමැති ව උපදින සත්වයා බොහෝ දේ රැස්කොට මමත්වය, අස්මිමානය, වර්ධනය කොට ගෙන උපාදානයෙන් මිය ගොස් තවත් ආත්මයක් හා සම්බන්ධ වෙති. උපාදානය සසර ගමනට හේතුවයි.

ජීවත් වන කෙටි කාලය තුළ ධර්මාවබෝධයෙන් ජීවත් වීම ඉතා වැදගත් වනු ඇත. ශරීරයෙහි ඇති අනිසි බව ප්‍රඥාවෙන් දැන ශරීරය දෙස බලා භාවනාකූල ව ජීවිතය පිළිබඳ සිතීම වැදගත් වේ. කාම ලෝකයට අයත් මිනිස් ජීවිතය කාම වස්තූන් තුළින් ම විනාශ වේ. වතුර ටික රත්වන තුරු කකුළුවා පිනුම් ගසමින් වතුරෙහි පීනනවා සේ සත්වයා ද පංචේන්ද්‍රියන් පිනවමින් කම් සැප විඳිති. යථාර්ථයට පයින් ගසමින් පුහු දේ කර පින්නාගෙන මං මුළාවී අතෘප්තිකර ජීවිතයක් ගත කරති. බුදුරදුන් දෙසූ දහම් ඇසීමට පමණක් යොදාගෙන එය ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ නොකොට ගෙන අනන්ත අප්‍රමාණ දුක්වල පැටලී සිටින සත්වයා තව තවත් දුක කරපින්නා ගෙන සසර ඇවිදිති.

මෙම ශරීරය රථයකට උපමා කර ඇත්තේ ස්කන්ධ පංචකය විවරණය කිරීම තුළින් ය. එය සැබෑ ලෙස ම අපට අවබෝධ කර ගැනීමට පුළුවන් වන අයුරින් බුදු හිමි උපමා ඇසුරින් මෙලෙස දේශනා කොට ඇත.

පෙන පිණ්ඩූපමං රූපං - වේදනා බුබ්බුලුපමා
මරීචි කූපමා සඤ්ඤා - සංඛාරා කදලූපමා
මායුපමාන විඤ්ඤාණං - දේසිතා ආදිච්ච බන්දුනා
යථාපි අංග සම්හාරා - හෝති සද්දෝ රථෝ ඉති
ඒවං බන්ධේසු සත්තේසු - හෝති සත්තෝති වුච්චති

පංචස්කන්ධය යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන්නයි. එම ස්කන්ධ පහ තුළ ද හරයක් නොමැති බව එහි වැඩිදුරටත් විස්තර වේ. රූපය පෙන පිඩක් මෙන් ද, වේදනාව දිය බුබුළක් මෙන් ද, සඤ්ඤාච මිරිඟුවක් මෙන් ද, සංඛාර කෙසෙල් කඳක් මෙන් ද, විඤ්ඤාණය මායාවක් මෙන් ද දේශනා කොට ඇත. ඒ අනුව සම්මුති වශයෙන් මෙම ස්කන්ධ පස එකතු වූ කල සත්වයෙක් වශයෙන් අප කතා කළ ද පරමාර්ථ වශයෙන් ගත් කල්හි සත්වයෙක් නොමැත. ඒ අනුව මම, මගේ අපි, අපේ යනුවෙන් නාමික වශයෙන් සම්මුති ලෝකය ගොඩනඟා ගත්ත ද ඒ තුළ ගත යුතු සත්වයෙක් නොමැති බව වැඩිදුරටත් ප්‍රඥාවෙන් බැලීමේ දී අවබෝධ වේ.

රථ උපමාව හරහා ඒ බව අවබෝධ කර ගත හැකි ය. අප වාහනයක් කොටස් වශයෙන් කෑල්ලෙන් කෑල්ලට ගලවා වෙන් වෙන් වශයෙන් තැබුවහොත් එහි වාහනයක් ඇතැයි කිසිවෙක් නොකියනු ඇත. එහි ඇත්තේ යකඩ ගොඩක් පමණක් බව කියනු නිසැක ය. එලෙස ම රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පස එකතු වූ කල්හි සත්වයෙක් කියා කියන අතර ම ඒවා වෙන් වෙන් වශයෙන් බෙදෙන කල්හි සත්වයෙක් නොමැති බව ඉතා පැහැදිලි ය.

ආත්ම සංකල්පයක් හා එය සෙවීමක් පිළිබඳ සංඛ්‍ය, වෛශේෂික, වේදාන්ත ආදී දර්ශනවල සඳහන් වේ. ම.නි. මූලපරියාය සූත්‍රය තුළින් බුදු හිමි එය ප්‍රතික්ෂේප කොට ඇති අතර පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ඒවා ආත්මය නොවන බවත් භවයෙන් භවයට වෙනස් නොවී මාරු නොවන එකක්වත් එහි නොමැති බවත් ඉන් විද්‍යමාන කොට ඇත.

එදා සමාජයේ පැවති නිත්‍ය, සුඛ, ආත්ම තුනට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, යන්න දේශනා කළහ. මේ කරුණු හරහා යම් තරමකින් හෝ, ශරීරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන. ඒ අනුව ශරීරය දෙඅංශයකින් වාහනයකට සම කළ හැකි ය. එනිසා නිරන්තරයෙන් අපවිත්‍ර වන, රථයක් බදු මෙම ශරීරය එදිනෙදා පිරිසුදු කරනවා සේ ම මනස ද පිරිසුදු කර ගත යුතු ය. ශරීරය කොතරම් සැරසුව ද එය පොළොවට පස් වී යෑම ස්වභාවික ය. නමුදු මනසේ ශක්තිය භවයෙන් භවයට ගමන් කරනු ඇත.

හොඳ සිතුවිලි ධාරාවක් ඔස්සේ ගොඩනඟා ගන්නා ගුණධර්ම අපගේ මතු භවය යහපත් කර ගැනීමට හේතුවේ. ලෝභ, ද්වේශ, මෝහ ආදී අකුසල සිතුවිලි වෙනුවට අලෝභ, අදෝෂ, අමෝහ, එලෙස ම කරුණාව, දයාව, මෛත්‍රීය ඉවසීම ආදී ගුණධර්ම වැඩදියුණු කොට ගෙන මෙලොව පරලොව යහපත් කර ගැනීමටත් උතුම් නිවන් සුව ලැබීමටත් අධිෂ්ඨාන කර ගැනීම වැදගත් වේ.

පොසොන් අමාවක

ජූලි 05 සිකුරාදා පූ.භා. 05.00 අමාවක ලබා 06 සෙනසුරාදා පූ.භා. 04.29 ගෙවේ.
05 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]