ඇසළ සඳ පිරෙන දින අසිරිමත් සිදුවීම්

ඇසළ සඳ පිරෙන දින අසිරිමත් සිදුවීම්

ඇසළ සඳ පිරෙන දිනයට අසිරිමත් ඉතිහාසයක් තිබේ. එය පූජනීය ඉතිහාසයකි. වන්දනීය ඉතිහාසයකි. සිහිකළත් පින් වැඩෙන ඉතිහාසයකි. සැබැවින්ම එය වර්ණනාවකි. මේ දිගහැරෙන්නේ ඒ ඇසළ පුර පසළොස්වක පොහොය වර්ණනාව යි.

“මහා වීරයාණන් වහන්ස, දැන් ඔබට කාලය පැමිණ තිබේ. මිනිස් ලොව මව්කුසේ පිළිසිඳ ගන්නා සේක්වා! දෙවියන් සහිත වූ මේ ලෝ සතුන් දුක් සහිත සසර ගමනින් එතෙර කරවාලනු වස් අමෘතපදය වූ නිර්වාණය අවබෝධ කරන සේක්වා!

මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනි ව සම්මා සම්බුදුබව ලබන පිණිස සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමිතාවෝ සපුරා සන්තුසිත දෙව්රජ ලෙසින් තුසිත දෙව් භවනේ වැඩසිටි මහබෝසතුන් හට දෙව්බඹුන් ඇරයුම් කළේ එලෙසිනි.

මහා නුවණැති බෝසතාණෝ ඒ ඇරයුම් අසා පඤ්ච විලෝකන (පස් මහා බැලුමන්) කරනා කල්හී කාලය, දීපය, දේශය, කුලය සහ පින්වන්ත මව් තොමෝ මැනවින් දුටුවෝ ය. ඒ පින් ඇති මවුන් වූ මහාමායා බිසොවුන්ගේ කුස පිළිසිඳ ගැනීමට තීරණය කළෝ ය.

ඇසළ සඳ සොළොස් කලාවෙන් ම පිරී අහසේ මෝදු වූ රාත්‍රිය උදා වී තිබුණි. බෝසත් පුතකු දරා ගැනුමට පූරිත පාරමිතා ඇති කපිලවස්තුවේ සුදොවුන් මහරජුන්ගේ අග්‍ර මහේෂිකාව වූ මහාමායා බිසවුන් ඒ මොහොතේ සුව නින්දේ පසු වූවා ය.

ඒ සුව නින්දේ ඇය සුව සිහිනයක් දුටුවා ය. සතරවරම් රජදරුවෝ සර්වාභරණයෙන් සැරසී විත් ඇය සැතපී සිටින යහන ඔසවා ගෙන හිමාලයට පැමිණියෝ ය. අනෝතප්ත නම් රමනීය විල් තෙරේ යහන තැබුවෝ ය. සුරඟනෝ සතර දෙනෙක් විත් බිසවුන් වහන්සේ විල් දියට කැඳවා ගෙන ගියෝ ය. ඈ බිසවුන් සිහිල් දියෙන් නහවා, සුවඳ ආලේප ගල්වා, දිව්‍ය සළුවෙන් දිව්‍ය අභරණින් සැරසුවෝ ය. යළි යහනේ ම බිසවුන් සැතපුවෝ ය. එවිට, රිදී පැහැයෙන් බැබළෙන හුරුබුහුටි ඇත් පැටවෙක් සුදු නෙළුමක් සොඬින් ගෙන ඇය කරා පැමිණියේ ය. ඉතා ගෞරවයෙන් ඇය වටා පැදකුණු කළේ ය. දකුණු ඇලයෙන් කුස තුළට පිවිසියේ ය.

ඇය තනිව ම මේ සිහිනය දකිද්දී, ලෝකය පුර අනේකප්‍රකාර අද්භූත අසිරිමත් දෑ සිදු විය. දහදහසක් ලෝ ධාතුව ම කම්පිත විය. දේවානුභාවය ඉක්මවූ උදාර ආලෝකයක් ලෝකයේ පැතිර ගියේ ය. ඒ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ අපගේ මහබෝසතාණෝ මව්කුස පිළිසිඳ ගත් සේක.

අප මහ බෝසතුන් දසමසක් ඇවෑමෙන් මව්කුසින් බිහි වී, නොයෙක් අසිරිමත් සිදුවීම් සමඟින් අනුපිළිවෙළින් දහසය හැවිරිදි වියට එළඹියේ ය. රූ සිරින්, පින්සිරින් බබළන යශෝධරාවන් හා සිද්ධාර්ථ බෝසත් කුමරුන්ගේ සරණ මංගල්‍යය සිදු විය. කාලය ගෙවී ගියේ ය. සරසන ලද අස් රියෙන් උයන් කෙළියට යමින් සිටිය දී සිද්ධාර්ථ කුමරුන්හට මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක් සහ සන්සුන් ගමනින් වඩින පැවිදි රුවක් දැක ගන්නට ලැබුණි. ඒ දැක්මෙන් සිද්ධාර්ථ කුමරුන්හට ගෘහ බන්ධනය කෙරෙහි කළකිරීම ඇති විය.

ඇසළ මාසයේ සඳ පිරෙන දිනය පැමිණියේ ය. එදා යශෝධරාවගේ කුසින් සිඟිති රාහුල කුමරුන් උපත ලැබීය. රහල් කුමරුන් උපන් ඒ ඇසළ පොහෝ දිනයේ රාත්‍රියේ අප සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ රාජ මාළිගා අතහැර මහාභිනිෂ්ක්‍රමණය කළ සේක.

මහබිනික්මන් කළ බෝසතුන් වහන්සේ අනෝමා නදී තෙරේ දී, ස්වකීය කෙස් කළඹ අසිපතින් කපා අහස් ගැබට දැමීය. බෝසතුන්ගේ කෙස් කළඹ බිම පතිත නො වී නීල පලසක් මෙන් අහසේ ම පිහිටියේ ය. දෙදෙව් ලෝකාධිපති සක්දෙව් රජුන් ඒ උතුම් කෙස් කළඹ රන් කරඬුවකින් ගෙන. එය තව්තිසා දෙව්ලොවට ගෙන ගෙස් “සිළුමිණි” මහා සෑ රජුන් කරවීය.

අනෝමා නදී තෙර සිට බෝසතාණන් වහන්සේ ගිහි වස්ත්‍ර ඉවත් කරන කල්හි, බෝසතුන්ගේ ගත සැරසූ උතුම් වස්ත්‍ර ගෙන ගොස් ඝටීකාර මහා බඹු විසින් බඹලොවේ “සළුමිණි” මහා සෑ රදුන් කරවීය.

අබිනික්මන් කළ මහබෝසතාණන් වහන්සේ සය වසකට පසු එළැඹි වෙසක් පුන් පොහෝ දිනයේ නේරංජනාවේ ඇසතු රුක් සෙවණේ වැඩ හිඳ තුන්ලොව ම ජයගෙන ගෞතම නමින් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වූ සේක.

ඇසතු රුක් සෙවණට නුදුරින් පිහිටි කිරිපලු නුගරුක් සෙවණේ සමවත් සුවයෙන් වැඩ සිටි බුදුරදුන් සමීපයට තපස්සු - භල්ලික වෙළඳ දෙබෑයෝ පැමිණියෝ ය. සම්බුදුරජුන් හට ප්‍රණීත අත්සුණු හා මීපිඬු පූජා කළ ඔවුන් “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ ද, ශ්‍රී සද්ධර්මය ද සරණ යන්නෙමු.

ඔබ වහන්සේ අද පටන් අප උපාසකයන් වශයෙන් පිළිගන්නා සේක්වා” යි පැවසූහ. මෙසේ සරණ යෑමක් මේ බුදු සසුනේ වෙනත් නැත. තපස්සු භල්ලුක යනු මේ ගෞතම බුදු සසුනේ ද්වේවාචික උපාසකයෝ ය. ඔවුන්ට බුදුරදුන් හමුවන අවස්ථාව වන විට සඟරුවන ලොව පහළ වී නො තිබිණි.

සම්බුද්ධත්වය පසක් කොට නිවන් සුවයෙන් වැඩ සිටි බුදුරදුන්හට තමන් වහන්සේ අවබෝධ කළ සැනසීමේ මඟ දේශනා කිරීමට මන්දෝත්සාහී බවක් හටගත්තේ ය.

‘මා විසින් අවබෝධ කර ගත් මේ දහම ගැඹුරු ය. දැකීමට දුෂ්කර ය. අවබෝධයට දුෂ්කර ය. නමුත් ශාන්ත ය. ප්‍රණීත ය. තර්කයෙන් දැකිය හැක්කක් නෛාවෙයි. අතිශයින් සියුම් ය. නුවණැත්තන් විසින් ම දැක්ක යුතු දෙයකි. ආශාව තුළ ආශාවට ඇලී, ආශාවෙන් ම සතුටු වෙමින් සිටින මේ සත්ව ප්‍රජාවට මේ දහම දැන අමා නිවන සාක්ෂත් කිරීම ඉතා දුෂ්කර ය. එසේ තිබිය දී මා දහම් දෙසන්නට ගොස් අන් උදවිය දහම අවබෝධ නොකරත් නම්, එය මා හට මහන්සියක් වෙහෙසක් පමණක් ම වනු ඇත.

අභිනව සම්මා සම්බුදුරදුන්ගේ මේ සිතිවිල්ල සහම්පතී නම් බ්‍රහ්මරාජයා දුටුවේ ය. සැණෙකින් බුදුරදුන් ඉදිරියේ පහළ විය. උතුරු සළුව එක් පැත්තකට කොට පොරවාගෙන, දණ මඬල බිම තබා වන්දනා කොට බුදුරජාණන් වහන්සේට මෙසේ ආයාචනා කළේ ය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා! කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. දහම් අසන්න නො ලැබුණොත් ඔවුන් පිරිහෙනවා. දහම් අසන්න ලැබුණොත් අවබෝධ කරන අය පහළ වෙනවා. මගධ දේශයේ කලින් පහළ වෙලා තිබුණේ කෙලෙස් මල සහිත උදවිය විසින් හිතපු අපිරිසුදු මතවාද ගොඩක්. එනිසා අමා නිවන් දොර විවෘත කළ මැනව. නිර්මල බුද්ධි ඇති බුදු සමිඳුන්ගේ ධර්මය ලෝ වැස්සෝ ද අසත්වා.

ගල් පර්තයක් මුදුනට නැඟගත් පුද්ගලයෙක් හාත්පස බිම සිටින ජනතාව දකිනා සෙයින්, හැම දේ දකින මුනිඳුනි, ප්‍රඥාවන්ත මුනිඳුනි, සද්ධර්මයෙන් කරන ලද දහම් ප්‍රසාදයට නැඟී, දුකින් පෙළෙන - සෝ තැවුල් විඳින ජනතාව දෙස බලන සේක්වා.

මාර යුද්ධය ජය ගත් වීරයන් වහන්ස, නැගී සිටිනු මැනව. උතුම් ගැල්කරුවාණෙනි, ණය නැති මුනිදාණෙනි. ලොව සැරිසරා වඩිනු මැනව,

භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා. අවබෝධ කරන අය පහළ වෙනවා ම යි.”

බඹුගෙන් ලද ඇරයුමින් පසු සම්බුදු මුව මඬලින් ගලා ආවේ අසිරිමත් සද්ධර්මය යි.

බුදුරදුන්ගෙන් පළමු මේ දම්දෙසුම ඇසීම පිණිස පෙරුමන් පිරූ පින්වන්තයෝ පස්වග මහණුන් ඒ වන විට සිටියේ් බරණැස ඉසිපතන මිගදායේ ය.

අපගේ බුදුසමිඳාණෝ ඔවුන් සොයා අමෘතය බෙදනු වස් බරණැස ඉසිපතන මිගදායට වැඩම කළ සේක. පෙර ඇසළ සඳ සොළොස් කලාවෙන් ම පිරී ගිය දිනය යි. ඇසළ සඳ කිරණින් නැහැවුණු ඒ සොඳුරු රැයෙහි බරණැස මිගදායෙහි දී අප තිලෝගුරු ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ උතුම් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මුල් කොට දහම් දෙසීම ඇරඹූ සේක.

උතුම් නිවන් මඟ වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකයට විවර විය. චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන් පරිවර්තන තුනකින් යුතුව ආකාර දොළොසකින් යුතු ව අවබෝධ කළ යුතු අයුරු පැහැදිලි විය. ධර්මචක්‍රය ඉතා සොඳුරු ලෙස ප්‍රවර්තනය විය.

ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට ඒ මොහොතේ දහම් ඇස පහළ විය. මෙසේ පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ බුද්ධ රත්නය. ධර්ම රත්නය, සංඝරත්නය යන උතුම් තෙරුවන ම ලොව පහළ වූහ.

වසර හතක් ගෙවී ගියේ ය. යළිත් ඇසළ සඳ පිරෙන දිනය උදා විය. අන්‍ය තීර්ථකයන්ගේ මදමාන බිඳහෙළනු පිණිස සැවැත්නුවර ගණ්ඩබ්බ රුක් සෙවණේ දී බුදුසමිඳාණෝ අතිශයින් ම අසිරිමත් වූත්, අද්භූත වූත්, ශාස්තෘ සාධාරණ වූත්, ශ්‍රාවක අසාධාරණ වූත් යමක මහා ප්‍රාතිහාර්ය ය සිදු කොට වදාළ සේක. පෙළහරින් අනතුරුව තව්තිසා දෙව්ලොව වැඩම කළ බුදුරදුන් සම්බුදු දිවියේ සත්වැනි වස ලෙස තව්තිසාවේ වස් එළඹ මාතා දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්හට දහම් දෙසූ සේක.

සතළිස් පස් වසරක් ලෝ සතට සෙත සලසා මහාකාරුණික බුදුරදුන් කුසිනාරවේ දී පිරිනිවන් වැඩි සේක. ඒ උතුම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු, ඇසළ සඳ පිරී ගිය දිනයේ, ගෞතම බුදු සසුනේ අග්‍ර ධූතාංගධාරි, ශාසන භාරධාරී මහා කස්සප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප්‍රතම ධර්ම සංගායනාව සිදු කිරීම පිණිස අජාසත් මහරජු ඇතුළු පිරිස කටයුතු සංවිධානය ආරම්භ කළෝය.

මෙබඳු මූලික සිදුවීම් ගණනාවකින් සුපූජනීය වූ ඇසළ පුර පසළොස්වක දිනය පිළිබඳ තව තවත් සිත් පහන්වීම පිණිස මින්පසු සංක්ෂේපයෙන් කියැවෙන ලක්දිව සිදුවූ සිදුවීම් පෙළ උපකාර වනු ඇත.

බුද්ධ වර්ෂ 236 වැන්නේ ලංකා ද්වීපයට දහම් අමාව රැගෙන වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන සංඝයා විසින් ලක්බිමෙන් සම්මත කළ සීමාව තුළ ‘ප්‍රථම ඛණ්ඩ සීමාව ‘ සම්මත කිරීම ද ඇසළ පුර පොහොයක සිදු විය.

ලක්දිව තුම්බූරු සීමා මාලකයේ දී අරිට්ඨ කුමරු ප්‍රධාන සිංහල කුමාරවරුන්ගේ පැවිදි උපසම්පදාව සිදු වූයේ ද ඇසළ පොහොය දිනයේ ය.

දෙවනපෑතිස් රජු විසින් මිහින්තලාවේ කණ්ඨක චේතිය වටා ඉදිකළ සැට අටක් ලෙන් සඟසතු කොට පූජා කිරීමත්, සංඝයා වහන්සේ ප්‍රථම වරට ලංකාභූමියේ වස් එළඹීමත් ඇසළ පොහොයක ම සිදු විය.

ලක්දිව රජ පැමිණි ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු මහ නරේන්ද්‍රයා විසින් රුවන්වැලි මහා සෑ රදුන් තැනීමේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පින්කම උත්සවශ්‍රීයෙන් සිදු කරනු ලැබුයේ ද ඇසළ පුන් පොහෝ දිනක ය.

බුද්ධ වර්ෂ 847 වැන්නේ ලක්රජුන් වූ කිත්සිරිමෙවන් රජ දවස හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් කළිඟු රටින් වැඩමවා ගෙන පැමිණි ශ්‍රී දළදා වහන්සේට උපහාර පිණිස කෙරෙන දළදා පෙරහර ආරම්භ වූයේත් ඇසළ පුන් පොහෝ දිනයක යි. එය වත්මන දක්වා ම අඛණ්ඩව ම මහා උත්සවශ්‍රීයෙන් සිදු කෙරෙමින් පවතී.

එළඹෙන ඇසළ පුන් පොහෝ දිනයේ පිළිවෙතින් සරුව පින් පුරන්නට ඔබ සැමට වාසනාව ලැබේවා!

පොසොන් අමාවක

ජූලි 05 සිකුරාදා පූ.භා. 05.00 අමාවක ලබා 06 සෙනසුරාදා පූ.භා. 04.29 ගෙවේ.
05 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]