[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සද්ධර්ම ප්‍රතිරූපකයන් හඳුනාගන්න

සද්ධර්ම ප්‍රතිරූපකයන් හඳුනාගන්න

ලොව්තුරා බුද්ධත්වයට පත්වී පුරා අවුරුදු 45ක් ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ පරම සත්‍ය වූ ද, ගම්භීර වූ ද, සියලුම රසයන් අතරින් අග්‍රවූ ශ්‍රී සද්ධර්මය අද වන විට සද්ධම්ම ප්‍රතිරූපකයන්ගේ ග්‍රහණයට ලක් වී තිබීම බොදු හදවත් සසල කරවයි. සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රය පිළිබඳ ව භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිස දැනුවත් කරලීම කාලෝචිත වනු ඇත.

එකල භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයේ වැඩ වාසය කළ අතර, මහකස්සප මහ රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ.

භාග්‍යවතුන් වහන්ස, පෙර කාලයේ ශික්ෂාපද ඉතා මද වූහ. එහෙත් බොහෝ භික්ෂූන් රහත් බැව්හි පිහිටියහ. ඊට හේතු සාධක කවරේ ද? දැන් ශික්ෂාපද ඉතා බොහෝ වුවත් අරහත් ඵලයට එළඹෙන්නේ ඉතා සුළු පිරිසක් නම් ඊට හේතු සාධක කවරේදැයි විචාළේ ය.

එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා කස්සප, මෙය මෙසේම වෙයි. සත්වයා පිරිහෙන කල්හි, සදහම් අතුරුදහන් වන කල්හි ශික්ෂා පදයෝත් බොහෝ වෙයි. ඉතා මද වූ භික්ෂූන් රහත් බැව්හි පිහිටයි.

කස්සප ලොව යම්තාක් සදහම් පිළිරුවෙක් නැතිනම්, සදහම් වැන්නකු වූවෙකු මෙන් නූපදී ද, ඒතාක් සදහම්හුගේ අතුරුදහන් වීමක් සිදු නොවේ. ලොව යම් කලෙක සදහම් පිළිරුවක් උපදී ද එකල්හි සදහම්හුගේ අතුරුදහන්වීම සිදු වේ.

කස්සප, යම් සේ ලෝකයේ යම්තාක් කල් රත්තරන් හා සමාන දෙයක් හට නො ගනී ද, ඒ තාක්කල් රන් අතුරුදහන් වීමක් සිදු නොවේ. කස්සප, ලොව යම් කලෙක රත්තරන් නොවූවත් රත්තරන් වාගේ පෙනෙන දෙයක් හට ගනී ද, එකල්හි රන් පිළිබඳ අතුරුදහන්වීමක් අවිශ්වාසයක් ඇතිවීම සිදු වේ. කස්සප එසේ ම ලොව යම්තාක් කල් සදහම් පිළිරුවක් නූපදී ද, ඒ තාක් කල් සදහම් අතුරුදහන්වීමක් සිදු නොවේ. කස්සප යම්කලෙක සදහම් පිළිරූ උපදී ද එකල්හි සදහම් අතුරුදහන්වීම සිදු වේ.

මෙම සූත්‍රයේ තවදුරටත් බුදුන් වහන්සේ පෙන්වා වදාළේ මේ ලෝක ධාතුව තුළ පියවි ඇසට පෙනෙන බොහෝ දේ ඇතිකිරීමට හා නැතිකිරීමට හේතුවන සතරමහා භූත ධාතුන් වන පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතූන් සද්ධර්මය අතුරුදහන් කරවීමට හේතු නො වන බවත්, ඒකාන්ත වශයෙන් සද්ධර්මය අතුරුදහන් කරන හිස් පුරුෂයෝ මෙම සසුනෙහි උපදින විට සද්ධර්මය අතුරුදහන් වන බවත් දේශනා කර ඇත.

සදහම් අතුරුදහන් වීමට හේතුවන තවත් කාරණා පහක් මෙම සූත්‍රයේ සඳහන් ව ඇත.

භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා වන සිවුවනක් පිරිස ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව හා යටහත් පහත් නොවීම

* ධර්මය කෙරෙහි ගෞරවය හා යටහත්පහත් භාවයක් නොවීම

* සංඝයා කෙරෙහි ගෞරවය හා යටහත්පහත් භාවයක් නොවීම

* ශික්ෂාපද කෙරෙහි ගෞරවය හා යටහත්පහත් භාවයක් නොවීම

* සමාධිය කෙරෙහි ගෞරවය හා යටහත්පහත් භාවයක් නොවීම

සද්ධර්මය පිරිහීමට හේතුවන ඉහත කාරණා එපරිදි ම සිදුවෙමින් පවතී. අද වන විට විවිධාකාරයේ සද්ධර්ම ප්‍ර‍්‍රතිරූපකයන් බිහිවී සිටී.

මෑතකදී අප ශාස්තෘන් වහන්සේට අගෞරවය වන අයුරින් පහත අසභ්‍ය වචන කාන්තාවක් කළ දේශනාවක් අසාගෙන සිටින ශ්‍රාවකයනුත් හැසුරුණු විදිය සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාර විය. බුදුරජාණන් වහන්සේට නින්දා අපහාස කළ චිංචිමානවිකාවක් බඳු එම කාන්තාව නීතිය හමුවට ගෙනා පමණින් ශාස්තෘන් වහන්සේට හා සද්ධර්මයට ඇතිවූ අගෞරවය නැති නොවේ.

එසේම බෝධිසත්වවරයෙක් යැයි කියාගත් තවත් අයකු උපාසක උපාසිකාවන් පමණක් නොව ශ්‍රමණ වේශධාරි, දසසිල් මාතාවන් ද, මුළා කරමින් රඟ පෑ බෝධිසත්ව ප්‍රතිරූපය තුළින් ද බුදු සිරිතට මෙන්ම බුදුදහමට සිදුවූයේ ඉමහත් අගෞරවයෙකි.

තවත් පිරිසක් භික්ෂුවේශ දරාගෙන චීවර පොරවා ගෙන බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ බව ප්‍රකාශ කරමින් ඒ පිළිබඳ සිතියම් පොත් පළකරමින් බෞද්ධ ශාසන ඉතිහාසය මෙන් ම සද්ධර්මය ද අතුරුදහන් කිරීමට කටයුතු කරමින් සිටී. සිවුපිළිසිඹියාපත් අරහතුන් වහන්සේ මෙන්ම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහතුන් වහන්සේ ලෙස හුවා දක්වා ගනිමින් කටයුතු කරන ගිහි පැවිදි දෙ පිරිසක් බිහිවී සිටින අතර, චතුරාර්ය සත්‍ය, තිලක්ෂණය, පටිච්චසමුප්පාදය, ශ්‍රී සද්ධර්මයේ හරය මෙන් ම සාරය විනාශ කරමින් කරන දේශනා තවදුරත් සිදුවීමට ඉඩදී සිටියහොත් ශ්‍රී සද්ධර්මය මේ ධර්මද්වීපය තුළ වැඩිකලක් පවතී දැයි සැක සහිත ය. මේ සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බලතල ඇති ගිහි පැවිදි දෙ පිරිසම අවදි විය යුතු කාලයක් එළඹී ඇත.

සද්ධම්ම ප්‍රතිරූපක නිසා සිදුවන හානිය පැහැදිලි කරදීමට බුදුන් වහන්සේ පෙන්වා දුන් උපමාව වූයේ රත්තරන්වලට සමාන පෙනුම ඇති යමක් ඇති නොවන තාක් කල් රත්තරන්වල අගය හා වටිනාකම පැවතියත් ඒ හා සමාන පෙනුමක් ඇතත් වටිනාකමක් නැති දෙයක් සෑදුන විට රත්තරන්වල අගය අඩුවන්නාක් සේ ම සද්ධර්ම ප්‍රතිරූපකයන් බිහිවූ විට සද්ධර්මය යටපත් වන බවය.

මේ වන කොට රත්තරන් නොවන එහෙත් රත්තරං පාටට සමාන සර්වපිත්තල රන්භාණ්ඩ ලෙස පෙනෙන සේ නිපදවා ඇති නිසා නියම රත්තරන් බැලු බැල්මට සොයා ගැනීමට අපහසු වී ඇත. මේ නිසා පිරිසුදු රන් භාවිතය අඩු වී රන් සේ පෙනෙන භාණ්ඩ පරිහරණය වැඩි වී ඇත.

රත්තරන් පමණක් නොව තවත් වටිනා බොහෝ දේ සමාජය තුළ ප්‍රචලිත වී ඉල්ලුම වැඩිවන විට එවැනි දේවලට සමාන ප්‍රතිරූප සෑදීම නිසා පෙර පැවති වටිනා දේවල්වල වටිනාකම් නැතිවී යයි. යානවාහන, ඖෂධ වර්ග, කෑමබීම, හා තවත් වටිනාකම් ඇති දේ මෙසේ භාවිතයෙන් බැහැර වී යයි.

දාන, ශීල, භාවනා ආදි කුසල ක්‍රියා වැඩිදියුණු කර ගෙන දානය තුළින් ලෝභය, තුරන්කොට අත්හැරීම, ශීලය තුළත් කය වචනය හික්මවා ගෙන, චිත්ත සමාධිය ඇති කරගෙන, භාවනාව තුළින් ප්‍රඥාව හෙවත් විදර්ශනා නුවණින් අවිද්‍යාව දුරුකොට සම්මා දිට්ඨිය තුළින් සකල දුක් නසා අරහත්ඵල සමාපත්තිය උදාකර ගන්නා හැටි සද්ධර්මය තුළින් පෙන්වා දෙයි.

එබැවින් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිස ම සද්ධර්ම ප්‍රතිරූප ගොඩනඟන්නා වූ ප්‍රතිරූපකයන් හඳුනාගෙන තවත් බොහෝ කාලයක් ශ්‍රී සද්ධර්මය ගිලිහී නොයා රැක ගන්නට 2568 ලැබුවා වූ මේ උතුම් බුද්ධ වර්ෂයේ සිට හෝ දැනුවත් වීමට වාසනාව උදාවේවා.

වෙසක් අමාවක

ජුනි 05 බදාදා අ.භා. 07.59 අමාවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.13 ගෙවේ.
 06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]