[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කාන්තාවට ආලෝකයක් වූ මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණියෝ

කාන්තාවට ආලෝකයක් වූ මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණියෝ

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම උදෙසා උරදුන් මහා ප්‍රජාපතී චිරකාලඥ ( දීර්ඝ කාලයක් මහණදම් පිරූ)භික්ෂුණියක් වීමටත්, සිද්ධාර්ථ කුමරුගේ සුළු මව් වීමටත්, සුදොවුන් රජුගේ මෙහෙසියක් වීමටත් සසරේ පාරමී පිරූ චරිතයකි.

කාන්තා නිදහස ඇහිරී තිබූ සමාජ පසුබිමක ශ්‍රාවක සමාජය නව මඟකට විවර කරමින් බුද්ධ ශ්‍රාවිකා සමාජයක් ගොඩනැංවීම උදෙසාත්, පුරුෂයකුට මෙන් ම කාන්තාවකට ද බුද්ධිමය හා ආධ්‍යාත්මික ශක්තිය එකසේ ළඟා කර ගත හැකි බව ක්‍රියාවෙන් ම ලොවට පෙන් වූ ප්‍රතාපවත් කාන්තා චරිතයක් ලෙස ද ඇය හඳුන්වා දිය හැකියි.

ස්වතන්ත්‍රතාවයක් නොලැබූ, බාල, තරුණ, මහලු කාලයන් පිය රැකවරණය, ස්වාමියාගේ රැකවරණය, පුත්‍ර රැකවරණය ලබනා කාන්තාව උදෙසා ධර්මයේ රැකවරණය පැතූ වීර කාන්තාව ලෙස ද මහා ප්‍රජාපති ගෝතමිය හඳුන්වා දිය හැකි ය. ඇයගේ මෙහෙවර නිසාවෙන් ආධ්‍යාත්මික ව නිවන සොයා ගිය ථෙරණිවරු ථෙරවරු විශාල පිරිසක් එදා දඹදිව වූහ.

පියුමතුරා බුදුරදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද බුදුරදුන්ගෙන් බණ අසා චිරකාලඥ ථෙරවරියන් අතරින් අග්‍රවීමට විවරණ ලබමින් වීරප්‍රජාපතිය කප් සිය දහසක් දෙව් මිනිස් ආත්ම භවවල සැරිසරමින් කස්සප බුදුන්ගේ දවසත්, බුදුවරුන් ශූන්‍ය කාලවලදීත් බරණැස් නුවර දැසි දස්සන් අතර ශ්‍රේෂ්ඨ දාසියක ව ද ඉපිද වස් විසීමට කුටි පූජා, දාන පූජා, සළු පූජා ආදියෙන් පසේ බුදුවරුනට ද පූජා කරමින් ගෞතම බුද්ධ කාලයේ දෙව්දහනුවර මහා සුප්පබුද්ධ රජුගේ දියණියක ව උපත ලද්දා ය. ගෝතමී වූ ඇය මහාමායා දේවියගේ බාල නැගණිය වූ අතර, සුද්ධෝන රජුගේ මෙහෙසියක් බවට ද පත් වූවා ය.

තම ශාක්‍ය ප්‍රජාව සසරින් එතෙර කරනු වස් බුදුන් වහන්සේ කිඹුල්වතට වැඩි ගමනේ දී ධර්මය කෙරෙහි පැහැදුණු ප්‍රජාපතී දේවිය මහණවීමට අවසර ඉල්ලා, කලහවිවාද සූත්‍ර දේශනාව අවසානයෙහි කසාවත් හැඳ හිස මුඩු කොට පරිවාර බිසෝවරුන් පන්සියයක් සමඟ අනඳ තෙරුන් ලවා බුදුන් වහන්සේට ආයාචනා කර, ඉතා අසීරුවෙන් ගරු ධර්ම අටක් සමඟ පැවිද්ද හා උපසම්පදාව ලබා ගත්හ.

මහා ප්‍රජාපතී තෙරණියට මෙසේ සිත් විය. බුදුන්ගේ හෝ දෙඅගසව්වන්ගේ, රාහුල, ආනන්ද, නන්ද යන අයගේ පිරිනිවීම ඇයට දක්නට නො ලැබෙන්නාහ. එකිනෙකා තම ආයු වළඳා නිමකර බුදුරදුන් වහන්සේ අනුදැන වදාරන දිනෙක පිරිනිවී යන සේක. පන්සියයක් භික්ෂුණීන් වහන්සේ ද එසේ ය. මේ පුවත අසා මහා ප්‍රජාපතී තෙරණිය සමඟ ගිහිගෙයි හා භවයෙන් නික්මුණ පරිදි ජාති, ජරා, මරණ, අපි‍්‍රයයන් හා විසීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දක්නට නො ලැබෙන නිවන් පුරය යාමට කැමැත්ත පළකර පන්සියයක් නදී මුහුදට යන පරිදි පන්සියයක් මෙහෙණින් වහන්සේ නිවනට යාමට බුදුවිවරණ පතා වැඩියහ.

සුගතයාණන් වහන්ස, මම ඔබගේ මව වෙමි. ඔබේ මාගේ පියා වේ. ඔබ උපන් පසුව ඔබගේ රූපකාය මම වැඩුවෙමි. ඔබ වහන්සේ මාගේ ධර්ම කාය වැඩුවේ ය. මා ඔබට පිපාසය උදෙසා කිරි පොවන ලදී. ඔබ වහන්සේ සසර පිපාසයට මා හට දහම් ක්ෂීර ලබා දෙන ලදී. එම ණය ගෙවී හමාර ය. කිසිදා මාතාවක් ඔබ වැනි පුතකු නො ලබන්නී ය. ඔබ මා භව සයුරින් එතෙර කරවූහ. බුදුන්ගේ මව වීම අතිශය දුර්ලභ ය. දැන් මා පිරිනිවීමට කැමැත්තෙමි. දුක් කෙළවර කරන නිර්වාණය අනුදැන වදාරන මැනවි.

දෙතිස් ලකුණින් හෙබියා වූ කාන්තියෙන් බබළන, සැඳෑවළා අතුරින් පෙනෙන සඳ මඬලක් වැනි වූ බුදු සිරුර දැක සොම්නස් ව බුදු පාමුල වැඳ වැටී නර සූර්යයාණෙනි, මින් මතු සූර්ය වංශයට කේතුවක් වැනි ඔබ වහන්සේ මම කිසිදා නො දකින්නෙමි යැයි පවසා එයට කළගුණ දක්වනු රිසියෙන් මහා ප්‍රජාපති තෙරණිය මෙසේ බුදුරදුන්ගේ ගුණ ගායනා කර දැක්වූහ.

මා හා බොහෝ ජනයා ද දුකින් මුදවා ගත්, සියලු සත්ත්වයන්ට ශ්‍රේෂ්ඨ වූ උතුම් බුදුවීරයාණන්ට නමස්කාර කරමි.

දුක් නිවා හේතු තෘෂ්ණා වියළා අරිමඟ සංඛ්‍යාත නිරෝධයට පත් වූවෙමි.

පෙර භවයෙහි මව්, පුතා, පියා, සොහොයුරා, මිත්තණිය වීමේ යථා තත්ත්වය සොයාගත නොහැකි ව සසර සැරුවෙමි.

මා බුදුන් දක්නා ලදී. එබැවින් සසර කෙළවර කරන මේ මාගේ අවසන් පස් කඳ ය. මතු ඉපදීමක් නැත.

පටන් ගත් වීර්යය ඇති ව, එකඟ කළ සිත් ඇති ව, දැඩි උට්ඨානයෙන්, සමඟි සම්පන්න වූ ශ්‍රාවකයන් ද දැකිමි. බොහෝ දෙනාගේ හිත සුව වෙනුවෙන් මායා තොමෝ ගෞතමයන් වහන්සේ බිහි කළා ය. ඉන් ව්‍යාධි, මරණ හේතු කොටගෙන ඇත්තාවූ දුක් සමූහයේ උපත නැවතිණි. චතුසත්‍යය අවබෝධ කළා වූ, උතුම් වීර්යයෙන් යුත්, සසර දිනූ වීරයාණන් වහන්සේට මාගේ වන්දනා කරමි.

සර්පයන් ගැවසුණු ගෙයක් බඳු වූ, රෝගයන්ට නිවසක් වූ සිරුරක් ඇති, දුකින් ජරාවෙන් පිරි, මරණයට ගොදුරු වූ, කළකිරීම ඇති, නොයෙක් කෘමීන් පිරි, අනුන්ට අයත් වූ, කර්මණ්‍ය වූ මේ ජීවිතයෙන් තුරන් වී පිරිනිවීමට මට අවසර දෙන්න යැයි පැවසීය.

විමතියට පැමිණියා වූ මේ බාලයෝ ධර්මය අවබෝධ කර ගැනීමෙහි ලා උදාසීන ව වෙසෙද් ද, ඔවුනගේ දෘෂ්ටිය පහකරනු වස් සෘද්ධි ප්‍රාතිහාර්ය පා පිරිනිවීමට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ.

මහා ප්‍රජාපති තෙරණින් වහන්සේ බොහෝ දෙනෙක් මෙන් පෙනුණාහ. බොහෝ දෙනා එක් අයකු බවට පත් වූහ. පෙනී ගියහ, නො පෙනී ගියහ. සිතිජයෙන් පිට ද, අහසට ඔබ්බෙන් ද පෙනෙන මෙන් ගමන් කළහ. පොළොව යට කිමිදුනහ. දිය මතුපිට නො ගැටි ඇවිද්දාහ. බඹ විමන දක්වා සිය මුළු විශ්වය ම තමා වසඟයට ගත්තහ. මහමෙර මිටක් සේ ද, පොළොව ඡත්‍රයක් ලෙස ද ගෙන උඩුයටිකුරු කොට අහසේ ඇවිද්දාහ. සූර්යයන් සදෙනකු පෑවූ කලෙක මෙන් විය. යුගාන්තයෙහි මෙන් ලෝකය රශ්මි ජාලාවන්ගෙන් ආකූළ කළාහ.

සිව් සයුරු ජලය එක අතර ගත්තාහ. මහා වර්ෂාවක් වැස් වූහ. අහසේ සක්විති රජකු, ගුරුලා, ඇතා, සිංහයා, චිතා මැවූහ. අප්‍රමාණ භික්ෂුණීන් මවා අතුරුදහන් කරවූහ. එක් භික්ෂුණියක් වී මෙසේ සැළ කළහ.

මාරපාශයෙන් වෙසෙන දරුවනි, දුක්වීමෙන් ඵලක් නොමැත. සංකත වූ සියල්ල අනිත්‍ය ය. වෙනස් වන සුළු ය. සැලෙන සුළු ය. මෙසේ වදාළ ගෝතමී තෙරණියෝ ප්‍රතිලෝම වශයෙන් ධ්‍යානයන්ට සමවැදී ප්‍රථම චතුර්ධ්‍යානයට සම වැදී එයින් නැඟිට, නිවීගිය පහන් දැල්ලක් මෙන් පිරිනිවී ගියහ.

විදුලි දහරා මැද දෙව් බෙර වැයිණ. අහසින් මල් වැසි වැස්සහ. භූමිය හා මහාමේරුව චලිත විය. මහා සාගරය නිහඬ විය. බඹ, දෙව්, මනු, නාග, සේනා සංවේගයට පත් වූහ. පරිවාර ථේරි සමූහය ද තෙල් නොමැති ව නිවී යන පහන් සිළුමෙන් පිරිනිවී ගියහ.

විවර කර දුන් නිදහස හේතුවෙන් කාන්තා ප්‍රජාවගේ ම වන්දනාවට ලක්වන්නා වූ මහා ප්‍රජාපතී තෙරණින් වහන්සේ තමා මෙන් ම ප්‍රජාවත් නිවන කරා යොමු කර වූ පරම ශ්‍රේෂ්ඨ වනිතා රත්නයකි.

වත්මන තුළ දී කාන්තා නිදහස පිළිබඳ නා නා විධ කතා ඇසෙන නමුදු සිහිය පිහිටුවීමෙන් හා නුවණ පවත්නා කල්හිත් තමාට තමා පහනක් කොට ගෙන විසිය හැකි බවත්, සිත සමාධිගත වූ කල්හි ඒ මහා ආධ්‍යාත්මික නිවනට ස්ත්‍රිත්වය බාධාවක් නො වන බවත් ලොවට පෙන්නුම් කළහ. වසර එකසිය විස්සක් ආයු වැළඳූ ප්‍රජාපතියගේ ජීවිත කතාව කුසලයෙහි ආදීනවය ද විදහා දක්වන්නකි.

වෙසක් අමාවක

ජුනි 05 බදාදා අ.භා. 07.59 අමාවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.13 ගෙවේ.
 06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]