[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ජීවිතය බබළවන මිල කළ නොහැකි ආභරණ

ජීවිතය බබළවන මිල කළ නොහැකි ආභරණ

ස්ථිරසාර පදනමක් මත දිවිමඟ ගොඩනඟා ගැනීමට නම්, කායික, මානසික මෙන් ම ආර්ථික ස්ථාවරයක් තිබිය යුතු ය. යම් පුද්ගලයකුට මානසික වියවුල්, කායික රෝග පීඩාවන් මෙන් ම යම් වූ ද ආර්ථිකමය ස්ථාවරයක් නො තිබෙන්නේ නම් ජීවිත පරමාර්ථ කරා ළඟාවීමට එය බාධාවකි. මෙයින් අදහස් කරන්නේ සියල්ල මුදල් මත ම තීරණය වන බව නම් නොවේ.

වර්තමානයේ පවතින සමාජ ආර්ථික ක්‍රමය තුළ ජීවත්වීමේ දී ආර්ථිකය ප්‍රධානතම සාධකයකි. එහෙත් ආර්ථික ස්ථාවරය ද දැහැමි බවින් යුතුවීමට බෙහෙවින් ම වැදගත් ය.

අපි සියල්ලෝ ම සැප – දුක හමුවේ නින්දා - ප්‍රශංසා හමුවේ කම්පාවට පත්වෙමු. යස - අයස, ලාභ - අලාභ ඉදිරියේ ද එලෙස ය. සිත නො වැඩූ කෙනා අටලෝ දහම හමුවේ සැලෙයි.

මේ තත්ත්වය පෘථග්ජන කාටත් පොදු වූ ධර්මතාවකි. යම් කෙනෙකුට සංසාරගත ව සිදුකරන ලද කුසල් – අකුසල් අනුවත්, ඒ වගේ ම කරන ලද කර්මානුරූප ස්වභාවයත්, විපාක දීමේ අනුවත් අටලෝ දහමට මුහුණදීමට සිදු වේ. ඒ වගේම ජීවිතයකට හොඳ - නරක කෙසේ බලපෑම් කළ ද ඊට ඍජුව ම මුහුණ දෙමින් “යථාලාභ සන්තෝෂ” නම් වූ බෞද්ධ ජීවන දැක්ම ජීවිතයට සමීප කර ගැනීම සමාජයේ කාටත් සැනසීමකි. එසේ ජීවිතය සකස් කර ගැනීම සියල්ල හමුවේ උපේක්ෂා සහගත වෙමින් කටයුතු කිරීමට ජීවිතයට ශක්තිය ලැබේ.

ඒ ආකාරයෙන් කටයුතු කිරීම දැහැමි දිවියක මූලික ලක්ෂණයක් වන අතර, ජීවිත පරමාර්ථ සාධනයේ දී එය බෙහෙවින් ම ජීවිතයට ශක්තියක්, රුකුලක් බවට පත්වේ. මනුෂ්‍යයකු ලෙස අප මෙලොව ජීවත්වනුයේ අවුරුදු එකසිය විස්සක් යැයි සම්මතයේ සඳහන් කළ ද, මෙලොව ජීවත්වනුයේ ඉතාමත් ම අල්ප වූ සීමිත ජීවන ආයුෂ ප්‍රමාණයකි. ඒ ජීවත්වන කෙටි කාලසීමාව මිනිස් ගුණ ධර්මයන්ගෙන් අර්ථවත් ව මෙන් ම ආදර්ශවත් ලෙස ගත කිරීම මෙලොව මෙන් ම පරලොව වශයෙන් යහපතට ම හේතුවකි.

මේ සමාජයේ ජීවත්වන යමෙක් අසාර ලෙස ජීවත්වෙමින් තමන්ට මෙන්ම තම නෑ පරපුරේ උදවියට මෙන් ම, මුළු මහත් වූ සමාජයට ම පීඩාකාරි ලෙස ජීවත්වන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ හෝ ජීවිතය හිස් වූ බොල් වූ නිසරු ජීවිතයක් වනු ඇත. ලෝකය ඉදිරියේ තමන් පාරිශුද්ධ බවින් යුතු යහපත්, ගුණගරුක අයෙක් ලෙස කොතෙක් මවා පෑමට උත්සාහ කළ ද පලක් නැත. එසේ මවා පෑමට උත්සාහ කිරීමෙන් රැවටෙන්නේ තමන් ම ය. කිසි දිනෙක විශ්ව ධර්මතාවට, ලෝක ධර්මතාවට අපට පිටු පෑ නොහැකි ය.

මනුෂ්‍යයෙක් වශයෙන් ජීවත්වන අප පෙර සසර දිවියේ දී හෝ මෙලොව වශයෙන් යම් පාපකාරී, අසුබවාදී ක්‍රියා් සිදු කර ඇත්නම්, එම අවස්ථාවන්හි දී මනුෂ්‍යයා වෙතින් නිකුත් වූ චිත්ත ආවේග ශක්තීන් හා ශාරීරික ව නිකුත් වූ අයහපත් කිරණ ද අවකාශයට එකතු වී විශ්වයේ සැරිසරයි. මනුෂ්‍යයාගෙන් පීඩාවට පත්වූවන් මනුෂ්‍යයා කෙරෙහි අප්‍රසන්න සිතින් නැගූ විලාප මෙන්ම දුක තුළින් මතු වූ ශක්තීන් ද එසේම එකතු වේ. ඒ සියල්ල එබඳු ම අවස්ථාවක් නිර්මාණය වී හෝ වෙනත් මොහොතක හෝ ඒ අයුරින් ම නැතිනම් ඊටත් වඩා දරුණු ලෙස යම් දිනෙක ආපසු මනුෂ්‍යයා කරා ළඟා වේ. එය කර්මය පළදීමක් ලෙස හැඳින්වේ. ඒ වගේම යහපත් වූ සුබවාදී කටයුත්තකදී ද පෙර සේ ශක්තීන් එකතු වී ඒවායෙහි යහපත් ඵලයන් ද මනුෂ්‍යයා වෙත ළඟා වේ. ලෝක සත්ත්වයාට හොරෙන් කොතෙක් නරක දේ සිදු කළ ද එහි විපාකය විඳීමට කවදා හෝ දිනක සිදු වන්නේ ම ය. ඒ වගේ ම ධර්මානුකූල ව, නිරතුරුව යහපත් කටයුතුවල යෙදීම තුළින් කවර මොහොතක හෝ එහි සුබවාදී ප්‍රතිඵලය ද අත්විඳීමට හැකි වන්නේ ය. මේ ධර්මානුකූල පැතිකඩ සමාජයේ ජීවත්වන බොහෝ දෙනා අවබෝධකර ගන්නේ නම් අප ජීවත්වන සමාජය මීට වඩා ධාර්මික බවින් මෙන් ම ගුණාත්මක බවින් දියුණු වනු නිසැක ය.

දැහැමි බව මේ සමාජයේ සීමිත පිරිසකට පමණක් නොව සමස්ත ජනතාවට ම අත්‍යවශ්‍ය දෙයකි. බාල - මහලු, තරුණ - වැඩිහිටි සෑම අවධියක දී ම ධාර්මික ලෙස දිවි ගෙවීම ජීවිතයට මහඟු ආභරණයක් මෙන් ම ලාභයකි. එවන් ජීවිතයකට සම කළ හැකි වටිනා වස්තුවක් මිහිපිට තවත් ඇත්තේ නැත.

යහපත් කල්පනාවෙන් යුතු ව සරු දේ සරු ලෙසත්, නිසරු දේ නිසරු ලෙසත් මනුෂ්‍යයන් විසින් අවබෝධ කරගෙන සරු දේ ම තෝරාගෙන ජීවත්වීම බුද්ධිමත් බවේ උතුම් ලක්ෂණයකි. එවන් මනුෂ්‍යයාගේ ඉදිරි ජීවිත ගමන්මඟ එළිපෙහෙලි වී වඩ වඩාත් දීප්තිමත් ව දිදුලනු ඇත. එය මෙලොව මෙන් ම පරලොව ජය ගැනීමට හේතුවන කරුණකි.

යමෙක් මෙලොව ජීවිතය යහපත් කර ගනී ද, සාර්ථක කර ගනී ද, පරලොව ජීවිතය නිතැතින් ම සාර්ථක වනු ඇත.

ජීවිතයක පරමාර්ථ විය යුත්තේ පුරුෂාර්ථ සපුරාලීමයි. එනම්, යහපත් ගති ගුණ ජීවිතයට එකතු කර ගෙන ධාර්මික ව දිවි ගෙවීමයි. තමන්ටත්, අන්‍යයන්ටත් කරදරයක්, පීඩාවක් නොවෙන සේ ලැබූ මනුෂ්‍ය ජීවිතය ගත කිරීමයි. මේ දුකින් පිරුණු සසර කතරින් එතෙරවීම යි. ආගමික, සාමාජික, සංස්කෘතිකමය මෙහෙවරක් සිදුකිරීමයි. ඒ සඳහා වූ සදූපදේශ, මෙන් ම මඟ පෙන්වීම් ත්‍රිපිටක ග්‍රන්ථය පුරා ම පවතී.

මනුෂ්‍ය ජීවිතයේ ඕලාරික ක්‍රියාවන්ගෙන් දුරස් ව ජීවත්වීම තුළින් යහපත් වූ පුරුෂාර්ථ අසීමිත ව දියුණු කර ගැනීමට මාර්ගය උදා වන්නේ ය. මනුෂ්‍ය ජීවිතයකට උදාවන ජීවන ගැටලු, ආර්ථිකමය ගැටලු හා සාමාජීය වශයෙන් එළඹෙන ගැටලුවලට සාර්ථක විසඳුම් ධර්මය තුළින් ලැබිය හැකි වේ. අවශ්‍ය වන්නේ මනුෂ්‍යයකු ලෙසින් ඒ කෙරෙහි නැඹුරුවීම ය. එවිට වල් පැලෑටි බිහිවී ඇති ජීවිතය නැමැති කෙතේ වල් පැලෑටි ගලවා දමා දැහැමි ගුණධර්ම නැමැති ගොයම රෝපණය කොට එමඟින් සරුසාර අස්වැන්නක් නෙළා ගත හැකි වනු ඇත. ඒ සඳහා උත්සාහවත් වන්න.

වෙසක් අමාවක

ජුනි 05 බදාදා අ.භා. 07.59 අමාවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.13 ගෙවේ.
 06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]