[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පාලි හා බෞද්ධ අධ්‍යයන පඬිවර සම්භාවනා - 2024

පාලි හා බෞද්ධ අධ්‍යයන පඬිවර සම්භාවනා - 2024

“පාලි හා බෞද්ධ අධ්‍යයන පඬිවර සම්භාවනා 2024” යන මැයෙන් පාලි හා බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉමහත් සේවාවක් සිදු කළ පඬිවරුන් ඇගයීමේ උත්සවයක් කැලණිය විශ්වවිද්‍යාලයීය කොටහේනේ ශ්‍රී ප්‍රඥාකීර්ති නාහිමි අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී පසු ගිය දින ඉමහත් හරසරින් සිදු විය.

එම විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ වර්ෂ ගණනාවක් සේවය කරමින් සිට සේවාර්ජිත කථිකාචාර්යවරුන් මෙන් ම සම්මානිත මහාචාර්යවරුන් ලෙස දැනට ද කටයුතු කරමින් සිටින ගිහි පැවිදි පඬිවරුන් හත් දෙනකුගේ සේවාව මෙහිදී ඇගයුමට ලක් විය.

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමියන්ගේ මඟපෙන්වීම යටතේ අධ්‍යයනාංශයේ ආචාර්යවරුන් විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, මානවශාස්ත්‍ර පීඨාධිපති ආචාර්ය සුදත් සෙනරත් හා ලේඛකාධිකාරී කේ. කේ. කේ. ධර්මතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල සම්භාවනීය ගිහි පැවිදි පිරිසක් සහභාගී විය.

කැලණිය විශ්වවිද්‍යාලයේ වර්තමාන කුලපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, සබරගමු විශ්වවිද්‍යාලයේ වර්තමාන කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි, මහාචාර්ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද මාහිමි හා දර්ශනපති පල්ලේගම සමිත හිමිපාණන් වහන්සේ යන පැවිදි පඬිවරුන් මෙන් ම සම්මානිත මහාචාර්ය වයි. කරුණාදාස, සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ හා මහාචාර්ය ආනන්ද විජේරත්න යන ගිහි පඬිවරු ද “පාලි හා බෞද්ධ අධ්‍යයන පඬිවර සම්භාවනා 2024” යටතේ මෙවර සම්භාවනාවට පාත්‍රවූහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ මුලසුන හෙබවූ මෙම උත්සවයේ දී ඉහත පඬිවරුන් විසින් සහස් ගණන් උගතුන් බිහි කිරීමෙන් ද, ශාස්ත්‍රීය කෘති හා ලිපි ලේඛන සපයමින් මෙන් ම දේශන හා සම්මන්ත්‍රණ පවත්වමින් ද බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට මහඟු සේවාවක් කළ අයුරු එහිදී විශේෂ දේශනයක් පවත්වමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත ගරුසිංහ මහතා පෙන්වා දුන්හ. එම උත්සවයේ අරමුණ පැහැදිලි කළ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමියන් එකී පඬිවරුන් විසින් කැලණිය විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් දේශීය වශයෙන් මෙන් ම, ජාත්‍යන්තර වශයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශ්‍රී ලාංකේය සන්නාමය තහවුරු කළ ආකාරයත් පෙන්වා දුන්හ.

අනතුරුව ශ්‍රී ලාංකේය බෞද්ධ අධ්‍යාපනය කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයෙන් සිදුවිය යුතු භූමිකාව හා එහි නව දැක්ම හා ඉදිරි ගමන්මග පිළිබඳ ද විශේෂ අදහස් රාශියක් සම්භාවනාවට ලක්වූ පඬිවරුන් විසින් පෙන්වා දෙන ලදී.

මෙහිදී උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, මානවශාස්ත්‍ර පීඨාධිපති ආචාර්ය සුදත් සෙනරත් හා අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමියන් අතින් සම්මාන හා ත්‍යාග පිරිනැමිණි.

එම අවස්ථාවෙහි දී ම එම අධ්‍යයනාංශය මඟින් 2023 වර්ෂයේ සාරදා සමීක්ෂිත ශාස්ත්‍රීය සංග්‍රහයේ කලාප දෙකක් ද, පාලි භාෂාවෙන් ම රචිත විභාවී ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවන කලාපයේ දොරට වැඩීම ද උපකුලපතිනිය අතින් සිදු විය.

පහත දැක්වෙනුයේ සම්භාවනාවට පාත්‍ර වූ පඬිවරුන් පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.

මහාචාර්ය කොල්ලු‍පිටියේ ශ්‍රී මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ

දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය හොබවති. 1979 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් උන්වහන්සේ 1993 වර්ෂයේ දී පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය ආරම්භ කළහ. විශේෂයෙන් බෞද්ධ මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥයකු ලෙස ඉගැන්වීම් කටයුතු සිදු කළ උන්වහන්සේ 1998 වර්ෂයේ දී අංශාධිපති තනතුරට පත් වූ අතර, සිය ධුරකාලය තුළ අධ්‍යයන අංශයෙහි ශාස්ත්‍රීය මෙන්ම භෞතික සම්පත් වැඩිදියුණු කිරීම සඳහා අනගි මෙහෙවරක් ඉටු කළහ. කැලණිය රාජමහා විහාරාධිපති ධුරය හොබවන මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණෝ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ද, ජපානයේ මෙත්තා විහාරයේ විහාරාධිපති තනතුර මෙන් ම වෙනත් ශාසනික තනතුරු රාශියක් ද හොබවමින් සිටිති. ශාස්ත්‍රීය කෘති රාශියක් පළකොට ඇති උන්වහන්සේගේ විශේෂත්වය වන්නේ බෞද්ධ පඬිවරයකු වශයෙන් ජාතික ආගමික කර්තව්‍යයන්හි ශාසනික මෙහෙවර ඉටුකිරීමත්, මානව දායාවෙන් යුතුව නිහඬ සමාජ සුබසාධනයන්හි අඛණ්ඩ ව නිරතවීමත් නායකත්ව ලක්ෂණත් නිසාවෙනි.

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමිපාණන් වහන්සේ

දැනට ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය හොබවන සේවාර්ජිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමිපාණන් වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ශාස්ත්‍රීය දියුණුව උදෙසා කෘතහස්ත සේවාවක් ඉටු කළ තවත් ප්‍රවීණ ආචාර්යවරයෙකි.

විද්‍යාලංකාර පිරිවෙනෙන් අධ්‍යාපන ගමන ඇරඹූ උන්වහන්සේ පසුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූහ. උන්වහන්සේ 1963 වර්ෂයේ දී බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය දිනා 1963 දී තාවකාලික සහකාර කථිකාචාර්යවරයකු ලෙස අධ්‍යයන අංශයට එක් වූහ. අනතුරුව සහකාර කථිකාචාර්ය තනතුරේ සිට සහාය මහාචාර්ය තනතුර දක්වා වසර තිහකට අධික කාලයක් තිස්සේ විශිෂ්ට සේවාවක් ඉටු කළ අතර, උන්වහන්සේ විසින් රචිත “දළදා ඉතිහාසය සහ සංස්කෘතිය” නම් ශාස්ත්‍රීය කෘතිය සඳහා ජනාධිපති සාහිත්‍ය සම්මානයට පාත්‍රවීම ද විශේෂ කරුණකි.

සමාජ සේවාව මඟින් වැඩි ජනප්‍රසාදයක් දිනා සිටින ශ්‍රී ලංකාවේ සමභාව්‍ය තෙර නමක් වන කුඹුරුගමුවේ වජිර නාහිමියන් ශ්‍රී ලංකාවේ ථේරවාද බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අනභිභවනීය වේ.

මහාචාර්ය දේවාලේගම මේධානන්ද මාහිමිපාණන් වහන්සේ

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ සිටි ජනප්‍රිය ආචාර්යවරයාණෝ කෙනෙක් වෙති. 1980 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය පිළිබඳ ප්‍රථම පන්ති සාමර්ථයක් ලබමින් ශාස්ත්‍රීය ලෝකයට පිවිසි උන්වහන්සේ 1988 වර්ෂයේ දී සහකාර කථිකාචාර්යවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹූහ.

මහාචාර්ය තනතුර දක්වා සේවා උසස්වීම් ලබමින් විවිධ තනතුරු දැරූ උන්වහන්සේ 2002 වසරේ දී අංශාධිපති තනතුරට පත්වූහ. සුවිශාල ශාස්ත්‍රීය දායකත්වයක් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට සිදු කළ උන්වහන්සේ සිය කුසලතා හේතුවෙන් විවිධ ක්ෂේත්‍රයන්හි කීර්තියට පාත්‍ර වූහ.

බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය පිළිබඳ උනවහන්සේ විසින් රචිත ශාස්ත්‍රීය ග්‍රන්ථ සහ ලිපි රාශියක් වේ. තමාට ම ආවේණික වූ විශේෂ ඉගැන්වීම් ක්‍රම ශිල්ප භාවිත කළ දේවාලේගම හිමියෝ අතිශයින් ජනප්‍රිය ආචාර්යවරයෙක් මෙන් ම මාධ්‍ය ක්ෂේත්‍රයෙහි ජනකාන්ත දේශකයෙක් ද වූහ. මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමිපාණන් විශේෂ කුසලතා හිමි, මානව දයාවෙන් පිරි වර්තමාන ශ්‍රී ලංකාවේ සම්භාවනීය කීර්තිමත් තෙර නමකි.

දර්ශනපති පල්ලේගම සමිත හිමි

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය තුළ කැපවීමෙන් ශිෂ්‍යයන් වෙත සිය දැනුම ලබා දෙමින් ඔවුන්ගේ ශාස්ත්‍රීය ගමන් මඟ අර්ථවත් කරන්නට වටිනා දායකත්වයක් සැපයූ තවත් පඬිවරයෙකි. 1986 දී කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයෙන් පාලි භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේ දී ගෞරව උපාධිය දිනා ගත් උන්වහන්සේ, එයින් සිය ශාස්ත්‍රීය ජීවිතය අරඹා 1997 වසරේ දී පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ තාවකාලික කථිකාචාර්යවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළහ. වසර පහළොවක් පුරා විවිධ ශාස්ත්‍රීය සංස්කරණ සහ ප්‍රකාශන මඟින් තමන් වහන්සේ විශාරද පාලි භාෂා ඥානය ප්‍රකට කළ උන්වහන්සේ විසින් රචිත ග්‍රන්ථ අතර සද්ධම්මෝපායනය නම් පාලි සංස්කරණය අතිශය ප්‍රකට වූවකි.

පාලි භාෂාව හා තථාගත ධර්මය පිළිබඳ ගැඹුරු කියැවීමක් සහිත ආචාර්යවරයකු වන උන්වහන්සේ ත්‍රිපිටකය, අටුවා හා ටීකා මෙන් ම පාලි භාෂාව නිරපේක්ෂක ව ශාස්ත්‍රකාමීන්හට අද දක්වාම ඉගැන්වීමෙන් හා විවිධ ශාසනික මෙහෙවරයන්හි නිරත වෙමින් ඉමහත් සේවාවක් ඉටු කරති.

සම්මානිත මහාචාර්ය වයි. කරුණාදාස

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ඓතිහාසික ගමන් මඟ තුළ කීර්තිමත් මෙන් ම ප්‍රතාපවත් චරිතයකි. 1958 වර්ෂයේ දී ලංකා විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය දිනාගත් එතමා 1959 වර්ෂයේ දී මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ගේ කර්තෘත්වය යටතේ විශ්වකෝෂයේ සහකාර කර්තෘවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතයට පිවිසියේ ය.

අනතුරුව බෞද්ධ අධ්‍යයනය පිළිබඳ සහකාර කථිකාචාර්යවරයෙක් ලෙස විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට පිවිසි අතර ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේ ය. 1969 වර්ෂයේ දී පාලි විෂය පිළිබඳ මහාචාර්ය ධූරයට පත් ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලය ඇතුළු ලෝකයේ කීර්තිමත් විශ්වවිද්‍යාල කිහිපයක ම මහාචාර්යවරයෙක් ලෙස සේවය කළේ ය.

පාලි භාෂාව හා බෞද්ධ දර්ශනය මෙන් ම විශේෂයෙන් ථෙරවාද අභිධර්මය පිළිබඳ ලෝකයේ ප්‍රකට අද්විතීය පඬිවරයෙකි. මහාචාර්ය කරුණාදාසයන් තෙවරක් ම මානව ශාස්ත්‍ර පීඨාධිපතිවරයා ලෙස ඒකච්ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ලද අතර, එහිදී ඔහු තම දක්ෂ පරිපාලන කුසලතාව ප්‍රදර්ශනය කළේ ය. හෙතෙම දේශීය හා විදේශීය වශයෙන් ලැබූ ශිෂ්‍යත්ව හා සම්මාන රාශියකි. මහාචාර්ය කරුණාදාසයන්ගේ පුළුල් දැනුම් සම්භාරය කරණ කොට ගෙන, දේශීය හා විදේශීය වශයෙන් ශාස්ත්‍රීය ලෝකය තුළ සදා නො මැකෙන සලකුණක් තබා ඇත.

සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය නියෝජනය කළ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ ද කැපී පෙනෙන ප්‍රවීණයෙකි. 1976 වර්ෂයේ දී පාලි විෂයය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ප්‍රථම පන්ති සාමර්ථයක් සහිතව ලබා ගත් එතුමාණෝ සහකාර කථිකාචාර්යවරයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, එහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වශයෙන් ද අංශාධිපතිවරයකු වශයෙන් ද, සේවය කළේ ය.

පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ආදී තනතුරු රාශියක් ම දරමින් ඉමහත් සේවාවක් ඉටුකළ එතුමා සිය ගණනක් ශාස්ත්‍රීය කෘති හා ලිපි ලේඛන සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍යයන්ගෙන් රචනා කෙට ඇත. බෞද්ධ දර්ශනය, බෞද්ධ මනෝවිද්‍යාව, ආයුර්වේදය සහ ජ්‍යෝතිෂය ආදී විවිධ විෂය ක්ෂේත්‍රයන්හි පැතිර ගිය ඥානයක් හා චතුර වාග් ශක්තියකින් හෙබි පඬිවරයකු වූ ගල්මංගොඩ සූරීහු බෞද්ධ උපදේශනය සහ බෞද්ධ මනෝවිද්‍යාව වැනි නව විෂය ක්ෂේත්‍ර රාශියක් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට හඳුන්වා දීමෙහි පුරෝගාමී වූවෙකි.

දේශීය මෙන් ම විදේශීය වශයෙන් නොයෙක් වර සම්මානනයට පාත්‍ර වූ මෙතුමා බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලෝකය තුළ ස්ථාපිත කළ පඬිවරයකු වන අතර අද දක්වාම තම සේවා දායකත්වය පිරිනැමීම ද විශේෂ කරුණකි.

මහාචාර්ය ආනන්ද විජේරත්න

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක් වූයේ ඔහුගේ පුළුල් දේශීය හා විදේශීය ශාස්ත්‍රීය ප්‍රයත්නයන් තුළින් බෞද්ධ දර්ශනය සඳහා කළ සුවිශේෂ දායකත්වය නිසාවෙනි. 1969 වර්ෂයේ දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගත් මෙතුමා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස 1976 වර්ෂයේ දී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ය.

පුරා වසර තිස් පහක කාලයක් කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය ආදි විවිධ තනතුරු දැරූ ආනන්ද විජේරත්න මහාචාර්යාණෝ 2000 වර්ෂයේ දී පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා බවට පත්විය.

මෙතුමා තුළ පැවති පුරාවිද්‍යාව, ජාත්‍යන්තර සබඳතා, මනෝවිද්‍යාව හා උපදේශනය වැනි ක්ෂේත්‍රයන්හි පැතිර ගිය බහුවිධ බුද්ධිය බෞද්ධ දර්ශනය විෂයෙහි විශේෂ වීමට ඉවහල් වූ බව පෙනේ. නිසි කලට වේලාවට හා නිවැරදි ලෙස ඉගැන්වීම් කටයුතු කිරීම, නීතියට ගරු කිරීම හා ආචාරශීලිත්වය අතින් දේශීය හා විදේශීය සිසුන් අතර ඉමහත් ප්‍රසාදයට පත් මොහු දැනට ද සේවා දායකත්වය සපයන උසස් ගණයේ පඬිවරයෙකි.

මෙම කෘතහස්ත පඬිවරුන් කැලණිය විශ්වවිද්‍යාලයට මෙන් ම ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයටත්, ථේරවාද බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිත කිරීමත් වෙනුවෙන් කරන ලද අමරණීය සේවාව වෙනුවෙන් කෘතඥතාව පළකරමු.

මැදින් අව අටවක

අප්‍රේල් 01 සඳුදා අ.භා. 09.07
අව අටවක ලබා 02 අඟහරුවාදා අ.භා. 08.05 ගෙවේ.
02 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]