[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ලොව උතුම් ම ලාභය ලැබීමට ...

ලොව උතුම් ම ලාභය ලැබීමට ...

ලාභ ප්‍රයෝජනයන් ගත් කල්හි සමහර ලාභ මුදල් මත පදනම් වී ඇති අතර, ඇතැම් ලාභ භෞතික වස්තූන් මත පදනම් ව ඇත. බොහෝ දුරට ලාභ ප්‍රයෝජන වනාහි සත්වයාගේ සුඛ විහරණය උදෙසා ම පවතින්නකි.

නමුත් භෞතික වශයෙන් පවතින බොහෝ ලාභ ප්‍රයෝජන තුළ ඇත්තේ තාවකාලික සැපතකි. සුළු මොහොතකින් ලාභ අලාභ බවට පත්වීම ලෝක ධර්මතාව යි. එවිට කම්පා වීම, සෝක වීම මනෝ භාවයන්ගේ ස්වභාවය යි. අටලෝ දහමින් පෙන්වා දුන් පළමු කාරණය වන්නේ ද එයම යි.

බුදුරජාණන් වහන්සේ, ධම්ම පදයේ දී කොසොල් මහ රජු මුල් කොට ගෙන නීරෝගිකම උතුම් ම ලාභය වශයෙන් දේශනා කළහ. කොතරම් ලාභ තිබුණ ද නිරෝගිකම කෙනකුට නැත්නම් එයින් ප්‍රයෝජනයක් නොමැත. “ආරෝග්‍ය පරමා ලාභා” යන බුද්ධ වචනය තුළ එම අර්ථය පෙන්වා දී ඇත. නිරෝගිකම උතුම් ම ලාභය වන්නේ කෙසේද යන්න විමසා බැලීම අප කාටත් වැදගත්ය.

ස්වභාවික වශයෙන් ගත් කල්හි සත්වයාට විවිධ රෝගාබාධ, ඇති විවිධ අංශ හරහා සිදුවෙන අයුරු ත්‍රිපිටකය දෙස අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වේ.

බුද්ධ ශාසනයේ කිසිම රෝගයක් නොවැලඳුන භික්ෂුවක් ලෙස බක්කුල මහරහතන් වහන්සේ හැඳින්වීමට පුළුවන. උන්වහන්සේ බුදු සසුනේ සිටි නීරෝගිමත් ම, භික්ෂුව ලෙසත් දීර්ඝායුෂ ලැබූ භික්ෂුව ලෙසත් ඉතා ප්‍රකට ය. උන්වහන්සේ 160 වර්ෂයක් වැඩ සිටි බව එම චරිත කතාව පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වේ.

ඇතැමෙක් උපතින් විවිධ රෝගාබාධවලට පත්වීම ද ඉපදුණාට පසුව විවිධ රෝගාබාධවලට පැමිණීම ද දක්නට ලැබේ. කෙසේ වෙතත් පෙර පින් බලය හා ගිලනුන්ට උපස්ථාන කිරීමේ අනුසස් සේ ම, ගිලන්පස පූජා කිරීම් ආදිය තුළින් නීරෝගිකම වැඩිවීමට හේතුවන බව විවිධ බුද්ධශ්‍රාවක චරිත කතා තුළින් ප්‍රකට වේ. බුදු හිමි තම දෑතින්ම ගිලනුන්ට උපස්ථාන කළ අයුරු බුද්ධ චරිතය තුළින් පැහැදිලි වේ. පූතිගත්ත තිස්ස තෙරුන්ට සෑදුන සැරව ගෙඩි සඳහා උණු පැන්වලින් නෑවීම, උදරාබාධයකින් පෙළුන භික්ෂුවකට පිහිටවීම ආදි කතා තුළින් බුදු හිමිගේ උපස්ථාන ගුණය මොන තරම් ඉහළින් පැවතුණාද යන්න පිළිබඳ ප්‍රකට වේ. රෝගාබාධ සඳහා අවශ්‍ය බේත්හේත් විනය පිටකයේ භෙසජ්ජක්‍ඛන්ධයේ වැඩිදුරටත් කරුණු විග්‍රහ කොට ඇත.

ගිලානෝපස්ථානය තරම් තවත් උතුම් දෙයක් නොමැති බව බුදුන් වහන්සේ ලෝක සත්වයාට දේශනා කළහ. “යො ගිලානං උපට්ඨෙය්‍ය සො මං උපට්ඨෙය්‍ය” යනුවෙන් විනය පිටකයේ මහාවග්ග පාලිය තුළින් දේශනා කර ඇත්තේ යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ ද? හේ බුදුහිමිට උපස්ථාන කරන්නාක් හා සමාන බව ය. එසේ නම් බුදු හිමිට උපස්ථාන කළා හා ආනිසංස ගෙන දෙන උතුම්ම පින්කමක් වශයෙන් ගිලානෝපස්ථානය හැඳින්වීමට පුළුවන.ගිලනුන්ගෙන් උපස්ථායකයාටත්, උපස්ථායකයාගෙන් ගිලනුන්ටත් ඉටුවිය යුතු ගුණ සමුදායක් ද දේශනා කළහ. ඒ අනුව උපස්ථායකයා තුළ තිබිය යුතු ගුණ වන්නේ,

ගිලන් වූ පුද්ගලයාට හිත බෙහෙත් පිළියෙල කර දීම, හිත අහිත ආහාරපාන දැන හිත බොජුන් සැපයීම හා අහිත බොජුන් ඉවත් කිරීම, ලාභ ප්‍රයෝජනයන්ගෙන් තොරව කුළුණින් උපස්ථාන කිරීම, මල මුත්‍ර ඉවත් කිරීමේ දි පිළිකුලක් නූපදවා ගැනීම, හිත සැනසෙන පරිදි නිතර උපදෙස් දීම.

උපස්ථානයට යෝග්‍ය ගිලන් පුද්ගලයා විසින් ද පිළිපැදිය යුතු හා වැඩිය යුතු ගුණ පහක් දේශනා කළහ. එනම්

සැප වූ ආහාර පාන ගැනීම, සැප වු ආහාර පානාදියෙහි පමණ දැන ගැනීම, නියමිත වේලාවට බෙහෙත් පාවිච්චි කිරීම, උපස්ථායකයාට තමාගේ අසනීප තොරතුරු නොසඟවා දැන්වීම, ධෛර්ය උපදවා රෝගය ඉවසා සිටීම.

මහාකස්සපථෙර බොජ්ඣංග, මහාමොග්ගල්ලානථෙර බොජ්ඣංග, මහාචුන්දථෙර බොජ්ඣංග, ගිරිමානන්ද ආදී සූත්‍ර තුළින් කයේ හටගන්නා විවිධ රෝගාබාධ පිළිබඳ බුදුහිමි පැහැදිලිව දේශනා කොට ඇත. රෝගාබාධ ඇතිවීම සෑම කෙනකුට ම පොදු වුවක් වුව ද එයින් නිදහස් වීමට හැකි නම් එය පරම ලාභයක් ලෙස පෙන්වා දීමට පුළුවන.

සත්වයාට මතක් කර කර හෝ කිය කියා එන දේ හැටියට රෝගාබාධ පිළිබඳ සිතීමට අපහසු ය. නීරෝගිව සිටි අය ක්ෂණිකව රෝගීන් වන අයුරු ලෝකය දෙස බැලීමෙන් පැහැදිලි වේ.

ඒ අනුව සතා සිව්පාවකුට වුව ද රෝගාබාධයක් ඇති වූ කල්හි එයට පිහිට වීමට මැළි නොවිය යුතු ය. අප රටේ සිටි බුද්ධදාස රජු සතා සිව්පාවුන්ට පවා වෙදකම් කළා පමණක් නොව ඔවුන් සඳහා අවශ්‍ය පහසුකම් ද සැලසූහ.

උදේනි රජු භද්‍රවතිකා නමැති ඇතින්නියකගෙන් වැඩ ගෙන වයසට ගිය පසු ඉවත දැමීම හේතුවෙන් එය සත්පුරුෂ ක්‍රියාවක් නොවන බවට බුදුහිමි කරුණු පහදා දී එසේ නොකරන ලෙස ද දේශනා කළහ. මේ ආදි විවිධ කතා පුවත් තුළින් වුව ද ගිලානෝපස්ථානයෙහි වටිනාකම විදහා දක්වා ඇත.

එසේම විශාලා මහනුවර සිදු වූ දුර්භික්ෂය ද මහා ව්‍යසනයක් බවට පත් වූවකි. වලගම්බා යුගය තුළ ද එවැනි දුර්භික්ෂයක් සිදු වු බව ඉතිහාසය හැදෑරීමෙන් පැහැදිලි වේ. ඒ සෑම අවස්ථාවක දී ම ගිලානෝපස්ථානයට ලැබුණේ ප්‍රමුඛස්ථානයකි. ලෝකයත් සමඟ සංසන්දනය කොට බලන කල්හි තවමත් අප රට තුළ ගිලානෝපස්ථානය උතුම් සත්ක්‍රියාවක් ලෙස ඉහළින් ම පවතියි. අද වන විට එවැනි උතුම් ගුණාංග සමාජයෙන් පිරිහී යමින් පවතී. බුදු දහමින් ලද ආභාසයත් සමඟ පැවැතුන එම උතුම් සත් ක්‍රියාව ඉදිරියට ද පැවැතීම උතුම් වන්නේ ය.

ඒ අනුව බුද්ධ චරිතය හා ත්‍රිපිටකය තුළ ඇති ඒ සම්බන්ධ කරුණු පිළිබඳ අවධානය යොමු කොට ගිලානෝපස්ථානයේ වටිනාකම දැන හඳුනාගෙන ගිලනුන්ට උපස්ථාන කොට ලොව ඇති උතුම් ම ලාභය ලැබීමට සැවොම උත්සාහවත් වීම වැදගත්ය.

මැදින් අව අටවක

අප්‍රේල් 01 සඳුදා අ.භා. 09.07
අව අටවක ලබා 02 අඟහරුවාදා අ.භා. 08.05 ගෙවේ.
02 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]