මේ මිථ්‍යාවෙන්
මිදිය යුතු කාලයයි
දර්ශනපති
බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි
අපට ලැබී ඇති මේ මනුෂ්‍ය ජීවිතය අරුම ය. පුදුම ය. ඒ අරුම පුදුම ජීවිතයේ නිත්‍ය
ස්වභාවය වනුයේ, තමන්ට හිතසුව පිණිස පවතින දේ කෙරෙහි පමණක් ඇලීම ය. ආශා කිරීම ය. දුක
හිතෙන කිසිදු දෙයක් ළං කර ගැනීමට අප කවුරුත් කැමැති නැත.
දුකට හෝ සැපයට මුල්වන දේ තීරණය කරනු ලබන්නේ අපගේ සිත ම ය. එබැවින් අපගේ සිතුම්
පැතුම් දූෂ්‍ය වූ විට කරන කියන දේ තුළින් උපදින්නේ අයහපත් ප්‍රතිඵල ය. ඒ අනුව
සිතින්, කයින්, වචනයෙන් අප අතින් හොඳ හෝ නරක සිදු විය හැකි ය. එහිදී හොඳ හෝ නරක
ක්‍රියාවල තීරකයා වන්නේ තමන් ම ය. බුදුන් වහන්සේ වදාළ පරිදි, පස් පවින් හා දස
අකුසලින් දුරුව යහපත තෝරා ගැනීමේ නුවණ අප තුළ ඇති කර ගත යුතු ය. පවිත්‍ර වූ
සිතිවිලි පරම්පරාවක් ඇති කර ගැනීමෙන් අපගේ ඒකායන පරමාර්ථය වන නිවන කරා ගමන් කිරීමට
හැකියාව ලැබේ.
නමුත් පින්වත නිවන් දැකීමට පෙර අප තුළ ඇති කර ගත යුතු ප්‍රතිපත්ති මාලාවක් ඇත. ඒ
සඳහා මඟ පෙන්වන සූත්‍ර ධර්ම රාශියක් බුද්ධ දේශනා තුළ ඇත. පංච ඉන්ද්‍රීයන් දමනය කර
ගැනීම, පංචස්කන්ධය පිළිබඳ ඇති අවබෝධය, කුසල
අකුසල
විනිශ්චය, කර්මය, කර්මඵලය පිළිබඳ විශ්වාසය, හේතුඵල ධර්මය යන දේශනා එහිලා ප්‍රධාන
තැනක් ගනී. ඒ අතර ජීවිතයේ ස්වභාවය මහලුවීම, ලෙඩවීම සහ එහි කෙළවර ඇත්තේ මරණය බව
සිතිය යුතු ය. එවිට සිතුම් පැතුම්වල පූර්ණ වෙනසක් සිදු වනු ඇත.
පුද්ගල ජීවිතය ලෝකයේ ස්වභාවය ධර්මය හා අධර්මය පිළිබඳ මනා අවබෝධයක් නො තිබීම වැනි
කරුණු නිසා බොහෝ අය මේ වන විට මිථ්‍යාව පසුපස හඹායමින් සිටිති. දුක, දුකට හේතුව,
දුක නැති කිරීම ඒ සඳහා වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉතා මැනවින් දේශනා කර තිබියදි අද
පුහුදුන් අඳ බාලයින් මිථ්‍යාව (මිච්ඡා) කෙරෙහි ඇදී යති. ලොව්තුරු දහමේ පරම සුවය වන
නිවන් දැකීමට ඉතා කෙටි මාවත් සොයති. බුදු බව පතති. රහතුන් යැයි තමා ම කියා ගනියි.
ථෙරවාදය යටපත් කොට මහායාන සංකල්පය සමාජගත කිරීමට වෙර දරති. ඒ පිළිබඳ කිසිදු
අවබෝධයක් නැති ඇතැම් උදවිය එම දේශනා කෙරෙහි ඇදී යති. එහි ඇති සුඛනම්‍යතා දකින අය ඊට
ඇලුම් කරති. අල්ප මාත්‍ර දැනුමක් නැති, ඇතැම් අන්ධ භක්තිකයින් ඒ කෙරෙහි ඇලෙති.
ඉන්පසු බුදුබණ වෙනුවට එක එක දේශකයන්ගේ පෞද්ගලික ආකල්ප ග්‍රහණයට ගෙන විකෘති මනසක්
ඇතිකර ගෙන කටයුතු කරනු පෙනේ. ඇතැම් අය කිසිත් නොදැන පුද්ගලවාදි දෙසුම් කෙරෙහි
ඇලෙති. මිත්‍යාදෘෂ්ටික සංකල්ප කෙරෙහි එල්බ අඳුරෙන් අඳුරට යති. නිවන යනු අවබෝධ කළ
යුක්තක් මිස ප්‍රාර්ථනා කිරීමෙන් ලැබෙන දෙයක් නො වන බව ඔවුහු නොම දනිති.
මිථ්‍යාවෙන්
මිදෙන නිවැරැදි මාවත බුදුන්වහන්සේ පෙන්වා දී ඇත. ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව තුළ
පැනෙන මැදුම් පිළිවෙත හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ම නිවැරැදි පිළීවෙතයි. එහි පළමු
අංගය සම්මා දිට්ඨිය යි. මිථ්‍යාවෙන් මිදෙන නිවැරැදි වූත්, ඉතා වටිනාවූත් අංගය එයයි.
ඒ අනුව බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි යන්න අර්ථ දක්වා ඇත්තේ මෙසේ ය.
එනම්, දුක කෙරෙහි මේ දුකක් යැයි මනා කොට දැකීම හා දැනීම ය. (දුක්ඛෙ ඤාණං)
දෙවැන්න,දුක හට ගැනීම පිළිබඳ නුවණින් දැකීම හා දැනීම ය. (දුක්ඛ සමුදයේ ඤාණං)
එහි තෙවැන්න වනුයේ, දුක් නැති කිරීම පිළිබඳ නුවණින් දැකීම සහ දැනීම ය. (දුක්ඛ
නිරොධෙ ඤාණං)
ඉනික්බිති සිව්වැන්න, දුක නැති කිරීමේ මාර්ගය යි. (දුක්ඛ නිරෝධගාමිනි පටිපදාය ඤාණං)
එබැවින් මිථ්‍යාවෙන් තොර බව හෙවත් යහපත් දැකීම සම්මාදිට්ඨි (අයං සම්මාදිට්ඨි
වුච්චති) යනුවෙන් සරල ව හඳුනා ගත හැකි ය. ඒ අනුව අපට පෙනී යන්නේ බුදුදහමේ සම්මා
දිට්ඨි යනුවෙන් දක්වා ඇත්තේ, චතුරාර්ය සත්‍යය පිළිබඳ ඇතිවන මනා අවබෝධය යි. එබැවින්
අප නැති කළ යුත්තේ දුකය.
සක්කාය දිට්ඨි සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර ඇත්තේ රූප, වේදනා, සංඥා,
සංඛාර, විඤ්ඤාන යනුවෙන් හඳුන්වන පංචස්ඛන්ධය දුක් සහිත බව ය. ඇස, කන, නාසය, දිව,
ශරීරය යන මේ පස මම ය, මගේ ය, මගේ ආත්මය යැයි ගැනීම හා දැඩිව අල්ලා ගැනීම නිසා දුක්
ඇතිවන බව වදාළහ. ඉන් අදහස් කරන්නේ යමක් අනිත්‍යය ද එය දුක් සහිත බවයි. (යදනිච්චං තං
දුක්ඛං) දුක උපදවන මේ ශරීරය නැවත නැවත ඉපිදවීම නතර කළ යුතු බව ඉන් හැඟෙයි.
මිච්ඡාදිට්ඨි සූත්‍රයේ දී බුදුන් වහන්සේ පැහැදිලි කර ඇත්තේ පංචස්කන්ධය පිළිබඳ
ඇලීමෙන් කටයුතු කිරීම නිසා දුක් උපදනා බවයි. එබැවින් යමෙක් රූපය අනිත්‍ය ලෙස දැක
එහි කළ කිරෙයි. එය දුකක් බව දැන ගනී. එසේම සෙසු අංග කෙරෙහි එලෙස කලකිරෙයි. එසේ වු
කලකිරීම නිසා ඇලීමෙන් වළකියි. එසේ ඇලීමෙන් මිදුණු විට නුවණ පහළ වෙයි.
මින් පෙනී යන්නේ භවය හෙවත් නැවත නැවත ඉපදීම නතර කිරීම සඳහා වෑයම් කිරීම බුදුදහමේ
මූලික ඉගැන්වීමක් වන බවයි. ඒ අනුව මිථ්‍යාවෙන් මිදීමට නම් අප වහ වහා නිවැරැදි
බුදුදහම උගත යුතු ය. එය අනුගමනය කළ යුතු ය. එවිට අඳුරේ අතපත ගාමින් යන අවිචාරවත්
හැසිරීම් සමාජයෙන් තුරන් වනු ඇත.
අද බොහෝ අය පව් කිරීමට බිය නොවෙති. ඊට හේතුව පව්කම් කිරීමෙන් ඇතිවන (ආදීනව)
ප්‍රතිඵල නො දන්නාකම ය. ධර්මය නො දන්නාකමට හෝ පව් පින් විශ්වාස නොකරන බැවින් ඇතැම්
පුද්ගලයින් පවට ම ඇදෙති. ඔවුහු සමාජ සම්මුතිවලට, රටේ පවත්න නීතියටවත් හිස නොනැමෙති.
එබැවින් සිදුව ඇත්තේ සමාජය අවුලෙන් අවුලට පත්වීම ය. පව්කිරීමට ඇති බිය සහ ලජ්ජාව
බුදුදහමේ උගන්වන්නේ හිරිඔතප් කියා ය.
මේ කරුණු දෙක සදාචාරවත් සමාජයක් දැකිය යුතු උතුම් අංග දෙකක් ලෙස අප ක්‍රියාවට
නැංවිය යුතු ය. එසේ නො වන්නේ නම්, නිවන කෙසේ වෙතත්, සතර අපායේ දොරටු ඉබේ ඇරෙනු ඇත.
සමස්ත රටවැසියා තුළම ආකල්පමය වෙනසක් ඇති කර ගත යුතු ව ඇත. එම ආකල්පමය වෙනස කුඩා
දරුවාගේ සිට පුරුදු පුහුණු කළ යුතු වන්නේ ය. පාසල් අධ්‍යාපනය ඊට ප්‍රමාණවත් නොවේ.
ධර්ම සමාදානයෙන් තොරව ඒ දේ කළ නොහැකි ය. එහිදි උට්ඨාන වීර්යය, නො පසුබස්නා
අධිෂ්ඨානය පුද්ගල සන්තානය තුළ රෝපණය කළ යුතු ය. හිස් බව පිටුදැකිය යුතු ය. බොරුව,
වංචාව, රැවටීම, මුළාව, කපටිකම, කුඩා කල සිට ම අත්හළ යුතු ය. එකා මෙන්, එක් සිත් ව
තමන් අභියස ඇති අභියෝග ජයගනු පිණිස කටයුතු කළ යුතු ය.
බෙදුම්වාදි ආකල්ප තුරන් විය යුතු ය. පක්ෂ පාට කුලමල උස්මිටිකම් නොතැකිය යුතු ය.
අලසකම, කුසීතකම (කුසීතං හීන වීරියං) දුරු කළ යුතු ය. ධනාත්මක සිතිවිලිවලින් අප
පෝෂණය විය යුතු ය. වෙනත් රටවල පවත්නා යහපත් සංකල්ප, ආකල්ප ආදර්ශයට ගත යුතු ය. එසේ
නො වන්නේ නම්, අප ඉන්නා තැනින් පහළට තවත් වැටෙනු ඇත. එබැවින් මිථ්‍යාව තුළ අප
සිටිනා තුරු සංවර්ධන මාවත් විවර නොවන අතර, උත්තුංග ප්‍රතිඵල ද ලැබිය නොහැකි ය.
අද බොහෝ විට ධර්ම සමාදානයට වඩා අධර්ම සමාදානය වැඩිවී ඇති බව පෙනේ. පුද්ගලයින් දස
දෙනකු ගත්විට ඉන් කිහිප දෙනකු පමණ ධර්මානුධර්ම ප්‍රතිපත්ති ගරු කරනු පෙනේ. සමාජ
ස්ථරයේ පහළ මට්ටමේ සිටින බොහෝ දෙනා පංච දුශ්චරිතයන්ට හා දස අකුසලයට බරව කටයුතු කරනු
පෙනේ.
මෙහිදී ධර්ම සමාදානයේ සහ අධර්ම සමාදානයේ වැදගත්කම පෙන්වා දීමට අප සතුව ඇති වටිනා
ජාතක කතාවක් සිහියට නැඟේ. එනම් ධර්ම ජාතක කතාව යි. බෝසතාණන් වහන්සේ එක් භවයක ධර්ම
නමින් දිව්‍ය පුත්‍රයෙක් ව ඉපිද මිනිසුන් අතරට ගොස් ධර්මය පිළිපදින මෙන් දේශනා
කරති. පස්පව්, දස අකුසලින් දුරුවෙන්න, මව්පියන්ට සලකන්න ආදී වශයෙන් යහපත අයහපත කියා
දෙති. එසේ කිරීමෙන් දිව්‍ය ලෝකවල උපදින අයුරු කියා දෙති. ඒ අතර අධර්ම නමින්
හැඳින්වූ දෙව්දත් පුත්‍රයා සිය පිරිවර සහිත ව ගම්දොර ඇවිද යමින් පව්කම් කිරීමට
අනුබල දෙයි. ඔහුගේ පිරිස වැඩි වූ බැවින් බොහෝ දෙනා අධර්මය සමාදන් වෙති. ඒ අනුව
සමාජයේ වැඩි පිරිසක් අධර්මය සමාදන් වූ කල්හි අඥානයින් සිතනුයේ අයහපත ධර්මය කියා ය.
නමුත් අධර්මය ජය නො ගන්නා බව අප මෙහිදී කල්පනාවට ගත යුතු ය.
එබැවින් බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයනට දේශනා කොට ඇත්තේ, අධර්මයෙන් ධර්මයටත්,
අඳුරෙන් ආලෝකයටත්, අවිද්‍යාවෙන් විද්‍යාවටත්, අවිචාරයෙන් විචාරයටත්, දුරාචාරයෙන්
සදාචාරයටත් පමුණුවන දහමකි.
ධර්මය ශ්‍රවණය නොකිරීම, පොත්පත්වලින් ඈත්වීම, හොඳ කලණ මිතුරු ඇසුරක් නො ලැබීම,
ධාර්මික පවුල් පරිසරයක් නො තිබීම වැනි කරුණු කාරණා නිසා අද පුද්ගල ජීවිතවල
අඩුලුහුඬුකම්, පව්කාරකම් දක්නට ලැබේ. එබැවින් බොහෝ අපරාධවලට මුල අඥානකම යැයි හැඟේ.
මහණෙනි. ‘ලාභ ලබන පිළිවෙත එකකි. නිවන් දකින පිළිවෙත තවෙකකි.’ යනුවෙන් බුදුහු වදාළහ.
ඒ අනුව අද බොහෝ උදවිය මේ මාර්ග දෙක පටලවා ගෙන ඇත. මුදල් මතින් දියකර හරින ලද සමාජයේ
නිවන මුදලට විකිණෙයි. ධර්මය මුදලට විකිණෙයි. ලාභ සත්කාරවලට ගිජුව අසරණ මිනිසුන්
මුළාකරන අයුරු පෙනේ. පුද්ගල සන්තානයේ පවත්නා දුබලතා ප්‍රයෝජනයට ගන්නා කපටි මිනිසුන්
බොහෝ අය රවටා ආගමේ මුවාවෙන් මුදල් උපයති. වංචනික ධර්ම රජ කරති. නුවණින් ග්‍රහණය කළ
යුතු දහම අන්ධ භක්තියෙන් ගෙන ක්‍රියා කරනු පෙනේ. පසුව තමන්ට වරදින හැම විට ම එහි
වරද ආගම කෙරෙහි යොමු කර ඊට දොස් නඟති.
බුදුබණ තිබියදී විවිධ දේශනා පසුපස හඹායාම, දෙවියන් අභියස යැදීම අද බහුලව දක්නට
ලැබේ. එබැවින් අප මිථ්‍යාවෙන් මිදිය යුතු කාලය එළැඹ ඇත. ඒ අනුව බුදුසරණ පුවත්පත වසර
ගණනාවක් තිස්සේ අඛණ්ඩ ධර්ම මෙහෙවරක යෙදෙමින් බොහෝ ජනයා මිත්‍යා දෘෂ්ටියෙන් මුදවනු
පිණිස ගනු ලබන ප්‍රයත්නය අපගේ ප්‍රශංසාවට බඳුන් විය යුතු ය. |