නිවන් දකින මඟ
නිවැරැදි ව හඳුනාගන්න
ඌවේ සියම් මහා නිකායේ මහා ලේඛකාධිකාරි,
වැලිමඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති,
කැප්පෙටිපොල, පාලුගම,
ශී‍්‍ර සුභද්‍රාරාම මහා විහාරාධිපති,
ශාස්ත්‍රපති,
අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
බුදුවරු, අරහත්තු, බෝසත්තු පහළ වෙති. එහි අරුමයක් නැත. අධිසීල,අධිචිත්ත, අධිප්‍රඥා,
අධිසමාධි ලද පුද්ගලයා මෙතැනට පත් වෙයි. විටෙක විකෘති චිත්ත පදනම් කොට ගෙන තමා
බෝසතෙකැයි සිතන්නෝ හා කියන්නෝ වෙති. ඒ මානසික රෝගයකි. විටෙක කපටි තක්කඩි වෙති.
ඔවුහු ඉපයීම් මාර්ගයක් වශයෙන් මිනිසුන් රැවටීමට තමන් අවබෝධය ඇත්තෙකැයි කියති.
මේ බුදුවරු, අරහත්තු, බෝසත්වරු දෙදහස් පන්සිය වසරක් මුළුල්ලේ මේ සම්බුදු සසුන
සුරැකි සඟරුවනට ගරහති. සාසන ව්‍යාප්තියට හේතු වූ බෞද්ධ ඇදහිලි හා විශ්වාසයට ගරහති.
බෞද්ධයා අතර කණ්ඩායම් කඩති. මෙසේ කරද්දී ඔවුන්ගේ ගිණුම තර වෙති.
මේ බුදුවරුන්, මේ අරහතුන්, මේ බෝසතුන් කවරෙකුගේ හෝ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන
කොන්ත්‍රාත් කරුවෝ වෙති. කොන්ත්‍රාත්තුව බාර ගත් බාස් උන්නැහේලා හමු වුණත්
කොන්ත්‍රාත් කරු කවුරු ද යන්න තාම හසු වී නැත. කෙසේ නමුත් උම්මතකයින්, තක්කඩියන්
යැයි මේ සිද්ධි බැහැර කළ යුතු නැත. බුදු සසුන විනාශ කරනවෝ යැයි කළබල විය යුතු ද
නැත. බෝසත් වැටෙන්නේ හීනයානෙට ද, මහා යානෙට ද යැයි අනවශ්‍ය වාද විවාදවලට පැටලී
එකිනෙකාට මඩ ගසා ගත යුතු ද නැත. සබුද්ධික ව සිංහාවලෝකනයෙන් යුතුව සියල්ල මැනවින්
හඳුනාගෙන සම්බුද්ධ දේශනය හා සම්බුද්ධ සාසනය සුරැකීම වර්තමාන වර්තමාන ගිහි පැවිදි
උතුමන්ගේ වගකීම වෙයි. සම්බුද්ධ සාසනය සුරැකි කල දේශය, ජාතිය, සමය රැකෙයි. දේශනය
සුරැකි කල මෙලෝ පරලෝ දියුණුව සේ ම නිවනින් සැනසීම ද ලද හැකි ය. එසේ කරන විට බෝසත්
මඟ ඒ හැමට පෑදෙති.
සම්බුද්ධ දේශනයට, සම්බුද්ධ සාසනයට නායකත්වය ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේ දෙසූ
ශ්‍රී සද්ධර්මය හා උන්වහන්සේ පැන වූ විනයයි. නිඝණ්ඨනාථ පුත්තයන්ගේ අභාවයෙන් ඒ සසුන
කැඩී ගියේ ය. ඒ දැනගත් ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු සම්බුදු
සසුනටත් එසේ වේ යැයි සිතා බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් මෙහි නායකයා කවුරුන් දැයි
විමසීය. එවිට බුදුරජාණන් වහන්සේගේ අවවාදය වූයේ “ ආනන්ද, මා දෙසූ ධර්මය ඇත. පැනවූ
විනය ඇත. මගේ ඇවෑමෙන් දෙසූ ධර්මය හා පැනවූ විනය ඔබගේ ශාස්තෘවරයා වන්නේ ය. ” යන්නයි.
එය එසේ නම්, තව කෙනකුන්ට වැඳ වැටී පසු පස යන අනුගාමිකයකු විය යුතු නැත. මේ ධර්මය
මුල, මැද, අග කලණ ලෙස මැනවින් දේශනා කැර ඇත. සාන්දෘෂ්ටිකයි. කල් නොයවා විපාක දෙයි.
සැක බිය නැති ව මෙය පිළිපදින්න යැයි කිව හැකි ය. ප්‍රඥා ගෝචර ය. තමන් ම විමසා බලා
ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් පිළිපැදිය යුතු දහමකි. ලාභ ඉපයීමේ ක්‍රමය එකකි. නිවන්දැකීමේ
ක්‍රමය අනෙකකි. බෞද්ධයා මෙය හඳුනාගෙන යා යුතු නිවැරැදි මඟ යා යුතුයි. බොහෝ සේ
දාර්ශනික ව බුදු බණ කීව ද පමා වූ පුද්ගලයා ඒ බණ තම ජීවිතයට එක්කර නොගනී නම් ඔහු මේ
බුදු දහමෙන් නිවැරැදි ප්‍රයෝජන ලබන්නෙක් නොවෙයි. අනුන්ගේ ගවයන් බලා ගන්නා
ගොපල්ලාගෙයි ඔහුගෙයි වෙනසක් නැත. ගොපල්ලාට කිරි හෝ ගොම කිසිවක් නොලැබෙයි.
බුදු මඟ යන්නා බෝසත් නම් වෙයි. පෙර දින ලංකාධරණීතල රජ බවට පත්ව දැහැමි පාලනයට උර
දුන් අය බෝසත්වරුන් ලෙස සැලකීය. ලක් දිව රජ වන්නේ බෝසතුන් යැයි හැඟීම ආවේ එබැවිණි.
ධර්ම ධර, විනය ධර, සංඝ සෝබන ගුණයෙන් සෝභිත මහ යතිවරුනට බෝධිසත්ව ගුණෝපේත යැයි
සුවිශේෂි හැඳින්වීමක් කළේ ද ගුණය ඇගයීමටයි.
මෙකල බුදු වූ ගෞතම බුදු රජාණන් වහන්සේගේ පෙර ආත්ම බව බෝසත් ආත්මභව වෙයි. පන්සිය
පනස් ජාතක පොත මෙහිලා නිදසුනකි. මතු බුදු වන්නේත් බෝධිසත්වයකි. බුද්ධාංකුර බෝධිසත්ව
වෙයි. මතු බුදුවන මෛත්‍රි බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බෝසත් ලෙස දක්වයි. චතුරාර්ය
සත්‍ය අවබෝධ කර ගන්නට වෙහෙසෙන, සසරින් මිදෙනු වස් වෙහෙසෙන ඕනෑම කෙනෙක් බෝසත් ලෙස
නම් කළ හැකිය. බෝසත් සංකල්පය විවිධාකාරයෙන් අර්ථ විවරණයට ලක් වූවකි. ඒ පිළිබඳ
වියත්තු මෙසේ කියති.
“චතුර්විධ මාර්ග ඥානය ද, සර්වඥතා ඥානය ද බෝධි නම් වෙයි. එහි ඇළුණු බැවින් ද,
බෝධිසත්ව නම් ලෙස ජාතක අටුවා ගැටපදයේ සඳහන් වේ” (ජාතක අටුවා ගැටපදය, 1965, පිටු. 18
). එහි බෝධි ශබ්දයෙන් මාර්ග ඥානය සහ සර්වඥතා ඥානය ගැනෙන බවත්, සත්ත්ව ශබ්දයෙන්
සත්ත, සත්භාව සහ සත්ත්ව යන අර්ථය අන්තර්ගත වේ (සාසනරතන, 1952, පිටු.211). බුද්ධඝෝෂ
හිමියන් ප‍්‍රපංචසූදනියේ, බෝධිසත්ව යන්නෙන් දීපංකර පාද මූලයේ සිට බුද්ධත්වය පතාගෙන
ඒ ඒ ජාතීන්හි උපන් බෝධි සඳහා ඇළුණු තැනැත්තා යන අදහස දක්වන බවට කඹුරුපිටියේ වනරතන
හිමියෝ පවසති (නව සංස්කෘති, 1986 පිටු.1).
සම්මා සම්බුද්ධත්වය සඳහා බෝධිචිත්තය ඇත්තා වූ ද, සම්මා සම්බුද්ධත්වයට පත් වන බවට
වෙනත් සම්බුදුවරයකුගේ නියත විවරණ ලද්දා වූ ද, පාරමිතා පුරන්නා වූ ද, බෝධිසත්ව
භූමිවලට පිළිපන්නා වූ ද, තැනැත්තා බුද්ධත්වය සඳහා කැප වූවෙක් බවයි. එ තුමා බෝධිසත්ව
යනුවෙන් හඳුන්වනු ලබන බව Alice Getty ගේ
The Gods of Northern Buddhism කෘතියෙහි
බෝධිසත්ව පිළිබඳ කළ නිර්වචනය මහාචාර්ය චන්දා වික‍්‍රමගේ උපුටා දක්වයි
(වික‍්‍රමගේ, 2006, පිටු. 58). මෙම නිර්වචනය සඳහා හේතු වී ඇත්තේ ථෙරවාදී ඉගැන්වීම්
බව කිව හැකි ය.
පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බෝධිපත්තස්ස සතො, යනුවෙන් භයභෙරව සුත‍්‍රයේ දී
බුදුන් වහන්සේ ම බුද්ධත්වය ලැබීමට පෙර මෙ වැනි
අදහසක් පහළ වී යැයි, දක්වන බව කඹුරුපිටියේ වනරතන හිමියෝ පවසති (නව සංස්කෘති, 1986,
පිටු.1).
ආරියපරියෙසන සූත‍්‍රයේත් තමන් බුදුවීමට පෙර බෝධිසත්වයකු වූ බව බුදු හිමි සඳහන් කරන
බවත් බුද්ධ වංශය, ජාතක පාලිය, අංගුත්තරනිකායට්ඨ කථාව, ජාතකට්ඨකථාව,
සුන්තනිපාතට්ඨකතාව හා මිලින්ද පඤ්ඤය බෝධිසත්ව යන වචනය යෙදී ඇති බව
කතාවත්ථුප්පකරණයෙහි, ගෞතම බුද්ධාංකුරයන් බෝධිසත්ව යනුවෙන් හඳුන්වා තිබේ (සම්භාෂා,
1992, පිටු. 96). ඉහත සියලු කරුණු දෙස බැලිමේ දී අවබෝධ වන්නේ ථෙරවාදයට අනුව බෝධි
යන්නෙන් බුද්ධත්වය ද ඒ බෝධි නම් වූ බුද්ධත්වයෙහි ඇළුණු තැනැත්තා බෝධිසත්ව යන්නෙන් ද
අදහස් වන බව කිව හැකි ය.
මහායාන බුදුදහම අනුව සෑම මහායානිකයෙක් ම බෝධිසත්වයෙකි. (ධම්මතිලක, 2008, පිටු.40).
සමහර සත්වයෝ පරම අනුත්තර සම්‍යග් සම්බුද්ධ සර්වඥතාඥානය ලබා ගනු කැමැත්තෝ තථාගතයන්
වහන්සේගේ ධර්මය අනුගමනය කොට සියලු සත්වයන්ගේ හිතසුව පිණිස ලෝකයා කෙරෙහි
අනුකම්පාවෙන්, දෙවිමිනිසුන් සහිත සකල ලෝක සත්වයාගේ විමුක්තිය පිණිස නිවන් ලැබීමට
කැමති වූවාහු, තථාගතයන් වහන්සේ අපරිමිත බලයෙන් යුක්ත වූ මහා ඥානය සොයමින්
ති‍්‍රවිධ ලෝකයෙන් එතෙර වන්නාහු ය. මොවුහු බෝධිසත්වයෝ ද, මහාසත්වයෝ ද වන්නාහු ය”.
යනුවෙන් මහායානිකයන්ගේ මූල සූත‍්‍රයක් වන සද්ධර්මපුණ්ඩරීකයෙහි බෝධිසත්ව යන්න
නිර්වචනය කරන අයුරු සිරිසේන විතානගේ පෙන්වා දෙයි (එම, පිටු. 96). මෙයින් පැහැදිලි
වන්නේ හීනයානයේ දී බුදුබව ලැබීමට පෙර බුදුන් වහන්සේගේ ආත්ම භවයන් බෝධිසත්ව සේ
හැඳීන්වුව ද, මහායානිකයන් බුදුබව පතන සියල්ලන් මෙනමින් හැඳීන් වූ බවයි. මහායාන
බෝධිසත්වවරු සම්භෝගකාය ලෙස සුඛාවතියෙහි වෙසෙති. ධ්‍යානි බුදුවරුන්ගේ පුත‍්‍රයන්
වශයෙන් ඔවුහු සැලකෙති. ඒ අනුව, වෛරෝචන, රත්නසම්භව, අමිතාභ හා අමෝඝසිද්ධි ධ්‍යානි
බුදුවරුන්ට පිළිවෙළින් සමන්තභද්‍ර, වජ‍්‍රපාණි, රත්නපාණී, පද්මපාරණි, අවලෝකිතේශ්වර
හා විශ්වහරති යන බෝධිසත්ව පුත‍්‍රයෝ වෙති. මොවුන් අතුරින් වඩා වැදගත් වන්නේ
අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ය.
පන්සිය පනස් ජාතක පොතට අනුව බෝසත් වන්නේ මනුෂ්‍යයෙක් ම නොවේ. දේව, යක්ෂ යෝනිවල
බෝසත්වරු ඉපදුනහ. සත්ත්ව යෝනිවල ඉපදුනහ. ඡද්දන්ත ජාතකයෙහි ඇතා බෝසතුන් ය. ගුණ
ජාතකයෙහි සිංහයා බෝසතුන් ය. නන්දිවිසාල ජාතකයේ ගවයා බෝසතුන් ය. සෝන ජාතකයෙහි සුනඛයා
බෝසතුන් ය. මේ අයුරින් විවිධ සත්ත්ව යෝනිවල බෝසත් චරිත දක්නට ලැබෙයි. මනුෂ්‍යයෙක්
වුවත් රජ, මැති, ඇමති, දුගී,සොරනායක, ආදි ලෙස විවිධ චරිත තුළ බෝසත් චරිත ඇත. බෝසත්
යනු සත්‍ය අවබෝධ කරගත් දේශනාවට සුදුසු ධර්මාවබෝධය ලද්දෙකු නොවේ. ඔහු තුළ සුවිශේෂි
ගුණයක් පවති. දාන, ශීල, නෙක්කම්ම, පඤ්ඤා, වීර්ය, ඉවසීම, සත්‍යවාදිබව, අධිෂ්ඨානය,
මෛත්‍රිය යන සුවිශේෂි ගුණයන්ගෙන් එකක් ඔහු තුළ වෙයි. සමස්ත ගුණ නොපවතියි.
ගුණ ජාතකයෙහි දී තමා මඩ වගුරෙහි එරුණ විට එයින් බේරාගත් සිවලාට ඔහු කෘතවේදි ගුණයෙන්
සලකයි. එනමුත් සිංහ යෝනියෙහි උපන් බැවින් ඌ සතුන් දඩයම් කරයි. මේ අනුව ගත් විට ඉහත
කී පාරමි ගුණ එක් අවස්ථාවක දී සුවිශේෂීව අනුගමනය කිරීම බෝසත් ගුණයයි.
බෝසත් ගුණ පවතී නම් එය සමාජ ප්‍රගමනයට හා සාරධර්ම වර්ධනයට හේතු වෙයි. සමාජ තුළ
පවතින යුද්ධය වැනි අනර්ථකාරි, විනාශකාරි ක්‍රියාදාමයන්ට තිත තබන්නට බෝසත් චරිත
වැදගත් වන අයුරු උම්මග්ග ජාතකයෙහි මහෞෂධ බෝසත් චරිතය තුළින් කියැවෙයි.
රටවල් අනූනවයක සේනාව මැඩ පවත්වා එක් ලේ බිඳුවකුදු නොසොල්වා තම කුඩා රාජ්‍යය ප්‍රඥා
බල මහිමය තුළින් ආරක්ෂා කර ගත් අයුරු එහි දක්වයි. අවනීතිය යටපත් කොට නීති ගරුක
සමාජයක් ඇති කර ගන්නා අයුරු සෝන ජාතකය තුළින් කියාපායි. රජෙකු රට පාලනය කළ යුතු
අයුරු ගණ්ඩතීන්දු ජාතකයෙන් කියයි. මේ අයුරින් නීති ගරුකභාවය, සමාජ සාධාරණත්වය,
සාරධර්මයන්ගෙන් සුපෝෂිත සමාජයක් ගොඩනැඟීම බෝසත් චරිත තුළින් නිරූපනය කරයි.
සමාජ සදාචාරය වැනසීම, සමාජය බිදුවීම, එකිනෙකාට අවලාද නැගීම, තර්ජනය කිරීම, තමා
සියල්ල දත්තෙකැයි ප්‍රකාශ කරමින් ධර්මය අධර්මය කොට, අධර්මය ධර්මය කොට, විනය අවිනය
කොට අවිනය විනය කොට දේශන පැවැත්වීම බෝසත් ගුණ නොවෙයි.
ඛුද්දක නිකායෙහි පඨම, දුතිය, තතිය වශයෙන් දේශනා කරන බෝධි සූත්‍රයන්හි දි හේතුඵල දහම
හෙවත් පටිච්ඡසමුප්පාදය පිළිබද දැනීම බෝධි සත්ත ගුණයයි. සතර සතිපට්ඨානය පිළිබද මනා
සිහිය,(සති) විමසීමෙන් ධර්මය දැකීම (ධම්මවිඡය) කුසල් කිරීමට වෙහෙසීම ( විරිය)
නිරාමිස ප්‍රීතිය (ප්‍රීති) සැහැල්ලු බව (පස්සද්දි) සිතෙහි වූ එකඟ බව (සමාධි)
සියල්ල මැදහත්ව දැකීම (උපෙක්ඛා ) ආදි වූ බෝධි අංග ධර්ම යමෙක් අනුගමනය කරයි නම් ඔහු
බෝසත්වරයෙකි.
මග හොඳට තිබේ නම්
දෑස ද පෙනේ නම්
කිම බැදිවල යන්නේ
මං මුළා වූවන් සේ |