බුදුදහම
ළමා පරපුරට
මානව සංස්කෘතියේ විවිධ අවස්ථාවන් ගැන සලකා බලන විට මිනිසාට සුඛිත මුදිත නිවැරැදි
ජීවිතයක් ගත කිරීමට හැකි වී ඇත්තේ ශාස්තෘවරයකුගේ අනුශාසනාවන් අනුව ජීවිතය හැඩගස්වා
ගැනීමෙන් පමණක් බව විද්වත් සම්මත සිද්ධාන්තයක් බවට පත්වී ඇත්තේ ය.
හුදු ජීවන ප්‍රශ්න විසඳා ගැනීම පමණක් පරමාර්ථය වන තැන තිරිසනාත්, මිනිසාත් අතර
වෙනසක් නැති වන බව පැහැදිලි ය. ආහාර, නිද්‍රා, භය, මෛථූන යන මේවා සෑම සත්ත්වයකුට ම
සාධාරණ බැවිනි.
“ජීවත් වන්නේ කෑමට නොව, කෑම ජීවත් වීමට ය.”
යන ආත්තෝපදේශය ගුරුකොට ගත් මනුෂ්‍යයෝ දිවිපැවැත්මට වඩා වැඩි වූ මිනිස් පරමාර්ථයක්
ඇති බව පිළිගනිති. ඒවා ‘මනුෂ්‍ය ධර්ම” යන නමින් හඳුන්වනු ලබයි. ඒවා ආරක්ෂා කර
ගැනීමෙන් ම මිනිස්කම රැකෙන අතර, ඒ සඳහා අනුශාසනා කරන්නේ ශාස්තෘවරයෝ ය. අපේ
ශාස්තෘවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වන හෙයින් උන්වහන්සේ දෙසූ දහම් අනුව මිනිසා
ගැවසෙන අයුරු සලකා බැලිය යුතු ය.
මිනිසා, මිනිසකු වශයෙන් වැඩෙන විට මුල මැද අග (ළමා කාලය, තරුණ කාලය, මහලු කාලය)
යනුවෙන් බෙදන කල මුල් කාලයේ ඇතිවන හැදියාව මුළු ජීවිතයට ම බලපවත්වන බව ප්‍රකට ය.
මෙම ස්වභාවය තිරිසන් සතුන්ට ද සාධාරණ වන අතර, ගස්වැල්වලට පවා බලපාන බව සැලකිය යුතු
වේ. එහෙයින් බුදුදහම මැනවින් හඳුන්වා දීමේ මුල්ම අවස්ථාව ළමා කාලය බව පැහැදිලි ය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ විෂය නිර්දේශවලට අනුව ආගම ධර්මය ඉගැන්වීම ද ඇතුළත් ව ඇතත් එය
ක්‍රියාත්මක කිරිම ගණිතය, භූගෝලය ආදී විෂයයන් සඳහා පවත්වන ක්‍රමය වැනි වූ එකක්
නොවිය යුතුය. පාසලේ දී ගණිතය ඉගෙනීමේ දී නිවැරැදිව ගණන් හදන ආකාරය පිළිබඳ දැනීම
පමණක් ලබයි. එය ක්‍රියාත්මක වන්නේ ඊට අදාළ රැකියාවක යෙදෙන විට ය.
ආගම ධර්මය හා භාෂාව එසේ නොවේ. දිනපතා කතා ව්‍යවහාරයේ දී භාෂාවක් හැසිරවීමේ දී ආගම
ධර්මයත් ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක වේ. එම නිසා ඒවා නිවැරැදි ව සිදු වීමට නම්
මැනවින් ඒවා හදාළ යුතු ය. ආගම විෂයය ඉගැන්වීමේ දී වෙනත් විෂයයන් මෙන් හුදෙක් දැනීම්
මාත්‍රයෙන් පුහුණුව ලබා දීමට උගන්වන ලැබුවහොත් එයින් ආගම ඉගැන්වීමේ පරමාර්ථය සමෘද්ධ
වූවා නොවන්නේ ය. විශේෂයෙන් බෞද්ධ ශිෂ්‍යයාට බුදුදහම හඳුන්වා දීමේ දී එය හුදෙක්
දැනීම සඳහා පමණක් නොව අනුගමනය කිරීම සඳහා ද පුහුණු විය යුක්තක් බව ඒත්තු ගැන්විය
යුතු ය.
ජීවන ප්‍රශ්න විසඳා ගැනීමේ ඒකායන මාර්ගය තාක්ෂණ ඥානය ලබා ගැනීම හා දියුණු කර ගැනීම
බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. බුදුරජාණන් වහන්සේ ද මංගල සූත්‍ර දේශනාවේ දී “ශිල්ප
ශාස්ත්‍ර දැනීම” (බාහුසච්චං ච සිප්පංච) දියුණුවට කාරණාවක් බව වදාරා ඇත. එහෙත්
ශිෂ්‍යයාට ආගම ධර්මය හඳුන්වා දීමේ දී එය ඔහුට දෙඅංශයකින් බලපාන බව වටහා දිය යුතු
වන්නේ ය. එනම්, එක අංශයක් පිළිපැදීමටත් අනෙක් අංශය දැනීමටත් උපයෝගී කර ගත යුතු බව
ය. නිදසුනක් වශයෙන් කියතොත් දරුවකු වශයෙන් ශිෂ්‍යයකු වශයෙන්, ළමයකු වශයෙන්, ගිහියකු
වශයෙන් තමා විසින් බුදුදහම අනුව අනුගමනය කළ යුතු පිළිපැදිය යුතු මොනවාදැයි පැහැදිලි
කරදීම හා පුහුණු කරවීම කළ යුතු ය.
ගිහියකු වශයෙන් ඔහු පන්සිල් රැකිය යුතු ය ආදී වශයෙනි. එහෙත් ඔහු පියකු, ගුරුවරයකු
හෝ පැවිදි උතුමකු වශයෙන් පිළිපැදිය යුතු දේ පුහුණු කිරීම ශිෂ්‍ය අවස්ථාවේ අවශ්‍ය
නැත. ඒවා දැනගැනීමේ මාත්‍රයෙන් හදාළ යුතු ය. ඉගැන්විය යුතු ය. ක්‍රියාත්මක කිරීම
අදාළ නැත. විකාල භෝජනය හා නැටුම් බැලීම් ආදිය අටසිල් හෝ දසසිල් සමාදන් වූ
ගිහියන්ටත්, පැවිදි පක්ෂයටත් මිස අන් අයට නුසුදුසු නොවන්නාක් මෙනි.
පරිසරය හා වැඩිහිටියන් ළමා පරපුරේ හැදියාවට අතිශයින් ම බලපාන හේතු බව බුදුදහමේ
මෙන්ම සමාජ දහමේ ද පිළිගත් සිද්ධාන්තයකි.
“අවවාදයට වඩා ආදර්ශය උතුම්ය”
යන ආත්තෝපදේශයත්, ‘ලෝකෝපකාරය” නමැති ප්‍රසිද්ධ ග්‍රන්ථයේ “පරහට ඔවා දෙනු තමා
සම්මතයෙහි පිහිටා සිට”
ආදී පද්‍යයත් ධම්මපදයේ අත්තානමෙව පඨමං පතිරූපේ නිවේසයේ අථඤ්ඤමනුසාසෙය්‍ය” ආදියත්
මෙයට සාධක ය. භාෂා ශාස්ත්‍ර පිළිබඳ මෙන්ම හැදියාව (සංස්කෘතිය) පිළිබඳ ළමා පරපුර
සම්බන්ධ වගකීම අන් හැමට ම වඩා ගුරුවරයාට වැඩි ය. ලෝකය හා ධර්මය පිළිබඳ නීතියට වඩා
වැඩිහිටියන්ගේ ආදර්ශය ළමා පරපුරට බලපාන්නේ “අනුකරණය” ඔවුන්ගේ ස්වභාවය වන හෙයිනි.
මෙම තත්ත්වය තිරිසන් සතුන්ට ද පවතී.
ලෝකයේ කිසිවකුට ආගම් දෙකක් ඇදහිය නොහැකි ය. එහෙත් ආගම් දෙකක් හෝ කිහිපයක් ඉගෙන
හඳුනාගත හැකිය. ඇදහීම එකකි. දැනීම අනෙකකි. තමා අදහන ආගම හැර අනෙක් ආගම්
‘මිථ්‍යාදෘෂ්ටි’ වශයෙන් හැඳින්වීම ලෝකයේ සිරිතය. දෘෂ්ටි වශයෙන් එසේ ව්‍යවහාර කර
ගත්තත් සත්‍ය වශයෙන් සලකන විට සත්‍යයට අනුකූල නොවන සියල්ල මිථ්‍යා වශයෙන් සැලකිය
යුතු ය. එහෙත් සත්‍යාසත්‍ය බේරාගෙන ආගම් ඇදහීම හැම දෙනාට ම කළ නොහැකි ය. එහෙයින්
තමාගේ ආවේණික ආගම් ඇදහීම බොහෝ සෙයින් ලොව සිරිතයි.
බෞද්ධයා බුදුදහම අදහන්නේ සරණාගත වීමෙනි. සරණයාම හා සරණ බිඳීම සිදු වන හැටි බෞද්ධයන්
අතර ප්‍රසිද්ධ ය. තෙරුවන් සරණ ගිය බෞද්ධ ළමයාට බුදුදහම හඳුන්වා දෙන්නේ කෙබඳු
ආකාරයකට දැයි සලකා බැලිය යුතු ය. බුදුදහම හඳුන්වා දෙන කේන්ද්‍රස්ථානය “පන්සල” වූ
අතර ගුරුවරයා බොහෝ සෙයින් භික්ෂුවක් වීම ඉපැරැණි සම්ප්‍රදායයි.
නූතන සමාජයෙහි පන්සල හා පාසල් පමණක් නොව පුවත්පත, ගුවන්විදුලිය යන ජනසන්නිවේදන
මාධ්‍යයන් ද ඒ සඳහා උපයෝගී කර ගනියි. මාධ්‍ය කුමක් වුවත්, ‘ආකාරය’ ගැන සැලකිලිමත්
වීම මෙහිලා වැදගත්ම කාරණයයි. බුද්ධානුශාසනය වශයෙන් චිරපරිභාවිත “සබ්බ පාපස්ස අකරණං”
ආදී ප්‍රසිද්ධ ගාථාව මුළු බුදුදහම ඇතුළත් ‘අංග සූත්‍රය වශයෙන් සැලකිය හැකි ය. ශීල,
සමාධි, ප්‍රඥා යන ශික්‍ෂාත්‍රය ම එහි ඇතුළත් වේ. ඇතැමුන් මෙය මන්ත්‍රයක් මෙන් බාහිර
වශයෙන් ප්‍රයෝජන ගත්තත්, පිළිපැදීම් වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් ජීවිතයට එය පුහුණු
නොකිරීම ඇදහීමේ ඌනතාවකි.
විශේෂයෙන් ළමා පරපුරට බුදුදහම හඳුන්වා දීමේ දී මීට දශක ගණනකට පෙර බෞද්ධ ගිහි පැවිදි
ආදී විද්වතුන් විසින් ඇති කරන ලද සම්ප්‍රදාය අදටත් ඉතා ගැළපෙන බව කිව යුතු ය. එදාට
වඩා අද විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් දියුණු වුව ද ඒ සියල්ල යොමු වී ඇත්තේ ආරක්ෂිත
දියුණුවත්, ඉන්ද්‍රිය සංග්‍රහයත්, සුවපහසු විහරණයත් සඳහා ය. ආධ්‍යාත්මික ශාන්තිය
අත්පත් කර ගැනීමට ඒවා උපයෝගී වෙතැයි කිව නොහැකි ය. දුක් අඩු කර ගැනීමට හා දුකින්
මිදීමට “පටිසෝතගාමී” ක්‍රමයක් උපයෝගී කර ගත යුතු ය. බුද්ධ චරිතයත්, බුදු දහමත්,
බෞද්ධ චාරිත්‍ර වාරිත්‍රත් ළමා පරපුරට හඳුන්වා දීමට එදා ඇති කර තිබෙන 'දහම් පාසල්
ක්‍රමය' හා එහි නිර්දේශයන් ලෙස එදා සකස් කර පළ වූ එසේම භාවිත වූ පොතපත මේ උතුම්
පරමාර්ථය කරා යෑමට අත්වැලක් වූයේ ය.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරුණි.
- හේමමාලා රන්දුනු |