සද්ධර්ම ශ්‍රවණයෙන්
අමා නිවන් දුටු ශ්‍රාවකයෝ
බෝධි සත්වයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් සමතිංශත් පාරමී දම්
සපුරා තව්තිසා දෙව්ලොවින් කපිල වස්තුපුර සුද්ධෝදන රජුට හා මහාමායා දේවියට දාව
සිද්ධාර්ථ නමින් උපත ලැබූහ.
වයස අවුරුදු විසි නවයේ දී අභිනිෂ්ක්‍රමණය කොට වසර හයක දුෂ්කර ක්‍රියාවෙන් පසු වෙසක්
පුර පසළොස්වක පොහෝ දින බුද්ධත්වයට පත් වූ සේක. එතැන් පටන් ලෝක සත්වයා කෙරේ
අනුකම්පාවෙන් තමා විසින්ම අවබෝධ කොට ගත් ධර්මය දේශනා කළහ. එම ධර්මය බොහෝ දෙනාට
නිර්වාණ ශාන්තිය පිණිස ම හේතු වු බව නොයෙක් කතා වස්තූන් හා බුද්ධ චරිතයේ සිද්ධි
ඇසුරින් පැහැදිලි කළ හැකි ය.
නිවනට ම හේතුවු මේ ධර්මය පිළිබඳ තවදුරටත් විමසා බලමු.
අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් ම අවබෝධ කර
ගෙන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසම සසරින් එතෙර කිරීමට කළ
දේශනා ලෙස තවත් ආකාරයකින් විග්‍රහ කළ හැකි ය. බුදුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වදාළ මේ
දහම නුවණැත්තන් විසින් ශ්‍රවණය කොට අමා මහ නිවන පසක් කරගත් පිරිස මෙතෙකැයි ගණනය කළ
නොහැක.
ස්වාක්ඛාත වූ, අකාලික වූ සන්දිට්ඨික වූ, ඒහිපස්සික වූ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී
නම් මේ දහම් මඟ ගත් රහතන් වහන්සේගෙන් බුද්ධ ශාසනය පිරී ඉතිරී යාමට ගත වූයේ ඉතා කෙටි
කාලයකි. එයින් පැහැදිලි වන්නේ ධර්මය කොතරම් නිර්වාණාවබෝධය සඳහා උචිත ද යන්නයි.
සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අරහත් මාර්ගඵල ලබා ගැනීමට මේ ධර්මය ම පිහිට කොට ගෙන
වාසය කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කොට ඇත.
දීපංකර බුද්ධ ශාසනයේ කතා වස්තුවකින් ද ධර්මය ශ්‍රවණය කිරීමෙන් නිවන් සුව අත්කර ගත
හැකි බව පැහැදිලි කළ හැකි ය. අප බෝධිසත්වයන් වහන්සේ සුමේධ තාපස ව ඉපිද, දීපංකර
බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගත් බව අපි කවුරුත් දනිමු. ඒ අවස්ථාවේ දීපංකර
මුනීන්ද්‍රයාණෝ භික්ෂූ පිරිස අමතා මේ සුමේධ තාපසතුමා බණ පද දෙකක් ඇසීමෙන් නිවන්
දැකීමට හැකි උත්තම පුරුෂයෙක් බව පවසා ඇත. එයින් අපට පෙනෙන්නේ ධර්මය ශ්‍රවණය කිරීම
නිවනට හේතු වන බවයි.
සිදුහත් තවුසාණෝ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දි සම්මා සම්බුද්ධත්වයට පත්ව තමා අවබෝධ
කරගත් ධර්මය පළමුව දේශනා කරන්නේ කවුරුන් හට දැයි විමසා බැලු සේක. එහිදී තම
ගුරුවරුන් වන ආලාරකාලාම හා උද්දකරාමපුත්ත යන තවුසන් ගැන ස්මරණය කළත් ඒ වන විට ඔවුන්
ජීවිතයෙන් සමුගෙන සිටි බැවින් තමාට උපස්ථාන කළ පස්වග තවුසන් ගැන සිතා බරණැස ඉසිපතන
මිගදායට වැඩි සේක. මංගල දහම් දෙසුම වන දම්සක් පැවතුම් සූත්‍රය ඔවුන්ට දේශනා කළහ. එම
ධර්මය ශ්‍රවණය කළ කොණ්ඩඤ්ඤ තවුසා මාර්ගඵල ලැබුවේ ය. දෙවනුව දේශනා කළ අනන්ත ලක්ඛණ
සූත්‍ර දේශනාවට සවන් දී වප්ප, භද්දිය, මහානාම,අස්සජී යන තවුසන් ද මාර්ගඵල ලබා ගත්හ.
රහත්භාවයට පත්වූහ. එසේනම් බුද්ධ ශාසනයේ ප්‍රථම භික්ෂූ පිරිසට නිවන් දැකීමට උපකාර
වූයේත් ධර්මය ශ්‍රවණය කිරීමයි.
දෙවන ධර්මදූත පිරිස වන භද්දවග්ගිය කුමාරවරුන් ද නිවනට පත්වූයේ “අනුන් ගැන සෙවීමට
වඩා තමන් ගැන සෙවීම උතුම්” යන බුදු බණ පදය අනුව ධර්මය ශ්‍රවණය කිරීමෙනි. තවද
උරුවෙල් කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප යන ජටිල සහෝදරයෝ නිවන් දකින්නේත්
බුදුරජාණන් වහන්සේ දේශනා කළ “ආදිත්ත පරියාය සූත්‍රයට සවන් දීමෙනි. යසකුල පුත්‍රයා,
යහළුවන් පනස් හතර දෙනා, කාළුදායි ඇමැති ආදි බුද්ධ ශාසනයේ පැවිදි වු බොහෝ දෙනා ධර්මය
ශ්‍රවණය කිරීමෙන් නිවන් දුටුවෝ ය.
“සබ්බ දානං ධම්ම දානං ජිනාති
සබ්බ රසං ධම්ම රසං ජිනාති
සබ්බ රතිං ධම්ම රතිං ජිනාති
තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ද ධර්මයේ
උතුම් බවයි. එසේ නම් ඒ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමෙන් නිවන් දැකීමේ හැකියාව ලැබෙන බව
බොහෝ අවස්ථාවල සිවුවනක් පිරිසට වදාළ සේක.
ධර්මය ශ්‍රවණය කර නිවන් දුටු බොහෝ පිරිස් ගැන කියවෙන කතා වස්තු ඕනෑතරම් බුද්ධ චරිතය
ආශ්‍රයෙන් පැහැදිලි කළ හැකි ය. රජ්ජුමාලා නම් දාසිය ගෙල වැලලා මිය යන්නට සැරසෙද්දී
එම ස්ථානයට වැඩමවා ධර්මය කියාදි මරණයෙන් ද බේරා නිවන් මඟට අවස්ථාව සලසා දුන් අයුරු
රජ්ජුමාලා කතා වස්තුවෙන් මනාව පැහැදිලි වේ.
බුදු සසුනේ ගිහි ගෙදරදී ම රහත් භාවයට පත් වූ සුද්ධෝදන රජතුමාට එම තත්ත්වයට පත්විය
හැකි වූයේ බුදුන් වහන්සේගේ ධර්ම දේශනාවට සවන්දීම නිසා බව සඳහන් වේ. බුදු වී පළමු
අවුරුද්දේ ම කිඹුල්වතට වැඩි අවස්ථාවේ පිය රජුගේ මාළිගයට වැඩමවා රජු ඇතුළු පිරිසට
මහා ධර්මපාල ජාතකයත්, යශෝධරා දේවිය ඇතුළු පිරිසට සඳකිඳුරු ජාතකයත් දේශනා කළහ. ඒ
ධර්මය හා අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවට සවන් දීමෙන් පිය රජු මාලිගයේ දි ම
රහත්භාවයට පත්වී දින හතකින් පිරිනිවන් පෑ බව කවුරුත් දන්නා බුද්ධ චරිතයේ ඇතුළත්
සිද්ධියකි.
බුදුන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩමවා මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනා කළ
අවස්ථාවේ බොහෝ දෙව් පිරිස් නිවන් දුටු බව කියැවේ.
තුන්මසකට පසු තව්තිසා දෙව්ලොවින් සංකස්ස පුරයට බැස එහිදි එකතු වී සිටි ලක්ෂ ගණන්
දෙවි මිනිසුන් හට ද ධර්මය දේශනා කළ සේක. ඒ අවස්ථාව් බොහෝ පිරිසක් ධර්මය ශ්‍රවණය කර
නිවන් දුටු බවත් එම ස්ථානය ‘ලෝක විවරණ’ හෙවත් ‘අවිජහිත’ ස්ථානයක් වන බවත් දේශනා කළ
සේක.
මෙහිදී සියලු බුදුවරු ධර්මය දේශනා කොට බොහෝ දෙනාට නිවන් සුව අත්කර දුන් බව
බුදුපියාණෝ වදාළ සේක.
කොසොල් රජුගේ සන්තති අමාත්‍යවරයාගේ කතාවෙන් ද පැහැදිලි වන්නේ ධර්මය ශ්‍රවණයෙන්
නිවන් දැකිය හැකි බවයි. කොසොල් රජුගේ සන්තති අමාත්‍යවරයා රජුගේ ප්‍රශ්නයකට පිළිතුරු
දි සතියකට රජකම ලබා ගෙන විනෝදයෙන් කල් ගත කළ අතර, අවසන් දින තමා කැමැත්තෙන් සිටි
අන්තඞපුර ස්ත්‍රිය තමා ඉදිරියේ මැරී වැටෙනු දැක ඉතාම කනස්සල්ලෙන් බුදුපියාණන් හමුවට
ගියේය. බුදුපියාණන් දෙසූ ධර්මය ශ්‍රවණය කොට රාජාභරණ සහිතව ම රහත්භාවයට පත්වී
පිරිනිවන් පෑ බව සඳහන් වේ.
රෝගීව සිටි භික්ෂුවක් වූ පූතිගත්තතිස්ස තෙරුන්ගේ සිවුරු සෝදා වේළා පිරිසිදු කර
උන්වහන්සේ ද උණු වතුරින් නහවා පිරිසිදු කර සිවුරු පොරවා අවසානයේ ශරීරයේ අනිත්‍ය බව
පැහැදිලි කරමින් දෙසු ධර්මය අසා මේ තෙරණුවෝ රහත් බව ලබා පිරිනිවන් පෑ සිද්ධියක්
බුද්ධ චරිතයේ කියැවේ.
තවද ගිරිමානන්ද නම් රෝගී භික්ෂූන් වහන්සේ ද ආනන්ද තෙරණුවන් ලවා දේශනා කරවන ලද
ගිරිමානන්ද සූත්‍රය ශ්‍රවණය කර නිවන සාක්ෂාත් කරගත් බව සඳහන් ය.
ඉතා කුඩා සාමණේරයන් වහන්සේ නමක් වූ සංකිච්ච තෙරුන් භික්ෂූන් පන්සියයක් සමඟ වනයට
වැඩි අවස්ථාවේ සොරු කණ්ඩායමක් පැමිණ භික්ෂුවක් බිලි දෙන්ට සැරසෙද්දී තමන් වහන්සේ
ඉදිරිපත්වී සියලුම භික්ෂූන් වහන්සේ බේරා සොරු කණ්ඩායම ද දමනය කර ඔවුන්ට නිවන් සුවය
අත්කර දුන්නේ ධර්මය දේශනා කිරීමෙනි.
පේෂකාර දියණියගේ කතාවෙන් ද අපට පැහැදිලි වන්නේ ධර්මය ශ්‍රවණයෙන් නිර්වාණය කරා යා
හැකි බවයි. ඇය බුදුන් වහන්සේගෙන් අග්ගාලව විහාරයේ දි බණ අසා මරණානුස්මෘතිය වැඩුවා
ය. අවුරුදු තුනකට පසු නැවත එම විහාරයේ දී ම භාග්‍යවතුන් වහන්සේ විසින් අසන ලද
ප්‍රශ්න කීපයකට පිළිතුරු දීමෙන් අනතුරුව ධර්මය ශ්‍රවණය කර සෝවාන් මාර්ගඵල ලැබූහ.
මෙසේ බුදු දහම ශ්‍රවණය කළ බොහෝ දෙනා ධර්මය අවබෝධ කරගත් අයුරු බුද්ධ චරිතයේ කතා
වස්තුවලින් මනාව පැහැදිලි වේ.
අවුරුදු හතළිස් පහක් තිස්සේ ම තුන් ලොව සනසා වදාළ තථාගතයන් වහන්සේ වෙසක් සඳ බැස
යමින් තිබූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින පිරිනිවන් මංචකයේ වැඩ සිටියදීත් සුභද්‍ර
ඇසු ප්‍රශ්නවලට පිළිතුරු ලෙස දෙසූ ධර්මය අසා සුබද්‍ර රහත් වු බවත් බුද්ධ ශාසනයේ
අන්තිම ශ්‍රාවකයන් වහන්සේ ලෙසත් ප්‍රසිද්ධියට පත් වූ බව ප්‍රකට කරුණකි.
බුද්ධ චරිතයේ සිද්ධි ඇසුරින් පමණක් නොව බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ද ධර්මය ශ්‍රවණය
කිරීමෙන් බොහෝ දෙනා නිර්වාණාවබෝධයට පත්වු බව කියවෙන සිද්ධි ඕනෑ තරම් ඉදිරිපත් කළ
හැක. අතීත ශ්‍රී ලංකාවෙන් ද උදාහරණ දීමට පුළුවන. මහා මහින්ද මහ රහතන් වහන්සේ
ලක්දිවට වැඩමවා දෙවන පෑතිස් නිරිඳුන්ට ධර්මය දේශනා කොට අනතුරුව අනුරාධපුරයට වැඩමවා
පේත වත්ථු, විමාන වත්ථු, දේවදූත සූත්‍රය, බාල පණ්ඩිත සූත්‍රය වැනි දහම් අසා අනුලා
දේවිය ඇතුළු කාන්තාවන් පන්සියයක් ද තවත් බොහෝ පිරිස් ද සෝවාන් ආදී මාර්ගඵල ලබාගත්
බවත් පැවිදි වීමට සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ වැඩමවා ගත් බවත් ඉතිහාස
කතාවලින් හෙළි වේ.
තවද රුවන්වැලි මහසෑ රදුන්ගේ ශිලා ප්‍රතිෂ්ඨාපන උත්සවයට වැඩම වූ පියදස්සි මහ රහතන්
වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කළ භික්ෂුණීන් විශාල ප්‍රමාණයක් රහත් වූ බව මහා වංශයේ
සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ චාරිකාවේ යෙදෙමින් ධර්මය දේශනා කළේත් තම ශ්‍රාවකයන්ට ද චාරිකාවේ
යෙදෙමින් ධර්මය දේශනා කරන ලෙස වදාළේත් එයින් නිවන් මඟ විවර වන නිසාම ය. ඒ බව ප්‍රථම
ධර්ම දූත පිරිසට ආමන්ත්‍රණය කොට පවසන ලද දෙයින් මනාව ඔප්පුවේ. “මහණෙනි, එක මඟ
දෙදෙනෙක් නොයන්න. තමන් අවබෝධ කරගත් ධර්මය බොහෝ දෙනාගේ හිත සුව පිණිස දේශනා කරන්න”
යැයි පැවසීමෙන් පැහැදිලි වේ.
ධර්මය ශ්‍රවණය නොකිරීම ද නිවන් මඟ ඇහිරෙන කරුණක් බව දෙව්දත් තෙරුන්ගේ කතාවෙන් පෙනේ.
දෙව්දත් තෙර නිවන් දකින්නට පින් තිබූ උතුමෙක් බවත්, සසරේ කිසි දිනයක ධර්මය ශ්‍රවණය
නොකළ කෙනෙක් නිසාම පාපී සිතිවිලි ඉස්මතු වූ බවත් බුදුන් වහන්සේ දේශනා කළ සේක.
එසේනම් ධර්මය ශ්‍රවණය නිවන් ලැබීමේ ඒකායන මාර්ගයක් බව කිව හැකි ය.
මේ ආදි නොයෙක් කතා වස්තූන් හා බුද්ධ චරිතයේ සිද්ධී ඇසුරෙන් ධර්මය ශ්‍රවණය කොට නිවන්
සුව ලබාගත් බොහෝ පිරිසක් සිට බව පැහැදිලි වේ. වර්තමානයේ ද ධර්ම ශ්‍රවණය කරන පිරිස්
බොහෝ සිටියත් අසන්නන් වාලේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් ඵලක් නැත. අවබෝධ කර ගැනීම අපහසු
ය. නිතරම සිත සමාධියට පත් කර ගනිමින් නීවරණ ධර්ම යටපත් කර සප්ත බොජ්ඣංග ධර්ම මතුවෙන
අයුරින් ශ්‍රවණය කළ යුතු ය. එසේ ධර්මය ශ්‍රවණය කරන විශාල පිරිසක් බිහිවූවා නම්
වර්තමාන ලංකාවාසී පමණක් නොව ලෝකවාසි බොහෝ දෙනා ද අජරාමර නිවනින් සැනසෙනු නොඅනුමාන
ය.
බුදුදහම බුද්ධිය පුබුදු කරන දහමක් බැවින් එකල බුද්ධිමත් අය ධර්මය ශ්‍රවණය කොට නිවන්
සුව අත් වින්දාහ.
වයි. ඩබ්. ශි්රයානි අමරසිංහ |