[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පින් වැඩෙන පින් කරමු

පින් වැඩෙන පින් කරමු

එදිනෙදා අපේ ජීවිත ගත කරද්දී අකුසල් බැහැර කරමින් පින් රැස් කර ගැනීමට අවස්ථාව තිබෙනවා. නමුත් ඇතැම් අවස්ථාවල දී පින ගැන වැඩිය නො හිතන නිසා, ඇතැම් දෘෂ්ඨි නිසා, සමහර මතවාද නිසා, නැතිනම් අපේ ජීවිතවල තිබෙන අලස බව ආදී මේ නොයෙක් කරුණු නිසා අපට මහා සැප සම්පත් උදාවන පින් කර ගැනීම මඟ හැරෙනවා.

බොහෝ විට අපගේ ජීවිතවල තිබෙන ප්‍රශ්නවලින් අඩක් ම මඟ හරිමින් කර්මවලින් බේරෙන්න පාරක් අපට මේ ශාසනයේ මුණ ගැහෙනවා. ඒ ජීවිතයට පින් රැස් කිරීමෙන්. අපි පින ගැන වැඩියෙන් කල්පනා නො කරන නිසාත්, නො හිතන නිසාත් අපට පින් කර ගන්නට තිබෙන අවස්ථා ගිලිහී යනවා.

එනිසා අපට පිනක් රැස් කර ගන්න තිබෙන අවස්ථාවේ දී හොඳින් පින් කර ගන්න ක්‍රම සොයන්න ඕන. එදිනෙදා අපට ජීවිතයේ පින් කර ගත හැකි ක්‍රම තිබෙනවා. ඒ ක්‍රම සොයා ගැනීම ශ්‍රාවක අපේ වගකීම යි.

භාග්‍යවතුන් වහන්සේ බොහෝවිට දහම් දෙසීමට පෙර එතැන සිටින හැම දෙනා දෙසම බුදු නෙතින් බලනවා. එතැන සිටින පිරිසගේ හිත්වල ස්වභාවය විමසමින් කාගේ සිත ද ධර්ම අවබෝධය සඳහා මෝරා තිබෙන්නේ කියා එක එක පුද්ගලයා දෙස බුදු සිත යොමු කර ඉන්ද්‍රිය පරෝපරියත්න ඥානයෙන් බලනවා.

ශාස්තෘන් වහන්සේ අවබෝධය මත පිහිටලයි එසේ අපේ දෙස බලන්නේ. අංගුලිමාලට කිවයුතු වචනය මේකයි. ආලවක යක්ෂයාට කිවයුත්තේ මේ දේයි. විශාඛාවට කිව යුත්තේ මෙයයි කියා භාග්‍යවතුන් වහන්සේ අවබෝධයෙන් ම දන්නවා.

අපත් යම් පිනක් රැස් කර ගන්න යද්දී ඒ ඒ තැනදී ඒ ඒ, ආකාරයට කටයුතු නො කරන නිසා පින් රැස් කර ගන්න අපට අපහසු වෙනවා.

සකසා පින් රැස් කර ගත් කෙනෙක් ගැන එක්තරා පේ‍්‍රත වස්තුවක මෙසේ සඳහන් වෙනවා.

එක්තරා පුද්ගලයෙක් එක් හන්දියක කුඩා වෙළඳසැලක් පවත්වා ගෙන ගියා. ඔහු දුටුවා ඒ වෙළෙඳසැල ඉදිරිපිට ඇති මාවතේ කුඩා මඩ වලක් තිබෙනවා. මිනිසුන් ඒ මඩ වල නිසා එහා මෙහා යන්නේ අපහසුවෙන්. ඔහු මඩ නො තැවරී යන්න මිය ගිය ගවයකුගේ පරණ වූ ඔලුවක් ගෙනැවිත් ඒ වළ මැද තැබුවා. මිනිසුන් එයට කකුළ තබා මඩ නො තැවරී පහසුවෙන් එතැනින් ගියා. පිනක් ගැන නොහිතාම ඔහු යම් කර්මයක් කර ගත්තා. නමුත් ඔහු වෙළඳාම් කළේ වංචනික ලෙසයි. කාලයක දී ඔහු මිය ගොස් පේ‍්‍රත ලෝකයේ උපන්නා. ඒ ප්‍රේතයාට ගමන් බිමන් යාමට සුදු අශ්වයෙක් ඕපපාතිකව පහළ වී තිබුණා. ඔහුට එහෙම ලැබුණේ අදාළ වෙලාවට අදාළ තැන දී අදාළ පිනක් කර ගත් නිසයි.

දිනක් භාග්‍යවතුන් වහන්සේ ගග්ගරා පොකුණු කෙළවරේ විවේකව වැඩ සිටියා. උන්වහන්සේට තේරුණා අද මම උපකාර කළ යුත්තේ තිරිසන් සතකුට කියලා. අදාළ වෙලාවට අදාළ පුද්ගලයාට උපකාර කිරීම උන්වහන්සේගේ සිරිත යි. භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කිරීමට සූදානම් වුණා. පිරිසක් රැස් වී සිටියා. ඒ වෙලාවේ හරක් රංචුවක් කෙවිටෙන් දක්කාගෙන එක්තරා ගොපල්ලෙක් ඒ ධර්ම මණ්ඩපය අසලින් ගමන් කළා. ඔහුට සිතුණා “මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරනවා, මමත් බණ පදයක් අහන්න ඕන” යැයි සිතා නැවතුණා. නමුත් භාග්‍යවතුන් වහන්සේ අරමුණූු කළේ ඔහු නොවේ. එක්තරා මැඩියෙක්වයි. ඒ ධර්ම මණ්ඩපය අසලින් මැඬියා යද්දී ඇසුණා භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරනවා. හරි ලස්සන බ්‍රහ්මස්වරයක්. මැඬියා නැවතිලා ඒ හඬට සවන් දී ගෙන සිටියා. ඒ හඬට පැහැදුණා. සිත ප්‍රසාදයට පත් වුණා.

ගොපලු තරුණයා කෙවිට බිම තබා බර වුණේ මැඬියාගේ ශරීරය උඩටයි. මැඬියාගේ ශරීරය පසාරු කර ගෙන කෙවිට ගියා. මැඬියා මිය ගියා. එතැනින් චුත වෙලා මෙන්ඩුක නමින් දෙවියන් අතර උපන්නා. එදා සිට මැඬියා දිව්‍ය පුත්‍රයෙක්. එදා ඒ මැඬියා වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනාකොට වදාළේ. මැඬියා එදා සිට විඳින්නේ දිව්‍ය සැප. තිරිසන් ලෝකයේ තිබුණ මහා දුකකින් නිදහස් වුණා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගත් විගස ඒ තිරිසන් සතා දෙව් සැප ලැබුවා. තිරිසන් සතාට සිතීමේ, කල්පනා කිරීමේ හැකියාව අඩුයි. ප්‍රඥාව වඩන්න බැහැ. නමුත් මේ මැඬියා තිරිසන් ලෝකයක ඉපදුණත් භාග්‍යවතුන් වහන්සේගේ හඬ කෙරෙහි පැහැදී ඇති කර ගත් සිතේ සතුට නිසයි දිව්‍ය ලෝකයේ ගියේ. භාග්‍යවතුන් වහන්සේ දුටුවා මැඬියා මියගොස් දිව්‍ය ලෝකයේ උපන් බව. උන්වහන්සේ ධර්මය දේශනා කරන අතරේ දී සිතුවා මේ මෙන්ඩුක දිව්‍ය පුත්‍රයා මෙතැනට එනවා නම් මේ මිනිසුන් කර්ම, කර්මඵලය, විපාක මොනවා ද? කියා තේරුම් ගනීවි. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම කෙතරම් ප්‍රබල ද කියා තේරුම් කරන්න පුලුවන් වේවි කියා සිතිවිල්ලක් උපන්නා. එවිට මෙන්ඩුක දිව්‍ය පුත්‍රයා දම්සභා මණ්ඩපය වෙත පැමිණියා. භග්‍යවතුන් වහන්සේ අසා වදාළා

“මේ සා ආනුභාව සම්පන්නව සිටින ඔබ කවරෙක් ද?

“භාග්‍යවතුන් වහන්ස, මීට සුලු මොහොතකට පෙර මම මිනිස් ලෝකයේ මැඬියෙක් ව උන්නා. අර සිටගෙන සිටින ගොපල්ලා මගේ ශරීරය උඩින් කෙවිට තිබ්බා. ඔහු කෙවිට තබන්නට පෙර මම ඔබ වහන්සේගේ ධර්මය දේශනා කරන ස්වරය අසාගෙන සිතේ බලවත් සතුටින් සිටියේ. ඒ සතුට නිසා මම දෙව්ලොව උපන්නා.

එතැන තවම මැඬියාගේ කය තිබෙනවා. ගොපල්ලා වහා කෙවිට ඇන තිබෙන ස්ථානය දෙස බැලුවා. මැඬියෙක් කෙවිටට යටවෙලා තිබෙනවා දුටුවා. කය එතැන. මැ¼ඩියා දෙවියන් අතර.

භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් ධර්මය දේශනා කරගෙන ම ගියා. දිව්‍ය පුත්‍රයා ඒ ධර්මය ශ්‍රවණය කළා. දෙවියා අත්දුටුවා. මම තිරිසන් ආත්මයේ සිටියේ. එයින් මම චුතවෙලා දැන් දෙවියන් අතරේ සිටින්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගත් නිසයි. සිත සතුටින් ධර්මය ශ්‍රවණය කළා. මෙන්ඩුක දිව්‍ය පුත්‍රයා සෝතාපන්න ඵලයට පත් වුණා. ඒ දේශනාව අවසානයේ දී බොහෝ දෙනා මගඵල ලැබුවා. එතැන් පටන් සියලුම දෙනා කර්මඵලය විශ්වාස කළා. අදාළ වෙලාවේ, අදාළ දේ කළ විට අදාළ ආකාරයට අපට පින් රැස් කර ගන්නට අවස්ථාව තිබෙනවා.

අපට භාග්‍යවතුන් වහන්සේ ගැන පහදින්න ඕනෑ තරම් ධර්මය ඇහෙනවා. ඒ බණ පදයක් ගානේ සිතමින් භාග්‍යවතුන් වහන්සේ ගැන සිත පහදවා ගන්න පුලුවන්. එයින් කෙ තරම් පිනක් රැස් වෙනවා ද? මැඬියෙක් භාග්‍යවතුන් වහන්සේගේ හඬට අවධානය යොමු කරලා දෙව්ලොව ගියා නම් අපි ධර්මය කෙරෙහි සිතේ සතුට, ඇතිකර ගත්තා නම් එය කෙ තරම් පිහිටක් ද? පිලිසරණ ක් ද? ඒ සඳහා පැහැදීමයි ඇතිකර ගත යුත්තේ.

එනිසා අප කරන හැම හොඳ ක්‍රියාවක ම මහා විපාක ගෙන දෙනවා. ඒ විපාකය අපට විපාක දෙන ආකාරය පෙනෙන්නේ නැති නිසා අපට ඒ ගැන ලොකු වැටහීමක් නැහැ. එනිසා නිතර දෙවේලේ කළ යුතු පින්කම් නිතර දෙවෙලේ කරමින් අපගේ ජීවිත ගුණයෙන් පුරවා ගෙන බිහිසුණු සසර කතරින් එතෙර වෙමු.

නිකිණි අව අටවක

සැප්තැමිබර් 06 බදාදා
අ.භා. 03.45 න් අව අටවක ලබා
07 බ්‍රහස්පතින්දා
අ.භා. 04.20 න් ගෙවේ.
06 බදාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]