[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සද්ධර්ම කීර්ති ශ්‍රී කාව්‍ය ශිරෝමනී සුමන ගෞරව නාමය ලද වහන්තරේ සිද්ධාර්ථ නාහිමියෝ

සද්ධර්ම කීර්ති ශ්‍රී කාව්‍ය ශිරෝමනී සුමන ගෞරව නාමය ලද වහන්තරේ සිද්ධාර්ථ නාහිමියෝ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ ගිරාතලාන කෝරළයේ දිග්ගලගෙදර ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරය, තෝරගල්ල ශ්‍රී මේධංකර බෞද්ධ මධ්‍යස්ථානය යන උභය විහාරස්ථානාධිපති ඓතිහාසික පඬුවස්නුවර රාජ මහා විහාරස්ථානයෙහි නියෝජ්‍ය විහාරාධිපති, වහන්තරේ සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ දේවමැදි හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවිය සමඟ සද්ධර්ම කීර්ති ශ්‍රී කාව්‍ය ශිරෝමනී සුමන යන ගෞරව නාම සම්මුතිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය සිදු කෙරිණි.

අපේ නායක හාමුදුරුවෝ ජන්ම දායාදය ලබන්නේ 1964 දෙසැම්බර් 12 වැනි දින වාරියපොළ, බමුණාකොටුව ග්‍රාම නිලධාරි වසමේ වහන්තරේ ගම්මානයේ දී සහෝදර සහෝදරියන් 04 දෙනකුගෙන් යුතු පවුලේ බාලයා වශයෙනි. නමින් හේරත් මුදියන්සේලාගේ ක්‍රිශාන්ත ආනන්ද විය. පියා හේරත් මුදියන්සේලාගේ රංබණ්ඩා විය. මව තෙන්නකෝන් මුදියන්සේලාගේ උක්කුඅම්මා විය. 1979 වසරෙහි ක්‍රිශාන්ත දරුවාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය උදා විය. ඒ 1978 ජනවාරි 24 දින වහන්තරේ සිට දිග්ගලගෙදර විහාරස්ථානය දක්වා පැමිණීමේ සිද්ධියයි. දිග්ගලගෙදර විහාරස්ථානයට පැමිණීමට සම්බන්ධ වූයේ දිග්ගලගෙදර ආසන්න දොරබාවිල විසූ වහන්තරේ ප්‍රදේශයේ රාජකාරි ඉටුකළ ග්‍රාම නිලධාරි ඩබ්.එම්. විජේසිංහ මහතා ය. දිග්ගලගෙදර පන්සලට පැමිණීමෙන් පසු 1979 /08/09 දින මෙම දරුවා පැවිදි දිවියට පත් වන්නේ එවකට දිග්ගලගෙදර විහාරාධිපති පූජ්‍ය රඹුකේවෙල සුමනරතනාභිධාන ලොකු හාමුදුරුවන්ගේ පැවිදි ගෝලයකු වශයෙනි. 1991 දී උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ජන සන්නිවේදනය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. ඉන්පසු ගුරු ජීවිතය ආරම්භ කරන උන්වහන්සේ කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනෙහි උප ගුරුවරයකු ලෙස පත් වූහ. පසුව නියෝජ්‍ය පරිවේණාධිපති තනතුර ද, පරිවේණාධිපති තනතුර ද දරා ඇත.

සිද්ධාර්ථ හිමියන්ගේ ගුරු හාමුදුරුවන් වන දිග්ගලගෙදර ශ්‍රී ශෛලතලාරාමාධිපති රඹුකේවෙල සුමනරතනාභිධාන ලොකුª හාමුදුරුවන්ගේ අභාවයෙන් පසු පන්සලේ සියලු වත සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ වගකීම් බවට පත් වන්නේ ය. විහාරාධිපතිත්වයට පත්වීමෙන් පසු ප්‍රදේශවාසී සියලු ගිහි පැවිදි උතුමන්ගේ නොමඳ සහයෝගය ලබමින් පන්සලේ වර්තමාන දියුණුවට විශාල වැඩ කොටසක් කරන ලදී.

පසුගිය කොරෝනා සමය උන්වහන්සේගේ සමාජ මෙහෙවර වඩාත් කැපී පෙනෙන අවධියක් විය. අපේ නායක හාමුදුරුවෝ හැකි සෑම අවස්ථාවක ම පාංශකූල පින්කම් සඳහා වැඩම කළහ. ප්‍රදේශයේ දානපතියන්ගේ දායකත්වයෙන් අසරණ වූ සෑම පවුලකට ම වියළි ආහාර බෙදා දෙන ලදි. එමෙන්ම දායක සෑම පවුලකට ම කෑම පාර්සල් බෙදා දෙන ලදි. මේ සමාජ මෙහෙවරෙහි අවසන් ප්‍රතිඵලය වූයේ උන්වහන්සේ ද කොරෝනා රෝගයට ගොදුරු වීමයි. එහෙත් ඉතා ඉක්මනින් උන්වහන්සේ සුවපත් වූහ.

අපේ නායක හාමුදුරුවෝ ප්‍රදේශයේ තරුණ පිරිස් ද සම්බන්ධ කරගෙන “පන්සලෙන් ගමට” යන සංකල්පය ගොඩනඟන ලදි. මෙම සංවිධානය මූලිකත්වයෙන් දැනට බොහෝ සමාජ සුබ සාධන කටයුතු කර ඇත.

වර්තමානය වන විට වහන්තරේ සිද්ධාර්ථ නාමය ලෝකය පුරා ද දැනුවත් වී ඇත. උන්වහන්සේ උපතින්ම ලද ගැඹුරු හඬ පෞරුෂය උපයෝගී කර ගනිමින් කාව්‍යමය ධර්ම දේශනා පැවැත්වීම එම ජනපි‍්‍රයත්වයට හේතුවයි. මෙවන් ජනපි‍්‍රයත්වයක් සහ උන්වහන්සේ විවිධ අවස්ථාවල ලබා ගත් සම්මාන, ගෞරව නාම අද දින ලබන නායක පදවියට මඟ පාදා දෙන ලදි. උන්වහන්සේ එසේ ලබා ගත් ගෞරව නාම සම්මාන කිහිපයක් මෙසේ ය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාජ සුබසාධන සූරි සම්මානය වයඹ පළාත් සභාව සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් වැලිවිට අසරණ සරණ සංඝරාජ සම්මානය, පඬුවස්නුවර බටහිර 02 කලාපය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි, කුරුණෑගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි,

2014 සිට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගේ පිරිවෙන් හා දහම් පාසල් කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක, කුරුණෑගල දිස්ත්‍රික් මානව හිමිකම් පිළිබඳ අනුශාසක, කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති සහ පරිවේණාධිපති, පඬුවස්නුවර පණ්ඩුකාභය පිරිවෙන් පරිවේණාධිපති, හෙට්ටිපොළ සමථ මූල මණ්ඩල සමථකාරක හා කාව්‍ය ශිරෝමනී සද්ධර්ම වාගීෂ්වරාචාර්ය යනුවෙනි.

අපේ නායක හාමුදුරුවන්ගේ 50 වැනි ජන්ම දිනය වෙනුවෙන් දිග්ගලගෙදර ශ්‍රී ශෛලතලාරාම කාර්ය සාධක සමිතිය, ශ්‍රී මේධංකර ධර්ම විද්‍යාලය අනුබද්ධ සංවිධාන මඟින් ප්‍රකාශයට පත් කරන ලද කැටපත් පවුර පළමු කලාපය සඳහා උන්වහන්සේ ඉදිරිපත් කළ වදන්වලින් ජීවන යථාර්ථය පිළිබඳ දර්ශනය හොඳින් පැහැදිලි විය. අපේ නායක හාමුදුරුවන්ට චිරාත් කාලයක් ශාසනික හා සමාජ මෙහෙවරෙහි යෙදීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

ඇසළ පුර පසළොස්වක

අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ.
01 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]