[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

දියුණුවේ රහස්

දියුණුවේ රහස්

“ආරෝග්‍ය මිච්ඡේ පරමං ච ලාභං
සීලං ච වුද්ධානුමතං සුතං ච
ධම්මානු වත්තී ච අලීනතා ච
අත්ථස්සද්වාරා පමුඛා ජලේතේ”

පුද්ගලයාගේ මෙලොව දිවි මඟ සාර්ථක භාවයට පත්කර ගැනීමට බොහෝ සේ උපකාරී වන දියුණුව සඳහා අවශ්‍ය කරුණු අප තථාගත බුදුපියාණන් වහන්සේගේ සම්බුදු දහම පුරාම අපට දැක ගත හැකි ය.

දඹදිව සැවැත්නුවර එක්තරා සිටුවරයකුට සත්හැවිරිදි ඉතා බුද්ධිමත් කුමාරයකු විය. මොහු දිනක් තම පියාණන් වෙත පැමිණ පියතුමණි, දියුණුවේ දොරටු මොනවාද? යනුවෙන් ඉතා වැදගත් පැනයක් ඉදිරිපත් කළේය. ඒ සඳහා පිළිතුරු සෙවීමට පෙළඹුණ සිටුතුමා ඒ පිළිබඳව විමසීමට තම පුතු ද සමඟ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ වැඳ නමස්කාර කොට දියුණුවේ දොරටු මොනවාද? යන පැනය විමසන ලදී.

සිටුතුමා පුතුගේ ප්‍රශ්නයට පිළිතුරු සෙව්වද එහෙත් ඒ සඳහා නිසි පිළිතුරක් සොයා ගැනීමට නොහැකි වූ නිසා බුදුන් වහන්සේ වෙත එළැඹි බව සිටුවරයා බුදුරදුන්ට පැවසීය. බුද්ධිමත් මෙම පුතුගේ පැනය අගය කළ උන්වහන්සේ මොහු මීට පෙර ආත්මයක දී ඉහත ප්‍රශ්නය විමසා ඇති අතර, එහෙත් මෙම දරුවාට මේ වන විට එය අමතක වී ඇති බව පෙන්වා දෙමින් අත්ථස්සද්වාර ජාතකය දේශනා කළ සේක.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය පාලනය කරන සමයෙහි බොහෝ සම්පත් ඇති පින්වත් සිටුවරයෙක් ඒ නුවර විසීය. ඔහුට සත් හැවිරිදි පුතෙක් ද වූ අතර, දිනක් මෙම පුතු සිටුවරයා වෙත පැමිණ පියාණෙනි, දියුණුවේ දොරටු මොනවාද? යන පැනය විමසූ, පසු හෙතෙම දියුණුවට අවශ්‍ය වන ප්‍රධාන කරුණු හයක් පිළිබඳ පෙන්වා දෙනු ලැබීය.

ඉහත ගාථා ධර්මයෙහි සඳහන් වන පරිදි එම කරුණු මෙසේ ය.

නිරෝගී බව, ආචාරශීලි බව, වැඩිහිටියන්ගේ උපදෙස් පැතීම, හොඳ ඉගෙනීමක් තිබීම, දැහැමි ජීවත්වීම, අලස නොවීම යන කරුණු සයයි.

පුද්ගලයාගේ ලෞකික දිවිමඟ සාර්ථක කර ගැනීමෙහිලා අත්ථස්සද්වාර ජාතකය මඟින් පෙන්වා දෙන කරුණු ඉතා වැදගත් ය.

‘ආරෝග්‍ය පරමා ලාභා’ යන බුදුවදනින් පෙන්වා දෙන්නේ නීරෝගි බවේ උසස් බවයි. ඒ අනුව ගිහි, පැවිදි යන සියලු දෙනාගේම ජීවිත තුළට කායික, මානසික නීරෝගි බව ඉතා අගනේ ය.

එසේම සමාජයෙහි ජීවත්වන විට චාරිත්‍ර වාරිත්‍ර දැනගෙන හිරිඔතප් ඇතිව ආචාරශීලිව දිවි ගෙවීම මඟින් හැම දෙනාගේ ම ප්‍රසාදයට පත් වීමට ද හැකි ය. පුද්ගල ජීවිතයෙහි ආලෝකයට වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා ඉතා වැදගත් ය. අත්දැකීම් නමැති උපාධියෙන් පිදුම් ලබන ඔවුන්ගේ වචනයට අනුව දිවි ගෙවීම මඟින් එම දියුණුවට ප්‍රබල හේතු සාධකයක් වේ.

‘විද්වාත් සව¢ත්‍ර පූජ්‍යනේ’ යන වටිනා ප්‍රකාශයට අනුව අධ්‍යාපනය මඟින් පුද්ගල දිවි මඟට ලබා දෙන්නේ සුවිශාල ආලෝකයකි. උගතා සැම තැනකම පූජනීයත්වයට පත්වන අතර, එය නූතන සමාජය මඟින් ද සනාථ වන කරුණකි.

ඒ නිසා අධ්‍යාපනය මිනිස් ජීවිත තුළට ලබා දෙන්නේ සුවිශාල පිටුවහලකි. ‘ධම්ම චරියාව‘ යන මංගල සුත්‍ර දේශනාවට අනුව ජීවත්වන පුද්ගලයා දෙවියන්ගේ පවා ප්‍රසාදයට පත් වන බව සඳහන් වේ. ‘අලීනතා ච’ යන පාලි වචනයෙන් පෙන්වා දෙන්නේ අලසකමින් තොර වීමයි. වටිනා මිනිසත් බව ආලෝකවත් කර ගැනීමට කම්මැළි නොවීම ප්‍රබල සාධකයකි.

අලසයාට ප්‍රඥාව ලද නොහැකි ය. කුඩා අවධියේ පටන් අධ්‍යාපනය ආදී සැම අංශයකටම යොමු වීමේ දි අලස නොවිය යුතු ය. අලස වීම නිසා දිනෙන් දින පරිහානිය කරා පුද්ගලයා ගමන් කරන බව අප තථාගත බුදුපියාණන් වහන්සේ පරාභව සූත්‍රයේ දී මැනවින් පෙන්වා දී ඇත.

මේ අනුව ජීවිතයක් ආලෝකයෙන් ආලෝකය කරා යොමු කර ගැනීමට ඉහත සඳහන් කරුණු 06 කොතරම් දුරට දියුණුවට හේතු වන්නේ ද යන්න පැහැදිලි වේ.

අත්ථස්සද්වාර ජාතකය මඟින් පෙන්වා දෙන මෙම කරුණු පුද්ගලයා තම ජීවිතය තුළට ඇතුළත් කර ගනිමින් බුද්ධිමත්ව ක්‍රියා කිරීම නිසා නිසැක වශයෙන් ම දියුණුව කරා ගමන් කිරීමට හැකියාව ඇත. මේ නිසා පින්වත් ඔබ ද ඉහත කරුණු පිළිබඳ අවධානය යොමු කොට දුර්ලභ මිනිසත් බව ආලෝකවත් කර ගැනීමට උත්සාහ කළ යුතු ය.

‘ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි’ දහමට අනුව හැසිරෙන පුද්ගලයා ධර්මය විසින් ආරක්ෂා කරනු ලබන බව බුද්ධ දේශනාවයි. අවබෝධයෙන් උසස් පිරිසක් වන ඔබ සැම දෙනා ද දියුණුවේ දොරටු ජීවිත තුළට ළඟා කර ගනිමින් ක්‍රියා කරන ගමන් ම මෙම බියකරු සසර කතරින් එතෙර වී අමා මහ නිවන් සුවය ලබන්නට උත්සාහ කරමු.

බක් අමාවක

අප්‍රේල් 19 බදාදා පූ.භා. 11.28 න් අමාවක ලබා 20 බ්‍රහස්පතින්දා පූ.භා. 09.46 න් ගෙවේ.
19 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]