[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ශාස්ත්‍රයෙන් ලබන ශික්ෂණය උද්දීප්ත වන්නේ ධර්මයෙන් ලබන විනය තහවුරු වූ තරමටයි

ශාස්ත්‍රයෙන් ලබන ශික්ෂණය උද්දීප්ත වන්නේ ධර්මයෙන් ලබන විනය තහවුරු වූ තරමටයි

විසිතුරු පි‍්‍රයංකර ජීවිතයකට බුදු සමයෙන් බාධාවක් නැතත් ආදායම ඉක්මවා කරන වියදමුත් තරගකාරී ව ආත්මාර්ථකාමී ව තෘෂ්ණාවෙහි ගිලී ‘ලෝකෙට පරකාසේ’ ලෙස කරන සැරැසිලි අලංකාරාදියත් නිසි කළමනාකරණයෙකින් තොර ව සිදු කරන අනවශ්‍ය නාස්තියත් බුදු දහම වර්ණනා කරන්නේ නැත.

චාම් ජීවිතයට සහ සුහද වාසයට හුරු කිරීම.

කරණීයමෙත්ත සූත්‍රයෙහි සඳහන් වන ‘සල්ලහුක වුත්ති’ හෙවත් සැහැල්ලු දිවි පැවැත්ම නම් සැබෑ චාම් ජීවිතය යි. නැති දේ ව්‍යාජ ලෙස ඇති අයුරින් මවා පෙන්වන්නට ගොස් අමාරුවේ වැටුණු අය සමාජයේ සුලභ වෙති. ‘පෙන්නීමට නොව සැබෑවට ම විය යුතු ය’ සිතා නුවණින් ක්‍රියා කරන කවරකුට වුවත් දුෂ්කරතා මැද්දේ වුව ද පහසුවෙන් දිවි ගෙවිය හැකි ය. චාම් පැවැත්මෙන් දිවි මඟ සැලැසුම් කිරීමට අවශ්‍ය අවබෝධය නිසි මඟ පෙන්වීම හා පූර්වාදර්ශය දහම් පාසල් අධ්‍යාපනයෙන් දරුවනට ලබා දීම මෙකලට ඉතා වැදගත් මෙහෙවරකි.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වුවත් සෙසු ජාතිකයන් ද, සෙසු ආගමිකයන් ද මේ බිමෙහි වාසය කරන හෙයින් ඔවුන් සමඟ සුහදව වාසය කිරීමටත්, පටු අදහස්වලින් තොරව ක්‍රියා කිරීමටත් දරුවන් තුළ වටිනා මූල බීජ තැන්පත් කරන ආයතනය නම් දහම් පාසල යි. අන්‍ය ජාතීන් හා අන්‍ය ආගමික කණ්ඩායම් සමඟ සුහදව ක්‍රියා කිරීමේ පරමාදර්ශය නම් බුදුරජාණන් වහන්සේ ය. ධර්මාශෝක මහ රජු වැනි නරපතියන් පවා ඒ මග අනුගමනය කළ අයුරු ඉතිහාසයෙන් පෙනේ. වත්මන්හි අන්‍ය ජාතික, අන්‍යාගමික මූලධර්මවාදීන් නිසා සුහද වාසයටත් ජාතික හා ආගමික සමගියටත් මහත් සේ හානි පැමිණ ඇති නිසා තුනුරුවන් කෙරෙහි ගැඹුරු වැටහීමකුත් ප්‍රසාදයකුත් සම්‍යක් දෘෂ්ටික භාවයත් දරුවන් තුළ තහවුරු කිරීම දහම් පාසලින් සිදු විය යුතු ය. සෙසු සංස්කෘතීන්ට හා භාෂාවනට ගරු කිරීමේ ආකල්පය ද මේ සුහද වාසයට ම තුඩු දෙන කරුණෙකි.

විනයගරුක බව හා ධර්ම ඥානය දියුණු කිරීම

සංවරභාවයත්, විනයගරුකභාවයත් දහම් පාසල් අධ්‍යාපනයෙන් දියුණු නොවේ නම් ඒ දහම් පාසලක් නොවේ. නිති පන්සිල් රකින දරුවෝ පර පණ නැසීම් ආදී දුගුණයෙන් වෙන් වීම මතු නොව ඒවාහි සමාදන් විය යුතු ගුණාංග ද මැනැවින් රකිති. එයින් සංවර බවත්, විනයගරුක බවත් නිතැතින් ම දියුණු වේ.

ශාස්ත්‍රයෙන් ලැබෙන විනය (ශික්ෂණය) වඩාත් උද්දීප්තියට පත් වන්නේ ධර්මයෙන් ලබන විනය තහවුරු වූ තරමටයි. පුද්ගලයකුගේ පෞරුෂය ඔපවත් කරන ශීලාචාරකම, අවංකභාවය, අව්‍යාජත්වය, අගතිගාමී නොවීම, වංචා දූෂණවලින් තොර වූ සුපිළිපන් බව ආදී ගුණාංග පිහිටනුයේ මේ විනයගරුකභාවය තිරසාර වූ තරමට ය.

දහම් පාසල් අධ්‍යාපනයෙන් ධර්ම ඥානය ද දියුණු විය යුතු ය. තමාගේ ශාස්තෘන් වහන්සේගේ මහෝත්තමභාවය වටහාගත හැක්කේ දහම දැනගත් පමණට ය. දහම් පාසල් අධ්‍යාපනය තුළ ද විභාග පරීක්ෂණ සඳහා මූලික ප්‍රයත්නයක් දැරෙන නිසා ධර්මය ඥාන ප්‍රතිලාභයකට වඩා දැනීමකට පටු වන අයුරක් පෙනෙන්නට තිබේ.

කලක් ගිය පසු ඒ දැනීම බොඳ වී යන්නේ අලවාගත් දැනුමක් වන නිසා ය.

ධර්ම ඥානය ලබා දීමේ දී දරුවා තුළ ශ්‍රද්ධාව දියුණු කිරීමටත්, සසුන් පිහිට සලසා දීමටත්, සම්‍යක් දෘෂ්ටිමයභාවය තහවුරු කිරීමටත් ධර්මානුකූල ව ප්‍රායෝගික ජීවිතයේ දී පුහුණුව සලසා දීමටත් දහම් ගුරුවරයා වග බලාගත යුතු ය. දරුවා අනාගතයේ දී ජීවිත අභියෝගවලට අභීතව මුහුණ දීමටත්, සමාජීය විචල්‍යතා අර්බුද හමුවේ දී නොසැලී යුක්තිගරුක විනිශ්චයෙකින් ක්‍රියා කිරීමටත් දිරියක් ලබා ගන්නේ මේ අයුරින් ලබන ධර්ම ඥානය පිහිට කොටගෙන ය.

ආගමාලයෙන් පිබිදුණු, ස්වදේශ වාත්සල්‍යයෙන් ඔද වැඩුණු, ජාතිකාභිමානයෙන් මෙහෙයැවුණු, ස්වභාෂානුරාගයෙන් පණවත් වුණු දරු පරපුරක් බිහි කිරීම.

දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආගමානුකූල ව මැනැවින් හදාගැනීම පමණක් නොව ඔවුන් ජාතික ආර්ථිකයට, සභ්‍යත්වයට, ජාතිකත්වයට වටිනාකම් ලබාදෙන අයුරින් ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාව අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ කොතරම් ගැඹුරින්, දූරදර්ශී ව කල්පනා කළා ද යන්න ඉහත සඳහන්, පිළිවෙතින් පැහැදිලි වේ. අනාගත ලෝකයට පිවිසෙන දරුවා ජාතික දේහයට, සංස්කෘතියට පොදුවේ සමාජයට වැඩ සලසන අයුරින් දේශීය චින්තනයෙන් ද, පාරම්පරික ඥානයෙන් ද, අන්තර්ජාතික අවබෝධයෙන් ද ප්‍රතිපෝෂිත මානසික සමබරතාවෙකින් හා පෞරුෂවත් ඥානයෙන් ද, අන්තර්ජාතික අවබෝධයෙන් ද ප්‍රතිපෝෂිත මානසික සමබරතාවෙකින් හා පෞරුෂවත් චරිත ස්වභාවයෙන් පිරිපුන් පුරවැසියකු කිරීම දහම් පාසලේ කාර්ය භාරය විය යුතු ය.

මෙම ලිපියේ මුල් කොටස දුරුතු පෝදා පත්‍රයේ පළවිය


නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]