[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් පුර පසළොස්වක 2023-02-05

ලෝ දහමට ඉවසීමෙන් මුහුණ දෙන්න

පුද්ගල චරිත ස්වභාවයන්, ජීවන අවශ්‍යතා දිනෙන් දින සංකීර්ණ වන වටපිටාවක ඉවසිය යුතු දේ, දරාගත යුතු දේ බොහෝ ය. ඒ හා සාපේක්ෂව බලාපොරොත්තු බිඳවැටී, ජීවිතාපේක්ෂාව පවා අභියෝගයට ලක්වීම නොවැළැක්විය හැකි වන්නේ ඉවසා දරාගන්නට නොහැකි පුද්ගලයාගේ ය.

ලාංකේය ජන සමාජයේ අතීතයට සාපේක්ෂව වර්තමානය දෙස බලනවිට එහි වර්ධනයක් දැකගත හැකි යැයි හැඟෙන්නේ සමාජයේ බහුතරයක් ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය හා ඉච්ඡාභංගත්වයට පත්වන ආකාරය දැකීමෙනි.

සරල පැවැත්මට හුරුවූ පැරැන්නන්ගේ අවශ්‍යතා සීමිත වූ නිසාම ජීවිතය ගැන, අනාගතය ගැන දරන්නට බැරි බරක් ඔවුන්ගේ හිසමත කඩා වැටුණේ නැත. අවශ්‍යදේත්, අනවශ්‍යදේත් තෝරා බේරා ගන්නට තරම් ශික්ෂණයක් ඔවුහු සතු වූහ. ඒ ශික්ෂණය ලැබුණේ දහමට සමීප වූ නිසා ය.

එහෙත් ඒ විනය ටිකෙන් ටික ගිලිහී හරසුන් ආටෝප සාටෝප වැළඳ ගැනීම නිසා පාලනය කරගත නොහැකී අසීමිත ආශාවන්, ආත්මාර්ථකාමී සිතිවිලි වර්ධනය වන්නට විය.

දහම පොත පතට, දැනුමට පමණක් සීමා වීමේ ඇරඹුමත් සමඟ ඉවසීමත්, දරා ගැනීමත් මිනිස් හද සන්තානයෙන් ගිලිහී යන්නට විය. එහි වර්ධනීය අවස්ථාවකට අද අප පැමිණ සිටිමු. පාසල් දරුවන් පවා විනාශයට ඇද දමන මත්ද්‍රව්‍ය සමාජය ගිලගන්නා තරමට ව්‍යාප්ත වෙමින් පවතින්නේ ලද දෙයින් නොසෑහෙන පාපතරයන්ගේ අධික තණ්හාව සන්තර්පණය කර ගන්නට යෑමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

දහසකුත් එකක් බාධක මැදින්, මහා තරගයකින් අධ්‍යාපන කඩඉම් පසු කළත් ඉවසීම දරා ගැනීම පරදවන්නට තරම් ඇතැම් තරුණ දරුවන්ගේ ආත්මාර්ථකාමී සිතිවිලි වර්ධනය වෙමින් තිබේ.

සොරකම, බොරුව, පරපණ නැසීමේ සිට මහ මඟ සිදුවන මාරක අනතුරු දක්වා බොහෝ ව්‍යසනයන්ට සමාජය හසුව තිබෙන්නේ ලද දෙයින් නොසෑහෙන අතෘප්තිකර ජීවන පැවතුම් සපුරා ගන්නට යෑමේ අනවරත අරගලයේ ඵලයන් නිසා ය.

බෞද්ධයන් ලෙස අප එලෙස ජීවිතය විනාශ කර ගත යුතු නොවන්නේ ජීවත්විය යුතු හැටි උගන්වන උතුම් ධර්මයක් අප සතු වන බැවිනි. අපගේ ශාස්තෘන් වහන්සේ තථාගත බුදුපියාණන් වහන්සේ පන්සාළිස් වසක් පුරා දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අදටත් ජීවමාන ය. ඒ සදහම් නිරන්තරයෙන් ශ්‍රවණය කරන්නට, පොත පතින් දැන ඉගෙන ගන්නට ලැබේ. බෞද්ධයන් වී ද ඒ දහම ජීවිතයට පුරුදු නොකරන්නට තරම් බොහෝ පිරිස් අභාග්‍ය සම්පන්න ය. තවදුරටත් සසර මඟ එසේ මං මුළා වනවා ද, ජීවිතයට සැනසීම ළඟා කර ගන්නවා ද යන්න තීරණය කළ යුතු තම තමන්ගේ නැණ පමණින් ය.

එහිදී විශේෂයෙන් වැඩිහිටියන් නිවැරැදිම තීරණයට එළඹ තමන්ගේ නිවෙසේ හැදෙන වැඩෙන දරුවන්ට ද යහපත් මානසික මඟ පෙන්වීමක් නොකරන්නේ නම් වැඩිකල් නොයවාම අපේ දරුවන් ගැන තබන බලාපොරොත්තු ද ගඟට කැපූ ඉණි බවට පත්වීම වැළැක්විය නොහැකි ය.

තම නිවෙස්වල මහා මංගල සූත්‍රය නිරතුරුව අසන්නට සැලැස්වීම පැරැන්නන්ගේ සිරිතකි. එහි අටලෝ දහමින් කම්පා නොවීම උතුම් මංගල කරුණක් බව පෙන්වා දී ඇත. එය නිතර ශ්‍රවණය කරන දරුවා තුළ අටලෝ දහම ගැන දැනුම හා ආකල්ප ද වර්ධනය විය. ඒ තුළිනි, ඔවුන් ජීවිත කාලය පුරාම මුහුණ දෙන්නට වන ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි පන්නරය ලැබුවේ,

ලාභ – අලාභ, යස – අයස, නින්දා – ප්‍රශංසා, දුක – සැප යනු ලොව නිතර දැකිය හැකි එහෙත් වෙනස් වන ස්වභාවධර්ම අටකි. ජීවිතයේ කවර අවස්ථාවක හෝ එයට මුහුණ දෙන්නට අප හැමට සිදුවේ. ජීවිතය කළමණාකරණය කර ගන්නට, ඉවසීම, දරා ගැනීම හුරු කරන්නට එය තේරුම් ගැනීම ම ප්‍රමාණවත් වේ.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]