[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

පෙර ආත්මයේ යහපත් ගුණදම් මේ ආත්මයටත් හිමිකරගන්න පුළුවන්

පෙර ආත්මයේ යහපත් ගුණදම් මේ ආත්මයටත් හිමිකරගන්න පුළුවන්

බුදුරජාණන් වහන්සේ යනු මේ ලෝකයේ පහළ වූ අසාමාන්‍ය පුෂ්පයකි. සුවඳවත් මලක් වුව ද එහි සුවඳ හැම පැත්තට ම දැනෙන්නේ නැත. හමන්නේ ද නැත. නමුත් බුදුරදුහු නමැති අසාමාන්‍ය පුෂ්පය හැම පැතිකඩක් ම සුවඳවත් කළහ.

මෙයින් අදහස් වන්නේ මිනිස් ජීවිතය තුළ පවතින වැරැදි අඩුපාඩු පෙන්වා දෙමින් මිනිස් ජීවිත නිවැරැදි කර අඳුරෙන් ආලෝකය කරා ගමන් කිරීමට අවශ්‍ය මඟ පෙන්වා දීමයි. මේ නිසාම බොහෝදෙනාගේ හදවත් ගුණ දහමින් සුවඳවත් කළ අසාමාන්‍ය පුෂ්පයක් ලෙස බුදුරදුන් හඳුන්වා දෙන්නට පුළුවන.

බුදුදහම තුළින් මූලිකවම පෙන්වාදී ඇත්තේ කරුණු දෙකකි. එනම් සංසාරය හා නිර්වාණයයි. මිය යමින් ඉපදෙමින් ගමන් කරන, කෙළවරක් දැකීම දුෂ්කර මේ ගමන සංසාරයයි.

කෙළවරක් දැකීමට අපහසු මේ සසර ගමන නතර කිරීම නිර්වාණයයි.

මේ දුෂ්කර සංසාරයෙහි අප ගමන් කරන්නේ ඇයි යන්නට හේතුව බුදුරදුහු පෙන්වා දුන්හ.

මිනිසා යනු ඉන්ද්‍රියයන් හයක ක්‍රියාකාරිත්වයකි. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනසයි. මේ ඉන්ද්‍රියන් හයට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධර්ම තුළින් ඇලීම් හා ගැටීම් ඇතිවේ.

මේ තුළින් අපගේ සසර ගමන දික්කරයි. මේ සියල්ලට ම මූලික පදනම අපගේ සිත නැත්නම් මනසයි.

‘මනස’ යන්න මිනිස් වර්ගයාට පමණක් සීමා වූ එකක් නොවේ. දෙවියන් හා භූතයින් වැනි ජීවිත ගත කරන අයට ද මනස ඇත. නමුත් මිනිසාට ඇති සුවිශේෂී හැකියාව වන්නේ මනස දියුණු කර ගැනීමේ හැකියාව තමා සතු වීමයි. මිනිස් සිතට පුදුම බලයක් ඇත. නමුත් මේ මිනිස් සිත සතු බලය, ශක්තිය, හැකියාව, තේරුම් ගෙන ඇත්තේ ඉතා සුළු පිරිසක් පමණි. සිත දියුණු කිරීම තුළින් බුදු බව, රහත් බව ලබන්නට පුළුවන.

එසේම සිත දියුණු කිරීම තුළින් ධ්‍යාන වැඩීමටත්, බ්‍රහ්ම ලෝකවල ඉපදීමටත්, සුවිශේෂී මානසික හැකියාවන් ලබා ගැනීමටත් පුළුවන.

බටහිර චින්තකයින් මේ මෑතක් වන තුරුම ප්‍රකාශ කළේ ‘මනස’ යනුවෙන් සුවිශේෂි දෙයක් නොමැති බවයි. ‘මනස’ යනු ශරීරයෙන් උපදින ක්‍රියාකාරීත්වයක් පමණක් බව පෙන්නුම් කිරීමට උත්සාහවත් වී ඇත.

සාමාන්‍ය අධ්‍යාපනය තුළින් විද්‍යාව, ගණිතය, කලාශිල්ප ආදිය ඉගෙනගෙන උගතකු වශයෙන් දියුණුවක් ලැබුව ද ඔහු මානසික වශයෙන් දියුණුවක් ලබා ඇතැයි නිශ්චිතව අපට කිව නොහැකි ය.

අපේ බෞද්ධ සාහිත්‍යයෙහි එන චුල්ලපන්ථක හිමි කතා පුවත උදාහරණයක් ලෙස මෙහිදී දක්වන්නට පුළුවන.

නුවණ මඳ අයකු ලෙස සලකා ගුරු හිමියන් විසින් චුල්ලපන්ථක හිමියන්ට ගෙදර යන ලෙස ආරාමයෙන් නෙරපන ලද අයෙකි. බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව ක්‍රියාත්මක වීම තුළින් ‘මනස’ උපරිම මට්ටමට පත්කරගත් අයකු බවට චුල්ලපන්ථක හිමි පත් වු ආකාරය අපි දනිමු.

මෙය සිදුවූයේ කෙසේද?

චුල්ලපන්ථක හිමි පෙර බුදුවරුන්ගෙන් පවා ධර්මය අසා දැන සිටි අයෙකි. ඒ අසා දැනගත් ධර්මය උන්වහන්සේ තුළ සැඟවී පැවැතිණි. සැඟවී තිබුණූ දැනුම බුදුරජාණන් වහන්සේගේ ක්‍රමෝපායන් තුළින් නැවැතත් මතු වු අවස්ථාවක් ලෙස මෙම චරිත කතාව අපට පෙන්නුම් කරයි.

කලින් ලබා තිබූ දැනුම ආවරණයකින් වැසී තිබුණ ද යෙදූ උපාය මාර්ගය නිසා එම ආවරණය ඉවත්වීමට මඟ සැලසිණි.

මිනිසා යනු පූර්ව ආත්මවල ලබා ඇති විවිධ දක්ෂතා කුසලතා හැකියාවන් නැවතත් ලබා ගන්නට සමත් අයෙකි. පූර්ව ආත්මවල හුරුපුරුදුකම්, ගතිපැවැතුම්, සිරිත්විරිත් බොහෝවිට මේ ආත්මයටත් උරුම වනු ඇත. මේ ආත්මයේ දී ඒවා ප්‍රකට වීමට අවස්ථාව උදාවුවහොත්, එසේත් නැත්නම් ඒ සඳහා අදාළ ක්‍රමවේදයන් යෙදුණහොත් නැවතත් ඒ ගති ලක්ෂණ මතු වනු ඇත. බුදු දහමෙහි සඳහන් විවිධ චරිත අධ්‍යයනය කරන විට ඉහත කී කාරණය සනාථ වනු ඇත.


 

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]