[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

තෙරුවන් උදෙසා පූජෝපහාර පිදෙන කොළඹ නවම් මහ පෙරහර අසිරිය

තෙරුවන් උදෙසා පූජෝපහාර පිදෙන කොළඹ නවම් මහ පෙරහර අසිරිය

ජාතියේ අභිමානය, හෙළ සංස්කෘතියේ අනන්‍යතාව විදහා දක්වමින් දෙස් විදෙස් ජනතාවගේ ගෞරවාදරය දිනූ උතුම් සංස්කෘතික මංගල්‍යය, කොළඹ හුණුපිටිය ගංගාරාම නවම් මහා පෙරහර අද (05) සහ හෙට (06) උත්කර්ෂවත් ලෙස වීදි සංචාරය කෙරේ.


ගංගාරාමාධිකාරී ආචාර්ය
කිරින්දේ අස්සජි හිමි

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නා හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා ගංගාරාමාධිකාරී ආචාර්ය රාජකීය පණ්ඩිත කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේගේ සංවිධායකත්වයෙන් මෙවර නවම් මහ පෙරහර ලක්වැසි, ලෝ වැසි දනන් වෙත සෙත් ප්‍රාර්ථනා කරමින් ආගමික පූජෝපහාර පුදනු ඇත.

ඓතිහාසික වශයෙන් ශාසනික වැදගත්කම් රැසක් සිදු වූ මේ පින්බර පෝදා තෙරුවන් උදෙසා පිදෙන පූජෝපහාරයක් ලෙස ලක්වැසි, ලෝ වැසි දනන්ගේ නෙත් සිත් අමන්දානන්දයටත්, ගෞරවාදරයටත් පත් කරමින් මෙවරත් කොළඹ නවම් මහා පෙරහර අසිරි මවයි.

අතීත ශ්‍රී විභූතිය හා සම්බුදු දහමින් සුපෝෂිත හෙළ සංස්කෘතික වටිනාකම් විදහා දක්වමින් වීදි සංචාරය කරන නවම් මහා පෙරහරේ සුවිශේෂත්වයන් අතර තථාගතයන් වහන්සේගේ ශ්‍රී ධාතූන් වහන්සේ තැන්පත් කොට ඇති සධාතුක කරඬුව වැඩමවීම, බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩමවීම, පන්සාළිස් වසක් පුරා තථාගත ශ්‍රී මුවින් දේශිත ශ්‍රී සද්ධර්මය සංකේතවත් කරමින් ධර්ම පුස්තක වැඩමවීම ප්‍රධාන ය.

අලි ඇතුන්ගෙන් සාඩම්බරණීය වන නවම් මහ පෙරහර උඩරට, පහතරට, සබරගමු යන සාම්ප්‍රදායික නර්තන කණ්ඩායම්වලින් හා ජන නැටුම් ඇතුළු විවිධ කලාංගයන්ගෙන් විචිත්‍රවත් වෙයි. නවම් පෙරහරේ ශ්‍රී විභූතිය ඇස ගැටෙන කවරකුට වුව ද ගංගාරාම විහාරස්ථානයේ ආගමික, ශාස්ත්‍රීය හා සාමාජික සේවාවන් අමතක කළ නොහැකි ය.

පණ්ඩිත ශිරෝමණී හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට ශාස්ත්‍රීය හා ආගමික පුනරුදයක් බිහි කළ යතිවරයන් වහන්සේ නමකි. උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව, ශිෂ්‍ය උරුමය පවතින විහාරස්ථානය ගංගාරාමයයි.

ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ලෙස ලොකු කුඩා සැම දන්නා හඳුනන, ආදරය ගෞරවය ලබන ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවේ සුවිශේෂී යතීන්ද්‍රයන් වහන්සේ නමකි. ගංගාරාම විහාරස්ථානයේ වර්තමාන පුනරුදයේ නියමුවාණන් වහන්සේ උන්වහන්සේ ය.

අතීතයේ, සාම්ප්‍රදායික නැටුම් හා නිර්මාණය කරන ලද අලි ඇතුන්ගේ අනුරූවලින් සමන්විත වූ පෙරහරක් ඇසළ පෙරහර නමින් ගංගාරාම වෙහෙරබිම කේන්ද්‍රකොටගෙන පැවතිණි. විවිධ හේතූන් නිසා එම පෙරහර ඉදිරියට පවත්වාගෙන යාම අපහසු විය.

එහෙත් අපගේ සංස්කෘතික වටිනාකම් වර්තමානයට ද, අනාගතයට ද දායාද කිරීමේ වටිනාකම අවබෝධ කරගත් අප නාහිමිපාණෝ ගංගාරාමය කේන්ද්‍රකර ගනිමින් 1979 වසරේ දී නැවත අසිරිමත් පෙරහරක් ආරම්භ කිරීමට මූලිකත්වය දුන්හ. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය හා ඕනෑකම නිසාම මෙරට අඳුරු කාලවකවානුවල පවා පෙරහර පැවැත්වුණි. මේ සා දීර්ඝ කාලයක් තුළ උන්වහන්සේ ලද අභියෝග, අත්දැකීම් සුවිශාල ය. එහෙත් සියල්ල සැහැල්ලු සිතින් විඳ දරාගත්හ.

උන්වහන්සේ යම්යම් අවස්ථාවන්හි පෙරහරේ දුර්ලභ සාම්ප්‍රදායික නර්තන අංග රැක ගත්තේ අදාළ වාද්‍ය භාණ්ඩ පවා සාදවා දෙන්නට උත්සුක වෙමිනි.

තුනුරුවන් උදෙසා පූජාවක් ලෙස පැවැත්වෙන නවම් මහා පෙරහර ආගමික, සංස්කෘතික වටිනාකම්වලින් ඔබ්බට යමින් සමාජියීය වශයෙන් ද සිදුකරන සේවය වෙසෙස් ය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී විශේෂයෙන් කොළඹ නගරය හා අවට ජීවත්වන සියලු ජාතීන් එකම අරමුණක් වෙනුවෙන් පෙළ ගස්වමින් ජාතික සමඟිය, එකමුතුකම වර්ධනය කිරීම ලෝකයට ම ආදර්ශවත් ය. දෙස් විදෙස් සංචාරකයන් දස දහස් ගණනින් ගංගාරාම වෙහෙරබිමට එක්රොක් වන්නේ ඒ අපූර්වත්වය දැකබලා ගන්නට ය.

ආගමික, සංස්කෘත හා සමාජයීය වටිනාකමින් ඉහළ මනරම් පෙරහරක් සංවිධානය කිරීම පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන් පසුගිය වසරවල ඇති වූ කෝවිඩ් වසංගත තත්ත්වය නිසා පීඩාවට පත් වූ ලක්වාසි ජනතාවට මානසික සුව සහනයක් ද අත්පත් කර දෙමින් මෙවර නවම් මහා පෙරහර පැවැත්වෙන්නේ ඉතා සංකීර්ණ පරිසරයක් තුළ ය.

එහෙත් කිසිදු අඩුපාඩුවකින් තොරව මෙවර ද අති උත්කර්ෂවත් ලෙස නවම් මහා පෙරහරේ අසිරිසිරි මවන්නට ආශිර්වාදය ගෙන එන්නේ අපේ පොඩිහාමුදුරුවන් තුළ මේ සා දිගු කාලයක් වූ අප්‍රතිහත ධෛර්යයේ, කැපවීමේ හා චිත්ත බලයේ ශක්තියයි.

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය, රාජකීය පණ්ඩිත කිරින්දේ අස්සජි නාහිමිපාණන් වහන්සේ මෙවර ද නවම් මහා පෙරහර උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට ඇප කැප වෙති. දිවා රෑ නොබලා විහාරස්ථානයේ සුනු පිරියම් කිරීමේ සිට සියලු කටයුතු සොයා බලමින් විහාරවාසී ස්වාමීන් වහන්සේගේ, දායක කාරකාදීන්ගේ, ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ ආදී අදාළ සියලු අංශයන්හි දායකත්වය ලබමින් සියලු කටයුතු කළමනාකරණය කරමින්, සංවිධානය කරමින් පෙරහර සාර්ථක කර ගැනීමට උන්වහන්සේ වෙහෙසෙති.

සමඟිය, එක්ව වැඩ කිරීම, කැපවීම, අධිෂ්ඨානය, ඒකායන අරමුණ ආදී යහ ආකල්පයන්ගේ සුසංයෝගයෙන් දහස් සංඛ්‍යාත ජනතාවගේ සිත් පහන් හැඟුම් පුබුදුවමින් මෙවර නවම් මහපෙරහර වීදි සංචාරය කරන්නේ විශේෂාංග හැට පහකින් පමණ චිත්‍රවත් වෙමිනි.

කස කණ්ඩායම, විලක්කු, බෞද්ධ කොඩි, පැරැණි සිංහ කොඩි, හේවිසි, දෙවොල් නැටුම්, තෙල්මේ, උඩැක්කි, අවි අතු මුරායුධ, අලි ඇතුන්, වඩිග පටුන, දවුල් කණ්ඩායම්, බුම්මැඩි, තනි කච්චිය ආදී අංශ ඒ අතරින් කිහිපයකි. යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, තරුණ සේවා සභාව, ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදී විවිධ ආයතනයන්හි කලා ශිල්පීන්ගේ දායකත්වයෙන් නර්තනාංග ඇතුළු සියලු අංග මනරම් කරනු ඇත.

මෙවර පෙරහර පෙළ ගැසෙන්නේ උද්‍යාන වීදිය, ශ්‍රී ජිනරතන පාර, හුණුපිටිය වැව පාර, ඩබ්ලිව්.ඒ. රාමනායක මාවත, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, ඕල්ටෙයාර් පටුමග, ස්ටෙපල් වීදිය, මුත්තයියා පාර, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, ශ්‍රී ජිනරතන පාර ඔස්සේ ගංගාරාම විහාරස්ථානයට සම්ප්‍රාප්ත වන ලෙස ය.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]