[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

නාරාවිල සිරි ධම්මිස්සර නාහිමියෝ

නාරාවිල සිරි ධම්මිස්සර නාහිමියෝ සම්බුදු සසුන් කෙත ඔපවත් කළ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි. 1923 දී දකුණූ පිටිගල් කෝරළයේ, ප්‍රධාන සංඝනායක පදවිය ද, 1926 වයඹ දිශාවේ ප්‍රධාන පදවිය ද, 1943 උපාධ්‍යාය පදවිය ද, මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරයෙන් උන්වහන්සේ වෙත විවිධ තනතුරු පිරිනැමිණි.

උන්වහන්සේ සීමාසහිත පරම විඥානාර්ථ බෞද්ධ සමාගමයේ දියුණුවට මහත් කැපවීමෙන් ක්‍රියාත්මක වූහ. “භාරත දේශයේ” කල්කටාවේ පිහිටි “ධර්ම රාජික” විහාරයේ විවෘත කිරීමේ උත්සවයේ දී සමාගමයේ නියෝජිතයකු වශයෙන් පෙනී සිටියේ අප කතානායකයාණෝ ය.


කඹුරාවල රතනපාල නා හිමියෝ

සමාජයීය, සංස්කෘතික, ආගමික වශයෙන් විශාල සේවයක් කළ කඹුරාවල රතනපාල හිමි 2005 වසරේ මැයි 31 වන දින කොට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක රාජකීය පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් “සද්ධර්ම කීර්ති ශ්‍රී රතන” යන ගෞරව නාමය සහිතව උතුරු, නැඟෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමූහ.

2010 වසරේ දී ත්‍රිකුණාමල දිස්ත්‍රික් තෛ‍්‍ර නිකායික භික්ෂු බල මණ්ඩලයේ ප්‍රථම වරට සභාපති ලෙස පත්ව නොකඩවා වසර හතක් බුද්ධ ශාසනයට සේවය කරන්නට අප නාහිමිපාණන් වහන්සේ සමත් විය. මෙවැනි ආගමික සාමාජයීය සේවා බොහෝ සිදු කරන එම නාහිමිපාණන් වහන්සේ සසුන් බිමට පිවිස 2022 ඔක්. 01 දිනට වසර 58 ක් වන අතර, දෙසැම්බර් 25 වන දිනට ජන්ම ලාභය ලබා වසර 70 ක් සම්පූර්ණ වේ. උතුරු නැඟෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී සිරිරතනාභිධාන කඹුරාවල රතනපාල යතිවරයාණන් වහන්සේට උතුම් ලාභය වූ නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා'යි ප්‍රාර්ථනා කරමි.


රත්නපුරයේ නන්ද හිමි

කොළඹ නාරාහේන්පිට ශ්‍රී ශාරිපුත්‍ර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ගාලු බස්නාහිර දෙපළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක රත්නපුරයේ නන්ද නාහිමි විසින් ස්වකීය ජන්ම භූමිය වූ රත්නපුර ඕපනායක හුණුවල ග්‍රාමීය රෝහල සඳහා වාට්ටු සංකීර්ණයක් ඉදිරිකරවා පිරිනැමූහ.

එම අවස්ථාවට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය අනුනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ තෛ‍්‍රනිකායික සම්භාවනීය මහා සඟරුවන, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ පළාත් සෞඛ්‍යය අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් ද සහභාගි වූහ.


ලේල්වල සමිත මාහිමි

දෙහිවල ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති, කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය, කොළඹ මහානාම විද්‍යාලයේ ධර්මාචාර්ය, ශාස්ත්‍රපති ලේල්වල සමිත හිමියන්ගේ හැටවන ජන්ම දිනය ජනවාරි 20 වැනි දිනට යෙදේ. එදිනට එම හිමියන් තිස් තුන් වසරක ගුරු සේවයෙන් විශ්‍රාම ලැබීමට ද නියමිත ය.

අනතිමානී ගුණයෙන්, ප්‍රිය වචනයෙන් යුතුව පරමාදර්ශී දිවි පෙවෙතක් ගත කරන ලේල්වල සමිත හිමිපාණන් වහන්සේට ලෝක ශාසනික අර්ථ චර්යාවෙහි යෙදීම පිණිස ආයු ආරෝග්‍ය සම්පත් ලැබේවා'යි අපගේ ප්‍රාර්ථනයයි.


රේටියගම විමලසාර මාහිමි

ගණිහිමුල්ල ශී‍්‍ර බෝධිරුක්ඛාරාමාධිපති, මිනුවන්ගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි ධුරන්ධරව වැඩහිඳ අපවත් වී වදාළ රේටියගම විමලසාර මාහිමිපාණන් වහන්සේගේ තෙවසර පූර්ණ ගුණානුස්මරණ පුණ්‍යානුමෝදනා පින්කම මෙම මස 21 දිනට යෙදී ඇත. උන්වහන්සේ සිහිපත්කර සැමරුම් ආගමික පින්කම් මාලාවක් ගණිහිමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


උඩුගම විමලකිත්ති නා හිමි

ඓතිහාසික ගොරකාන පුරාණ කන්දේ රාජ මහා විහාරය, හොරේතුඩුව පුරාණ සංඝිකාරාමය, වත්තල්පොල සිරිනිවාසාරාමය, අඟුලාන ශ්‍රී ඤාණවිමල බෞද්ධ මධ්‍යස්ථානය යන සිව් මහා විහාරාධිපති, පානදුර උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රයිගම්, හේවාගම් පස්යොදුන් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති උඩුගම විමලකිත්ත්‍යාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය පුණ්‍යවන්ත ජීවන ගමනේ හැත්තෑපස්වන වියට පා තැබූහ.

ශාස්ත්‍රපති උඩුගම විමලකිත්ති නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් යෙහෙන් වැජඹෙන්නට නිරෝගී සුවය දීර්ඝ ආයුෂ දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා'යි පතමි.


මාලිගාතැන්නේ ධම්මාරාම හිමි

සම්බුදු සසුන්කෙත ඒකාලෝක කරන, ධර්ම විනයධර මාලිගාතැන්නේ ධම්මාරාම නාහිමිපාණන් වහන්සේ සිදුකළ සමාජීය, ආගමික, සංස්කෘතික සේවාවන් උදෙසා පසුගිය ජනවාරි 20 වැනි දා “ධර්ම කීර්ති ශ්‍රී සෝමානන්ද”යන ගරු නාමය සහිතව මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වය විසින් හාපටිගම කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. ඓතිහාසික බදුලු මුතියංගණ රාජමහා විහාරාධිපති වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පුඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහා නා හිමියන්ගේ මූලිකත්වයෙන් එම උත්සවය පැවැත්වුණි.


වෙලන්ගහවත්තේ ඉන්දරතන නා හිමි

විශේෂ කම්මවාගාචාර්ය, වෙලන්ගහවත්තේ ප්‍රවචන කීර්ති ශ්‍රී සිද්ධාර්ථ ඉන්දරතන විජිතරතනාභිධාන නාහිමිපාණන් වහන්සේ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූහ.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]