[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ස්වර්ණමාලි චෛත්‍යරාමාධිකාරි ධුරයෙන් පිදුම් ලැබූ ඊතලවැටුණවැවේ ඥානතිලක නාහිමියෝ

ස්වර්ණමාලි චෛත්‍යරාමාධිකාරි ධුරයෙන් පිදුම් ලැබූ ඊතලවැටුණවැවේ ඥානතිලක නාහිමියෝ

දෙස් විදෙස් දහස් සංඛ්‍යාත ජනතාවක් හා දෙවි බඹුන්ගේ වන්දනාවට නිරන්තරයෙන් ම ලක්වන මහා පුණ්‍ය භුමියක් වන ස්වර්ණමාලි සෑ රදුන්ගේ

භාරකාරත්වය යතින්ද්‍රයන් වහන්සේට හිමිවීම බෞද්ධ ලෝකයාගේ ඉමහත් සතුටට හේතුවකි. ඒ මිරිසවැටි පුදබිමේ වත්මන් දියුණුවට උරදෙන ඊතලවැටුණවැවේ ඥානතිලක නාහිමියෝ ය.

1969 මැයි 01 වන දින උපන් උන්වහන්සේ රත්මල්ගහවැව ඊතලවැටුණවැව ග්‍රාමයේ ළමා කාලය ගත කරමින් මහකුඹුක්වැව විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය.

1981 මැයි මස 13 වන දින පැවිදිබිමට පත් වන්නේ එවකට අටමස්ථානාධිපති පදවිය හෙබවූ පල්ලෙගම ඥානරතන නාහිමියන්ගේ හා ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරිව වැඩ විසූ ඇතිනිමලේ ගුණරතන නා හිමියන්ගේ ශිෂ්‍ය පුත්‍රයකු ලෙසිනි. මහාවිහාර පිරිවෙනින් හා සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙනින් පිරිවෙන් අධ්‍යාපනය සාර්ථකව නිමාකළ උන්වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේ දී උපාධිය හිමි කර ගත් අතර අනතුරුව කැලණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාපති උපාධිය ද හිමි කර ගැනීමට සමත් වූහ.

අටමස්ථානාධිපති පදවිය හොබවා පසුගිය මස අපවත් වි වදාළ පල්ලේගම සිරිනිවාස නාහිමියන් ඥානතිලක නාහිමියන්ට පෙර මිරිසවැටියෙහි විහාරාධිකාරින් වහන්සේ වශයෙන් විශාල වැඩ කොටසක් ආරම්භ කොට තිබුණි. විශේෂයෙන් මිරිසවැටි දාගැබ ප්‍රතිසංස්කරණය මෙහිදී විශේෂය.1987 පොසොන් පොහොය දින මිරිසවැටි දාගැබේ කොත් පැළඳවීමට යොදා ගෙන තිබුණ ද ඊට පෙර දින රාත්‍රියේ පිරිත් ආරම්භවීමත් සමඟම දාගැබ ගුගුරා කඩා හැලුන හෙයින් නැවතත් සිරිනිවාස නාහිමියන්ගේ අධීක්ෂණයෙන් 1991 මාර්තු මස 12 වන දින චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළහ. එහෙත් මෙම කටයුතු අරඹා සිදු කර ගෙන යන අතරතුර අභයාරාමාධිකාරිව වැඩ විසු පෙරිමියන්කුලමේ උපතිස්ස නාහිමියන් අපවත්වීම නිසා සිරිනිවාස නාහිමියන්ට අටමස්ථානාධිපති නාහිමියන් එහි වගකීම් පැවරුහ.

ඉන් පුරප්පාඩු වූ මිරිසවැටි චෛත්‍යාරාමයේ විහාරාධිකාරී ධුරයට මිට විසි නව වසරකට පෙර පත් වූ අපේ ඥානතිලක නා හිමියෝ ඉටු කොට ඇති සංවර්ධන ක්‍රියාදාමය විශිෂ්ට ය.

අටමස්ථාන කාරක සභාවේ ලේකම් ධූරය උසුලන උන්වහන්සේ අටමස්ථානය මගින් ඉටු කෙරෙන ජාතික, ශාසනික, අධ්‍යාපනික හා සුබසාධන ක්‍රියාවලියට සක්‍රිය දායකත්වයක් ලබා දෙති.ජනාධිපති උපදේශක සභාව,ලෝක බෞද්ධ සම්මේලනය ,ශ්‍රී ලංකා කොරියන් බෞද්ධ සභාව (සභාපති),රජරට විශ්ව විද්‍යාලයේ පීඨ සභාවේ සාමාජික ,ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ සාමාජික,ඊස්ට් ලන්ඩන් බෞද්ධ විහාරයේ භාරකාර මණ්ඩලයේ විධායක සාමාජික හා අනුශාසක,අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට මංපෙත් විවර කිරීම වෙනුවෙන් වූ සාම සේවා සංවිධානය, වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි අනුශාසක ආදී වැදගත් වගකීම් සහිත ආයතන ගණනාවක විවිධ නිලතල දරමින් ක්‍රියාකාරීව කටයුතු කළ උන්වහන්සේ 2020 ජූලි මස 24 වැනි දින රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත් කිරීම වැදගත් ඓතිහාසික තීන්දුවකි.

අපේ ඊතලවැටුණවැවේ ඥානතිලක නාහිමියන්ට පුරාකෘත මහා පින් බෙලෙන් වත්මනෙහි හිමි වි ඇත්තේ තවත් මහා භාරදූර වගකීමක් සහිත උතුම් ශාසනික පදවියකි. එනම් ඓතිහාසික ස්වර්ණමාලි මහා චෛත්‍යාරාමාධිකාරි පදවිය යි. ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු මෙම පූජනීය ස්ථානය දියුණු කිරීම හා අනාගත පරපුරට සුරක්ෂිත කිරීම උන්වහන්සේට උරුම වන වගකීම යි. එම වගකීම ඉසිලීමට අවශ්‍ය ධෛර්ය හා සුදුසුකම් ඕනෑවටත් වඩා සපුරා ඇති අභිනව රත්නමාලි චෛත්‍යාරාමාධිකාරි ඊතලවැටුණවැවේ ඥානතිලක නායක මාහිමියන්ට තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් හා සමදිටු දෙවි රැකවරණින් ශක්තිය ධෛර්යය සැලසේවා'යි ආශංසනය කරමු.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම
මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය
මහියංගණයේ පඤ්ඤානන්ද හිමි

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]