[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

අරුත්සුන් දිවියට අරුතක් සොයා යන දසසිල් මාතාවකගේ කතාව

අරුත්සුන් දිවියට අරුතක් සොයා යන දසසිල් මාතාවකගේ කතාව

ජීවිත දහස් ගණනක් බිලිගත් සුනාමිය මුහුදුබඩ ප්‍රදේශයන්ට කළ විනාශය ඇය පළමුවෙන් ම දුටුවේ රූපවාහිනියෙනි. එමඟින් උන්හිටිතැන් අහිමි වූ ජනතාව සරණාගතයන් සේ කඳවුරුවල වෙසෙන අයුරු ද ඇය දුටුවා ය. ඇයගේ ස්වාමිපුරුෂයාට දන්වා පාණදුර ප්‍රදේශයේ ඉඩමක් සොයා බැලුවා ය.

ඒ අවතැන් ජනතාවට හිසට සෙවණක් දෙන්නට ය. ඇයගේ අදහස දැනගත් ඉඩම් හිමි තැනැත්තා ඉඩමක් නොමිලේ ම ලබා දුන්නේ ය. ඇය එහි නිවාස 30ක් තනවා අවතැන් වූවන්ට ලබා දෙන්නට කටයුතු කළා ය. එමෙන්ම ඉන්දියාවේ කොසඹෑනුවර කළ සංචාරයක දී ඇය එහි චෛත්‍යයක් ඉදි කළේ එම අඩුපාඩුව දුටු නිසා ය.

එහිදී ඇය තවත් මහඟු පුණ්‍යකර්මයක් ද කළා ය. ඒ කොසඹෑනුවර (කෝසම්බි) දිළිඳු දරු දැරියන්ට අවශ්‍ය පාසල් පහසුකම් සපයා දීමෙනි.

ඒ සියල්ල ඇය කළේ කිසිදු ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන් නොවේ. ඇය කළ ඒ සේවාවන් එසේ සැඟව ගොස් තිබුණේ ඒ නිසා ය. මීට අමතරව පොත් ගණන් ලිවිය හැකි පුණ්‍යකර්මයන් ඇය විසින් සිදු කර තිබුණි.

ඇය එකල ශ්‍රී දේවි සිල්වා ය. අද වැල්ලවත්තේ මාතිකමාතා දස සිල් මාතාවන් ය.

අද උන් වහන්සේගේ ලොකුම බලාපොරොත්තුව වී ඇත්තේ කොළඹ 6 වෛශාඛ්‍ය විද්‍යාලයේ 5 ශිෂ්‍යත්ව පන්තිය ඉක්මණින් මහල් 4කින් තනා නිම කර දීමටයි. ඒ වෙනුවෙන් උන්වහන්සේ නිරතුරුවම පාසලට ගොස් එහි කටයුතු සොයා බලන්නේ තනිව මඟතොට යාමේ දැඩි අපහසුවක් පවා තිබියදී ය.

මගේ මහත්තයා 2010 අවුරුද්දෙ මිය ගියා. ඒත් මම අනුන්ට උපකාර කරන එක නැවැත්තුවේ නැහැ. ඊටත් වඩා මම සියල්ල අත්හැරීමට පුරදු වුණා. මට දූ දරුවන් නැති නිසා ලොකු බැඳීමක් තිබුණෙ නැහැ. මා සතු සේරම වස්තුව මම දනට පිනට දුන්නා. ගෙදර තිබුණු වාහන 3ක්ම පූජා කළා. ඒ වගේම පාණදුර තියෙන ගෙවල් 3ක් නාවික හමුදාවට පරිත්‍යාග කළා. ඒ විදිහට සේරම අතහැරලා මම 2018 අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ 22 වැනි දා පැවිදි වුණා. ඒ වැල්ලවත්තේ යමුණා ආරාමයේ දි. කොටුගොඩ ධම්මාවාස මහ නා හිමියන්ගේ උපදෙස් හා අනුශාසකත්වයෙන්.

පැවිදි වුණත් මම කාටවත් කරදරයක්, හිරිහැරයක් වෙන්න කටයුතු කෙළේ නැහැ. ගෙදරම මගේ ආවාසය කර ගත්තා. ඒකෙ ඉහළ මාලය මම වෙනම බුදු මැදුරක් තනලා වෙනම නේවාසිකාගාරයක් විදිහට හැදුවා. මම ඒ මහල භික්ෂූන් වහන්සේට ගිලානෝපස්ථාන කරන මධ්‍යස්ථානයක් ලෙස රුවන්වැලි මහ සෑ විහාරාධිකාරි ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන්ට පූජා කළා.

ඔය අතරෙ මම දවසක් දැක්කා කොළඹ 6 වෛශාඛ්‍ය විද්‍යාලයේ ළමයින් 4 දෙනෙක් විතරක් ඉස්කෝලෙ ඉගෙන ගන්න බව. ඒ අතරේ ලින්ඩ්සේ බාලිකා විදුහලේ ළමයින්ට වාඩිවෙන්නවත් තැනක් නැහැ.

මම මේ ගැන අධ්‍යාපන ඇමැතිට කරුණු පැහැදිලි කළා. ඒ අනුව ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය වෙනකල් දූවරුන් වෛශාඛ්‍ය විද්‍යාලයට ගෙනාවා. 5 ශ්‍රේණිය ගේන්න ගොඩනැඟිල්ලක් නැහැ. මම තට්ටු 4 ගොඩනැඟිල්ලක් හදන්න සැලසුම් සකස් කළා. පහුගිය ජනවාරි 27 වැනිදා ඒ කාර්යයට මුල් ගල තිබ්බා. ඒක පළමු මහල පංතිකාමර 4කින් මම හදල දෙනවා.

‘‘අත්හරින්න, අන්‍යයන්ට දෙන්න පුරුදු වෙනවා නම් අපිට ජීවිතේ හරිම පහසුවෙන් ගත කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අතීතයේ අපේ මුතුන් මිත්තන්ට තිබුණෙ සරල දිවියක් නිසා ප්‍රශ්න අඩුවෙන් තිබුණෙ සමඟියෙන් සමාදානයෙන් ජීවිතය ගත කෙළේ. අනෙකා ගැන හිතන්න. පවුලේ සමඟිය සමාදානය ඇති කර ගන්න. එතකොට අපිට ලස්සන ලෝකයක් හදාගන්න පුළුවන්‘‘

ඒ උන්වහන්සේගේ ඉල්ලීමයි.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]