[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

භික්ෂු ප්‍රතිරූපය නිවැරැදි නම් ජයගත නොහැකි අභියෝගයක් නැහැ

භික්ෂු ප්‍රතිරූපය නිවැරැදි නම් ජයගත නොහැකි අභියෝගයක් නැහැ

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ නවකෝරළයේ ප්‍රධාන සංඝනායක කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ධර්මශාස්ත්‍ර විශාරද පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය (ගංගාරාම පොඩි හාමුදුරුවෝ)

අපේ රටේ සමාජ සංවර්ධන ක්‍රියාවලියෙහිත්, දේශීය හා විදේශීය ධර්ම ප්‍රචාරයෙහිත් විශිෂ්ට නායකත්වයේ සලකුණක්වන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ධර්ම ශාස්ත්‍ර විශාරද පූජ්‍යපාද ගල්බොඩ ඤාණිස්සර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ කුඩා අවධිය, ගුරු හාමුදුරුවන්ගෙන් ලැබුණු ආභාසය පැහැදිලි කරමින් සාකච්ඡාව ආරම්භ කරමු අපේ හාමුදුරුවනේ.

ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ හැටියට චිර ප්‍රසිද්ධියක් ලබා තිබෙන්නේ මගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ වුණ දෙවුන්දර වාචිස්සර නායක හාමුදුරුවෝ.

සැදැහැති මව්පියන්ගෙන් ලැබුණු ශාසනික දායාදයත්, පූර්වෝකෘත පුණ්‍ය මහිමයත් මත 1954 වර්ෂයේ නොවැම්බර් මස 08 වැනි දා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පුණ්‍ය භූමියේදී උතුම් ප්‍රව්‍රජ්‍යාභූමියට පත් වුණා. මගේ ආචාර්යපාදෝත්තමයාණන් වහන්සේ වශයෙන් කටයුතු කළ කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝනායක පූජ්‍ය දෙවුන්දර ශ්‍රී සුමංගල ජිනරතන වාචිස්සරාභිධාන නා හිමිපාණන් වහන්සේ මේ අවස්ථාවේ දී ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. උන්වහන්සේගේ අනුශාසනා පරිදි සාමණේර බණ දහම් ශාසනික වත්පිළිවෙත් සියල්ලම පුරුදු පුහුණු වුණා.

එපමණක් නොවෙයි, බුදුසිරිත ඇසුරින් කාලය කළමනාකරණය කරගෙන කටයුතු කරන ආකාරය උන්වහන්සේ මට කියලා දුන්නා. ඒ වගේම උන්වහන්සේ නිතරම ශාස්ත්‍රීය පොත පත පරිශීලනය කළ වියත් පඬිරුවනක් . අපේ විහාරස්ථානයේ තිබුණ ජිනාලංකාර මුද්‍රණාල යන්ත්‍රයෙන් පන්සියපනස් ජාතක පොත, පිරුවානා පොත් වහන්සේ, රසවාහිනිය, පාලි වර නැඟිල්ල , ධම්මපදය වැනි ග්‍රන්ථ මුද්‍රණය කරනවා මම දැක්කා. ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබුවේත් මම පැවිදිවුණ ගංගාරාම ඥානේශ්වර පිරිවෙනේමයි. ශාසනික යෝග්‍යතා සපුරාලීමෙන් අනතුරුව පූර්වෝපචිත කුසලශී‍්‍රය අනුව 1964 වර්ෂයේ ජුනි 21 වැනි දින මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේදී උතුම්වූ සුපරිශුද්ධෝපසම්පදාව ලබා ගැනීමටත් භාග්‍යවන්ත වුණා. ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබා ගැනීමට විද්‍යෝදය පිරිවෙනට වැඩිපුරම පා ගමනින් තමයි වැඩම කළේ. 1967 වර්ෂයේ දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තා.

මට අවුරුදු 16ක් පමණ වන විට ගුරු හාමුදුරුවන් වහන්සේගේ ඇස්පෙනීම දුර්වල වුණ නිසා ගංගාරාම විහාරස්ථානයේ පරිපාලන කටයුතුවලට සම්බන්ධවීමටත් සිදුවුණා.

ඒවගේම නායක හාමුදුරුවෝ ග්‍රාමීය පරිසරය පි‍්‍රය කළ නිසාම එම ආභාසයත් මට ලැබුණ නිසා පරිසරය රැකගන්න ගස්කොළන් වවන්න හිතුණා. අදටත් බේරේ වැව වටේ තිබෙන්නේ අපි සිටවපු ගස් කොළන්. ඒ වගේම ඉතිහාසය පින්තූරවලට අඹා පයින් ඇවිදගෙන යන ළමයින්ට ඉතිහාසය කියාදෙන්න මම උත්සාහ කළා. මේ ආකාරයට තමයි මගේ කුඩා අවධිය ගතවුණේ.

ජාතික සහ ජාත්‍යන්තර කීර්තියට පත් බහුශ්‍රැත පඬිරුවනක් වූ නායක හිමිපාණන් වහන්සේ මෙරට ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා දියත් කරන ලද සේවා රාශියෙන් නාම මාත්‍රයක් හෝ සඳහන් කරනවා නම් වටිනවා නායක හාමුදුරුවනේ,

ගංගාරාමය දර්ශනීය විහාරස්ථානයක් බවට පත් කළා පමණක් නොවෙයි, දේශීය සංස්කෘතිකාංග පෝෂණය කරමින්, ආගමික ප්‍රබෝධය ඇතිකිරීමට 1979 වර්ෂයේදී නවම් මහා පෙරහර ආරම්භ කළා.

ඒ වගේම පාසල් හැර යන දරුවන්ට රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් නායක හාමුදුරුවන්ගේ නමින්ම ජිනරතන කාර්මික විද්‍යාලය ආරම්භ කළා. ළමුන් 4000කට අධික ප්‍රමාණයකට නොමිලේ අධ්‍යාපනය ලබාගත හැකියි. ඒ වගේම 50,000කට අධික පිරිසකට නොමිලයේ අධ්‍යාපනය ලබා ගැනීමට විවිධ ප්‍රදේශවල කාර්මික පාඨශාලා 50කට අධික ප්‍රමාණයක් ආරම්භ කළා. ශාසනික අභිවෘද්ධිය උදෙසා ඥානේශ්වර නායක හාමුදුරුවන්ගේ නමින් ගංගාරාමස්ථ ශ්‍රී ඥානේශ්වර විද්‍යායතන පිරිවෙන ආරම්භ කළා. පිරිවෙන් ආචාර්ය, පරිවේණාධිපති වශයෙන් ධර්ම ශාස්ත්‍රීය සේවය ද සිදු කරමින් පිරිවෙන් නඟාසිටුවීම සඳහා පිරිවෙන් 400කට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමටත් පුංචි හාමුදුරුවන් වහන්සේලාට ශිෂ්‍යත්ව ලබාදීමටත් ක්‍රියා කළා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් උපදේශකවරුන් ලෙස ශාසනික දායකත්වයක් ලබා දුන්නා. ප්‍රාචීන පණ්ඩිත උපාධිය විශ්වවිද්‍යාලයේ ර්.ඒ. උපාධියට සමානකර වැටුප්තලවල පිහිටුවන්න උපදෙස් ලබා දුන්නා. සුචරිතවත් දරු පිරිසක් ගොඩනැඟීමට ශ්‍රී සුමංගල දහම්පාසල ආරම්භ කළා වගේම පාසල් පොත්, නිල ඇඳුම් නොමිලේ ලබාදීම සඳහා උපදෙස් ලබා දුන්නා. පක්ෂ දේශපාලනයට නොගියත්, පත් වූ සෑම දේශපාලකයකුම කළ යුතු වැඩ මොනවා දැයි පෙන්වා දුන්නා.

ඒ වගේම 1970සිට එංගලන්තය, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතවුණා. අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බෞද්ධ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් ගංගාරාමයට අනුබද්ධව ස්ටේටන් අයිලන්ඩ් බෞද්ධ විහාරය, ටැංසානියේ දරුශලාම් බෞද්ධ මධ්‍යස්ථානය, එංගලන්තයේ බර්මිංහැම්නුවර බෞද්ධ විහාරය ආදී ස්ථාන මඟින් විදේශීය ධර්මදූත සේවා රැසක්ම පවත්වාගෙන යාමට කටයුතු කළ අතිවිශේෂ බුද්ධ ප්‍රතිමා රථයක් සූදානම් කරමින් ගම්බද බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව වැඩිදියුණු කළා.

වසර ගණනාවක්ම කොළඹ හදිසි අනතුරු වාට්ටුව නඩත්තුකිරීමට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. ජයවර්ධනපුර කෝට්ටේ ආබාධිත හා වැඩිහිටි නිවාස ඉදිකරමින් ඔවුන්ට රැකවරණය ලබා දුන්නා.

සැදැහැවතුන්ගේ පහසුව සඳහා කතරගම විශ්‍රාම ශාලාවක් ඉදිකළා. එම ප්‍රදේශයේ ගොවි ජනතාවට ජල පොම්ප ලබා දෙමින් ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කළා.

ඒවගේම විහාරස්ථානයේ ධාතු මන්දිරයක් නිර්මාණය කරමින්,කොළඹ බෞද්ධ පුනරුදයක් ඇතිකිරීමට ක්‍රියා කළා. ගංගාරාමය ආසන්නයේ ඇති බේරේ වැවේ ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් හා කෞතුකාගාරයකින් යුක්ත රමණීය සීමා මාලකයක් තැනවීමටත් කටයුතු කළා.

ගංගාරාමාධිපති කියා පාවිච්චි කළේ නැතත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ කිව්ව පමණින් ලෝකයාම දන්නා තරමට මම විශ්වාසය ගොඩනැඟුවා. මම සිදුකළ ජාතික, ආගමික, ශාසනික, සාමාජීය සේවය සම්භාවනාවට පාත්‍ර කළ මල්වතු මහා විහාරයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විංශත් වර්ගික කාරක සංඝ සභාව මඟින් ධර්ම ශාස්ත්‍ර විශාරද යන අභිධානය සහිතව කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීමට කටයුතු කළා.

චිරරාත්‍රඥ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක වශයෙන් හැදෙන වැඩෙන නූතන භික්ෂූන් වහන්සේ භික්ෂු ආකල්ප වර්ධනය කරගෙන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අදහසක් ඉදිරිපත් කරමින් සාකච්ඡාව අවසන් කරමු නායක හාමුදුරුවනේ,

බුදුදහම මානව සත්වයා කේන්ද්‍රකොට දේශනා කළ දහමක්. බෞද්ධ අබෞද්ධ ඕනෑම කෙනකුට බුදුදහමින් ප්‍රයෝජන ගත හැකියි. භික්ෂූන් වහන්සේ බුදුදහමට අනුව ක්‍රියාකිරීම ඉතාම වැදගත්. මම සෑම විටම පක්ෂ දේශපාලනයෙන් මිදී කටයුතු කිරීමට වගබලා ගත්තා. පහළවුණ හැම පාලකයකුගෙන් ම රටට වැඩක් කර ගැනීමට උත්සාහ කළා මිසක් කිසිදිනක රාජ්‍ය පෙරළීමට සටන් කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රබල රජවරුන් සමඟ කටයුතු කළ ආකාරය නිදර්ශනයට ගෙන ඒවා පූර්වාදර්ශ ලෙස ගැනීම ඉතා වැදගත්. ඒ වගේම භික්ෂූන් වහන්සේ ඉතාම සරලව නිහතමානීව පරාර්ථකාමීව කටයුතු කළ යුතුයි. පාලකයෝ අද ශක්තිමත් වුණත් හෙට දුර්වල වෙනවා. නමුත් චීවර පිණ්ඩපාත, සේනාසන ගිලානප්‍රත්‍ය යන සිව්පසය නිසා භික්ෂුන් වහන්සේ කිසිවකුටත් හිස නොනැමිය යුතු බවට බුදුන් වහන්සේ පෙන්වා දුන්නා.

භික්ෂූන් වහන්සේට නිවැරැදි පිළිගැනීමක් තිබෙන නිසා පොදු ජන සිතිවිලි හඳුනාගෙන ගමට රටට වැඩදායක ලෙස කටයුතු කිරීමට තරුණ භික්ෂූන් වහන්සේ ආදර්ශවත් විය යුතුයි. සිත නිවෙන සිතිවිලි, සන්සුන් පිළිවෙත් ගොඩනඟා ගත යුතුයි. භික්ෂූන් වහන්සේට අහිමිවීමට යමක් නැති නිසා අයිතිය පසෙකට දමා උරුමය හා භුක්තිය පෙරටු කර ගමිනින් භික්ෂුව ක්‍රියා කළ යුතුයි. භික්ෂු ප්‍රතිරූපය නිවැරැදි නම්, ජයගත නොහැකි අභියෝගයක් නැහැ. කෙලෙස් නින්දෙන් අවදිවී නිකලෙස් මනසක් පුබුදුවාගෙන අභියෝග ජය ගන්නට පූර්වාදර්ශයක් වෙමින් කටයුතු කරන්න යැයි මා තරුණ භික්ෂු පරපුරට සිහිපත් කරනවා.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]