[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

නිදහස් සටනේ අමරණීය නායකත්වය ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණෝ

නිදහස් සටනේ අමරණීය නායකත්වය ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණෝ

මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් උරදුන් මෙරට ප්‍රථම හා විශාලතම තොරතුරු විකිණීමේ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වූයේ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් ය. එතුමා උගත්, බුද්ධිමත්, ජාති හිතෛෂී, නිර්මාණශීලී පුද්ගලයෙකි. අපූර්ව සංවිධානාත්මක හැකියාවක් ඇති නායකයෙකි.

පත්තර මහ ගෙදර යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘවරයාණන් වූ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 137 වැනි ජන්ම දිනය මෙම 23 දාට යෙදී තිබේ. එතුමාට කෘත ගුණ පිණිස මේ ලිපිය පළවේ.

සේදවත්තේ විසූ දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම් මහතාගේ හා හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ තෙවැනි පුත්‍ර රත්නය ලෙස එතුමා උපත ලබන්නේ 1886 පෙබරවාරි 23 වැනි දා ය. නමින් දොන් රිචඩ් විජයවර්ධන නම් විය.

කුඩා කල සිට ආගමික පසුබිමක් ඇතිව හැදුණු වැඩුණු ඩී.ආර්. විජයවර්ධනයන් ජාතික හැඟීමෙන් ද පෝෂණය විය.

උසස් අධ්‍යාපනය සඳහා කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් විය. එහි දී නිදහස් දේශපාලන මතධාරියකු වන ඉන්දියානු අධිරාජ්‍ය මන්තී‍්‍ර මණ්ඩලයේ මන්ත්‍රීවරයකු වූ ගෝපාල් ක්‍රිෂ්ණා ගෝඛලේ මහතා මුණ ගැසීමෙන් විජයවර්ධනයන්ගේ දේශපාලන හැඟීම් වර්ධනය විණි. එසේ ම නීතිඥ ඉංගී‍්‍රසි ජාතික එෆ්.එච්.එම්. කෝබට් මහතාගේ ඇසුරේ ජාතිමාමක හැඟීම් ටිකෙන් ටික පෝෂණය වන්නට විය.

එංගලන්තයේ අධ්‍යපනය ලබන කාලයේ සමකාලීනයකු වූ ඉන්දියාවේ ශ්‍රී ජවහල්ලාල් නේරු වැනි අයගේ ඇසුර ද තම මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් යමක් කළ යුතු ය යන හැඟීම ජීවිතානුබද්ධ කර ගැනීමට ඉවහල් විය. මෙතුමා එංගලන්ත කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනයෙන් පසු 1912 දී නැවත මෙරටට පැමිණෙන්නේ බැරිස්ටර්වරයකු ලෙසිනි.

මෙරටට පැමිණෙන විජයවර්ධනයන්ට නීති අංශයෙන් හෝ තම පිය පාර්ශවයේ සාම්ප්‍රදායික ව්‍යාපාර ඉදිරියට ගෙනයෑමෙන් පහසු ජීවිතයක් ගත කළ හැකිව තිබුණි.

විජයවර්ධනයන් එංගලන්තයේ සිට මෙරටට පැමිණි මුල් කාලයේ සිට ම රටට නිදහස ලබා ගැනීමට සර්.ඩී.බී. ජයතිලක, ඒ.ඊ. ගුණසිංහ, පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම්, එෆ්.ආර්. සේනානායක, ඩී.එස්. සේනානායක, සිද්ධි ලෙබ්බේ වැනි ජාතික නායකයන් සමඟ එක්ව කටයුතු කළේ ය.

1913 ඔක්තෝබර් මස 23 වැනි දා පැවැති ලංකා ජාතික සමිති රැස්වීමේ දී ඩී.ආර්. විජයවර්ධනයන් මෙම සමිතියේ ලේකම් බවට පත්වීම එතුමා මෙරට දේශපාලනයට ක්‍රියාශීලීව පිවිසි මුල් අවස්ථාව ලෙස එකල දේශපාලන විචාරකයෝ හැඳින්වූහ.

1912 දී උසස් අධ්‍යාපනයට බ්‍රිතාන්‍යයට ගොස් සිටි. ඩී.ආර්.විජයවර්ධනයන් අධිනීතිඥවරයකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන විට මෙරට තිබුණේ නගරයට සීමා වූ ඉංගී‍්‍රසි පුවත්පත් අධිරාජ්‍යයකි. මෙරට බහුතර ජනතාව වූ සිංහල ජනතාවට කියවීමට දිනපතා සිංහල පුවත්පතක් නොවීය.

1909 වර්ෂයේ ආරම්භ වූ දිනමිණ පුවත්පත එම කාලයේ දී මෙරට ජනපි‍්‍රයතම පුවත්පතක් ව තිබූ අතර එහි ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළේ එච්.එස්. පෙරේරා මහතා ය. ඔහු රෝගාතුරු වීම නිසා දිනමිණ පුවත්පත පවත්වාගෙන යෑම පිළිබඳ ගැටලුවක් මතුව තිබුණි. ඒ තත්ත්වය තුළ විජයවර්ධන මහතා කළේ දිනමිණ පුවත්පත වැසී යා නොදී එහි කලමණාකාරීත්වය පවරා ගැනීම ය. ඒ අනුව 1914 දී. ඩී.ආර්. විජයවර්ධන මහතා විසින් දිනමිණ මිලට ගනු ලැබුවේ ඩී.බී. ජයතිලකයන්ගේ ද උපදෙස් මත ය.

“සීලනීස්” නමින් පළ වූ ඉංගී‍්‍රසි පුවත්පත 1918 දී මිල දී ගෙන 1918 ජනවාරි 03 වැනි දා “ඩේලිනිවුස්” ලෙස ප්‍රකාශයට පත් කළේ ය.

නිදහස සඳහා හඬක් නඟන්නට නිදහසේ නායකයන් වශයෙන් ප්‍රකට වූ ඩී.එස්. සේනානායක, ඩී.බී. ජයතිලක වැනි නිදහස් සටනේ විරුවන්ට ඩේලිනිවුස් පුවත්පත තෝතැන්නක් විය.

ඉන් නොනැවතුණ එතුමා 1923 දී ෆර්ගියුසන් පවුල සතුව තිබූ “සිලොන් ඔබ්සවර්” පුවත්පත ද මිල දී ගෙන නව්‍යතාවයෙන් යුක්තව එදා මුද්‍රණය කළේ ය.

මේ ආකාරයෙන් පුවත්පත් ආරම්භ කළ ද ඒ ඒ. කර්තෘ මණ්ඩල කාර්යාල, දැන්වීම් අංශ හා බෙදාහැරීම් අංශ කොළඹ නගරයේ විවිධ තැන්වල පිහිටා තිබුණි. මේ සියල්ල කොළඹ නගරයේ ම සුවිශේෂී එක් ස්ථානයක එකම ගොඩනැඟිල්ලක පැවැත්වීමට හැකියාව තිබුණොත්, ඉතා ලාභදායක මෙන්ම ජනතා පහසුව පිණිස වූ ව්‍යාපාරයක් වනු ඇතැයි ඩී.ආර්. විජයවර්ධන මහතා අපේක්ෂා කරන්නට ඇත.

ඒ අපේක්ෂාව මත එතුමා 1926 දී කොළඹ කොටුවේ බේරේ වැව ආසන්නයේ සුන්දර භූමි භාගයක මෙරට ප්‍රථම වාණිජ පුවත්පත් ආයතනය ලෙස ලේක්හවුස් මන්දිරය විවෘත කළේ, ඩී.ආර්. විජයවර්ධන මහතා එහි සභාපතිවරයා ද වශයෙනි.

ලේක්හවුස් ආයතනය ආරම්භ කිරීමෙන් පසු 1930 මාර්තු 30 වැනි දින ප්‍රථමවරට සියලු අංශ නියෝජනය කරන සාහිත්‍ය, දේශපාලනය, ආගමික යන තුන් පාර්ශ්වය ම රැගත් මෙරට සිංහල සතිපතා පුවත්පත ලෙස එදා මෙන්ම අද ද පත්තර ලොවේ දිදුලන “සිළුමිණ” ඉරිදා පුවත්පතක් ලෙස ආරම්භ කිරීමට විජයවර්ධන මහතා කටයුතු කළේ ය.

විජයවර්ධන මහතා ලේක්හවුස් පුවත්පත් ඔස්සේ පෙරට ගෙන ආවේ අන්තවාදී නොවන මැදහත් ප්‍රගතිශීලි අදහස් ය. කිසිදු විටෙක සිංහල ජාතියට සහ ඉංගී‍්‍රසි ඌරුවට පමණක් තැන දුන් අයකු යැයි සඳහන් කළ නොහැක්කේ, විජයවර්ධන මහතා විසින් 1932 දී තිනකරන් පුවත්පත හා 1948 දී තිනකරන් වාරමංජරී යන දෙමළ ප්‍රකාශන පළ කළ නිසා ය.

බුදුසරණ, මිහිර, තරුණි, සුබසෙත, සරසවිය වැනි අඛණ්ඩව පළවන සතිපතා පුවත්පත් රැසක් අද වන විට ලේක්හවුස් ආයතනය ජාතියට දායාද කර ඇත. මේ ආකාරයෙන් ප්‍රධාන පුවත්පත් රැසක් දායාද කිරීමට ලේක්හවුස් ආයතනයට හැකි වූයේ ඩී.ආර්. විජයවර්ධන මහතා තුළ තිබූ විශිෂ්ට බුද්ධිය දූරදර්ශී ව්‍යාපාරික ඥානය, සංවිධාන ශක්තිය හා කාර්යශූරත්වය යන සාධනීය පෞරුෂත්ව ලක්ෂණ නිසා ය.

ලෝක ප්‍රකට විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා උගතකු වූ විජයවර්ධනයන් තමන් අධ්‍යාපනය ලද පරිසරය හා සමාන පරිසරයක උසස් අධ්‍යාපනය, විදේශ ගතවීමට නොහැකි ලාංකේය දරුවන්ට ලබා දිය යුතු ය යන හැඟීමෙන් කටයුතු කළේ ය. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවීමේ දී ප්‍රබල සහයක් දෙමින් තම සමාජ බලය හා මාධ්‍ය බලය ද යොදා ගනිමින් මේ සටනට සහාය ලබා දුන් අතර අවසානයේ සුන්දර පරිසරයක ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවිය. ඒ වෙනුවෙන් විශාල අනුබලයක් සැපයූ එතුමාට එම සේවය සිහිපත් කරමින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක් ද එතුමාගේ නමින් නම් කළේ ය .ඒවගේ ම එහි පැවිදි ශිෂ්‍යයන් වහන්සේට නොමිලයේ නේවාසික පහසුකම් සඳහා සංඝරාමයක් ඉදිකරවීමට අරමුදලක් පිහිටුවා ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළේ ය.

පුවත්පත් කලාවට එහා ගිය සටන් ඉතිහාසයක් ද එතුමාට තිබේ. එතුමා නිතරම සාධාරණ සහ ප්‍රගතිශීලී සටන්වල දී හොඳ සටන්කරුවකු වශයෙන් ක්‍රියා කළේ ය.

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් බිහිකළ පුවත්පත් සමූහය සහ ඔහු ගොඩනැඟූ ලේක්හවුස් මන්දිරය අදත් නොසැළී පවතින අතර විජයවර්ධන නාමය සදාකාලික වන්නේ මෙම පුවත්පත් සමූහය හා ලේක්හවුස් මන්දිරය පමණක් නොව විජයවර්ධන ශ්‍රී මතාණන්ගේ ප්‍රතිපත්ති හා දර්ශනය පෙරට රැගෙන යෑම ය.

රටට නිදහස ලබා ගැනීමට මෙන් ම රට තුළ අපට ම ආවේණික පුවත්පත් කලාවක් බිහිකිරීම හා මෙරට ප්‍රථම සන්නිවේදන සමාගම ලෙස ලේක්හවුස් ආයතනය පිහිටුවා තරුණ පරපුරටත් ආදර්ශයක් දුන් දොන් රිචඩ් විජයවර්ධන ශි‍්‍රමතාණන් 1950 ජුනි 13 දින වසර 64ක් ආයු ලැබ වියෝ වූයේ එතුමාගේ ශ්‍රී නාමය ලක් ඉතිහාසයේ අමරණීයත්වයට පත් කරමිනි.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]