[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

බවයක් පාසා පසුපස එන වෛරී සිතිවිලි

බවයක් පාසා පසුපස එන වෛරී සිතිවිලි

බුදුරජාණන් වහන්සේ දවස යකින්නියක් එක් කුල කාන්තාවක් හා ඇයගේ කුඩා බිළිඳු දරුවා ගොදුරු කර ගන්නට, ඇයත් දරුවාත් පසු පස ලුහුබඳින්නට විය. මේ යකින්නගෙන් බේරීම සඳහා දිව යන කුල කාන්තාවට ඒ අසල විහාරයක බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බව දැන ගැනීමට ලැබිණි. ඇය සිය බිළිඳු දරුවා ද රැගෙන දිව ගොස් බුදුරජාණන් වහන්සේගේ සිරිපා මුල දරුවා තැබුවා ය.

බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ බලය නිසා ම යකින්නියට විහාරයට පිවිසෙන්නට ඉඩක් නොලැබුණි. මේ නිසා බිළිඳු දරුවාගේ ජීවිතය රැකිණි.

බුදුරජාණන් වහන්සේ යකින්නිය විහාරයට කැඳවා යකින්නියටත්, කුල කාන්තාවටත් දෙදෙනාට ම අනුශාසනා කළහ. සසර පුරා ඔවුනොවුන් අතර වන වෛරී හැඟීම ගෙනහැර දක්වමින් ඔවුන්ගේ අතීත කතාව ගෙනහැර දැක් වූ සේක. පෙර ආත්මභාවයක දී මේ දෙදෙනාගෙන් එක් අයෙක් වඳ ස්ත්‍රියකි. ඇගේ ස්වාමි පුරුෂයාට දරුවකු අවශ්‍ය විය. ඒ නිසා ම ස්වාමි පුරුෂයා තවත් කාන්තාවක් නිවසට කැන්දාගෙන ආවේ ය. මේ දෙවන කාන්තාවට දරුවෙක් පිළිසිඳ ගත්තේ ය.

ඒ බව දැන ගත් පළමු කාන්තාව, ඇයගේ දරුගැබ විනාශ කිරීමට සිතා ගත්තාය. ඒ අනුව ඇය දෙවැනි කාන්තාවට රහසේම විෂ බෙහෙතක් දී දරුගැබ විනාශ කළා ය. මේ ලෙස දෙවතාවක් ම දරු ගැබ විනාශ කරන්නට විය. තුන්වැනි වරට ද ඇයට දරු ගැබක් ඇති විය. ඒ අවස්ථාවේ දී පළමු කාන්තාව නැවතත් රහසේ ම දරු ගැබ නැති කිරීමට බෙහෙත් බොන්නට සැලැස්විය. ඈ අසාධ්‍ය ලෙස රෝගී විය. මිය යන්නට ආසන්න විය. ඇගේ සිතේ පළමු කාන්තාව ගැන තද වෛරයක් ඇති විය. ඒ වෛරය නිසාම පළමු කාන්තාවගෙන් හා ඈට යම් දිනෙක ලැබෙන දරුවන්ගෙන් පවා පළිගන්නා බව සපථ කරමින් මිය ගියා ය.

මේ කුල කාන්තාවත්, යකින්නියත් අතර බැඳුණු ඒ වෛරය භවයක්, භවයක් පාසා ඔවුනොවුන්ගෙන් පළිගැනීමට හේතු විය. මේ අත් බවයේ කුල කාන්තාවගේ බිළිඳු දරුවා මැරීමට යකින්නිය පෙළැඹුණේ පෙර අත්භවයේ දී සපථ කළ වෛරය යි.

බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිගත් යකින්නිය සහ කුල කාන්තාව ඔවුන්ගේ ගැටුමට හේතුව අවබෝධ කර ගත්හ. බුදුරජාණන් වහන්සේගේ අවවාදය, අනුශාසනාව පිළිගත් මේ දෙදෙනා එකිනෙකා අතර පැවති වෛරය ඉවත දමා සුහදත්වය ඇති කර ගත්හ.

වෛරයෙන් වෛරය කිසි කලෙකත් සන්සිඳීමට පත්වන්නේ නැත. බවයෙන් බවයට ගෙන යන්නේ ය. වෛරය තුනී කරන්නට හැකි වන්නේ, සංසිඳවීමට ඉඩ ලැබෙන්නේ අවෛරයෙනි. එහිදී ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය, සුහදතාව අවබෝධයෙන් පුරුදු පුහුණ කර ගත යුතු ය.

නවම් පුර අටවක

ජනවාරි 28 සෙනසුරාදා පූ.භා. 08.48 න් පුර අටවක ලබා
29 ඉරිදා පූ.භා. 09.09 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]