[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

තමන්ගේ කැමැත්ත සියල්ලන්ගේ කැමැත්ත නොවේ

තමන්ගේ කැමැත්ත සියල්ලන්ගේ කැමැත්ත නොවේ

කෙනකුට අයහපතක්,අගතියක් කොට තවත් කෙනකුට ආශිර්වාදයක් ලැබිය නොහැකි සම්බුදු දහමේ අගතින් සතරක් ගැන කියැවේ.

එම අගතීන්ගෙන් යුක්ත වීම සාමය, සමගිය, සහජීවනයට මහත් බාධාවකි. එකිනෙකා සමඟ නිදහසේ ජීවත්වීම හා දේපළ රැකගනිමින් කටයුතු කිරීම උදෙසා සතර අගතියෙන් ඉවත්ව ක්‍රියා කළ යුතුව ඇත. ඡන්දය, ද්වේෂය, භය, මෝහය යනු එම අගතීන් ය.

ඡන්දය නම් කැමැත්තෙන් අගතියට යාම ය.

ද්වේෂය යනු තරහෙන් අගතියට යාම ය.

භය නම් වරප්‍රසාද නැති වේ යැයි භයෙන් අගතිගාමී වීම ය

මෝහය නම් මෝහයෙන් අගතිගාමී වීම ය.

කෙනෙක් අගතිගාමී වන්නේ යම් ප්‍රතිලාභයක් වෙනුවෙනි. අගතිගාමී වීම තුළ ඇතැම් විට ක්ෂණික ලාභ ලැබිය හැකි වේ. එහෙත් දෙලොව අයහපත ඇති කරවීමට මෙය ඉවහල් වේ. එය නතර කළ නොහැකි ය. අගතිගාමී වීම නිසා ඇතිවන ප්‍රධාන පාඩුව, අලාභය වන්නේ පැවැත්මට හා පෞරුෂයට යි.

ඡන්දා දෝසා භයා මෝහා
යෝ ධම්මං නාතිවත්තතී
ආපුරති තස්ස යසෝ
සුක්කපක්ඛේව චන්දිමා

ඡන්දය, ද්වේෂය, භය, මෝහය නිසා යමකු ධර්මය ඉක්මවා කටයුතු නොකරයි ද, ඔහුගේ කීර්තිය පුර පක්ෂයේ සඳ මෙන් බැබළීමට පත් වේ.

කුමන ආගමක් විශ්වාස කළ ද, මෙම ධර්මතාව හැමෝට ම පොදු ය. පක්ෂ, පාට, ජාති, ආගම්, කුල භේදයකින් තොරව සියල්ලෝ ම යහපත් සාමකාමි දිවියක් ගත කිරීමට කැමැති වෙති. එහෙයින් ඉහත දක්වන ලද සතර අගතියෙන් වෙන් ව කටයුතු කිරීම දෙලොවට ම මහත් ලාභයකි.

මව්පියන් නොහැඳිනීම

සමහරු අගතියට යන්නේ කැමැත්තෙනි.

එය පෘථග්ජන ලෝකයේ දැකිය හැකි තත්ත්වයකි. නිවන් ලබන තුරු අඩු වැඩි වශයෙන් මේ තත්ත්වය දැකිය හැකි ය.

කැමැත්තෙන් අගතියට යාම තුළ. මව පියා, බිරිඳ, දියණිය, වැඩිහිටියන්, ගුරුවරුන් ශ්‍රමණ බමුණන් හඳුනා නොගන්නා තත්ත්වයක් උද්ගත වේ. තම අරමුණ වෙනුවෙන් බොහෝ අයහපත් ක්‍රියාවන්ට පෙළඹේ. අයුක්ති සහගත අසාධාරණ කටයුතුවලට පෙළඹේ. එය සිදුවිය යුතු දෙයක් නොවේ. එසේ ම නිලතල, තනතුරු, වගකීම් ලබාදීමේ දී ඡන්දයෙන් අගතියට ගිය පිරිස් ගැටුම් ඇතිවන අයුරින් නුසුදුස්සන්ට පවා වගකීම් පැවරීමට සූදානම් වේ. සහෝදරයා, දුව, පුතා, ඥාතියා වූ පමණින් තනතුරු ලබාදීමට එය සුදුසුකමක් ලෙස නොසැලකිය යුතු ය.

මිනිසුන් බොහෝ ආත්මාර්ථකාමී වන්නේ ඡන්දයෙන් අගතියට ගිය විට ය. තම පවුල, තම ජාතිය, තම ගම, නගරය, පක්ෂය, පාට ලකුණ, තම ආගම ලෙස සමාජය, රට බෙදා ගැනීමට පෙළඹේ. එය කණ්ඩායමක් ලෙස පී‍්‍රතිය, උද්‍යෝගය, ඇති කිරීමට සමත් විය හැකි ය. එහෙත් පොදුවේ ගත් කල යහපත් තත්ත්වයක් නොවේ.

ගෝත්‍රික ජනයා දෙස බලමු. ඔවුහු තම නායකයා, තම ගති පැවතුම් හා ගෝත්‍රික සිරිත් විරිත් වෙනුවෙන් සටන් කරති. ශරීර ශක්තිය මත ජයග්‍රහණ අත්පත් කර ගනිති. එහිදී අනෙක් කණ්ඩායම්වලට බරපතළ හානියක් සිදුවේ. එම ගෝත්‍රිකයන්ට අනුව එය යහපත් විය හැකිය. එහෙත් පොදුවේ මහත් අසහනයකි.

තම කැමැත්ත සියල්ලන්ගේ ම කැමැත්ත නොවන බව තේරුම් නොගන්නාතාක් සමාජ ගැටලු අවම වන්නේ නැත. ඇතම් පිරිස් ගෝත්‍රික වීම හොඳ යැයි අනුමත කරති. ඒ සිය අභිමතය මත කාමභෝගී සම්පත් අසාධාරණ ලෙස භුක්තිවිඳීමේ ඇති බලවත් කැමැත්ත නිසා ය.

කුහක ගතිය

ඡන්දයෙන් අගතියට යන පුද්ගලයා කුහක ගති ඇත්තෙකි. ඔහු සැබෑ අවශ්‍යතාව සඟවා තම අරමුණට යාම සඳහා සිත්ගන්නා කරුණු ඉදිරිපත් කරයි. අසහනය,අරගල, උද්ඝෝෂණ, කළකිරීම්, විනාශය, පරිහානිය ඇති වන්නේ ඒ හේතුවෙනි. මේ තුළ පුද්ගලයන් වශයෙන් ද, සමාජයක් වශයෙන් ද දීර්ඝකාලීනව සිදුවන අයහපත, විනාශය සුළුපටු නොවේ.

කෙලෙස් ප්‍රහීණ නොකළ සෑම කෙනෙක් තුළම තරහ ඇතිවීම ස්වභාවික ය. එහෙත්

ද්වේෂය, තරහව, යහපත් ලක්ෂණයක් නොවේ. කැමැති දේ නොලැබීම තුළ කෙනෙක් තරහ ගනිති. අකැමැති දේ ළං වීම, අපේක්ෂා කඩවීම වැනි තත්ත්වයක් තුළ ද ද්වේෂයට පත් වෙති. ඇතැම් විට මේ තත්ත්වය ඇතිවී නැතිවී යන සුළු ය. ඇතැම් කෙනෙක් ද්වේෂයෙන් අගතියටම යති. එමඟින් භයානක ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවේ. බද්ධ වෛරයක්, ව්‍යාපාදයක් වූ විට සිදුවන අයහපත අතිමහත් ය. ද්වේෂය තරම් අපරාධයක් නැත. කාලි යක්ෂණිය, දෙව්දත් චරිත තුළින් එය හඳුනාගත හැකි ය.

හදවතේ තෙතමනය නොවූ තැන

හිට්ලර්ගේ චරිතය ද කදිම නිදසුනකි. ඔහු නිර්මාංශි පුද්ගලයෙකි. මත් වතුර පානය නොකළ තැනැත්තෙකි. බහු භාර්යා සේවනය නොකළ, දක්ෂ සංවිධාන ශක්තියක් තිබූ නායකයෙකි. එහෙත් ඔහුට නොතිබුණු එකම දෙය හදවතේ තෙතමනයයි. පළිගැනීම කලාවක් නම් ඔහු එහි නිර්මාතෘවරයා යැයි කිව හැකි ය. එහි ප්‍රතිඵලය වූයේ වසර 52 පමණ වන විට ඔහුට තම ජීවිතය පවා අහිමි වීමයි. ද්වේෂයෙන් අගතියට යාමේ ප්‍රතිඵලය එයයි.

ද්වේෂය බද්ධ වෛරයක් වූ විට එකිනෙකාගෙන් පළිගැනීමට පෙළඹේ. එසේම සුදුස්සාට සුදුසු තැන නොදීම, වරප්‍රසාද වැළැක්වීම, කරදර හිරිහැරවලට පත්කිරීම, නැති වැරැදි, පැටලැවීම, නොකළ වැරැදි සඳහා චෝදනා කිරීම, මනුෂ්‍ය ඝාතන, ගෙවල් ගිනිබත් කිරිම, දේපළ විනාශ කිරීම වැනි කෲර ක්‍රියාවන් සිදුකරයි. ද්වේෂයෙන් අගතියට යාම තුළ ගම් අතර, පළාත් අතර, රටවල් අතර, ආගම් ජාති අතර මහත් කෝලාහල නිර්මාණය වේ. භාෂාව හෝ ආගම, පුද්ගල ශරීර වර්ණ මත ප්‍රශ්න ඇතිවී එය වෛරයක් බවට පත්වුවහොත් ඇතිවන හානිය බලපානු ලබන්නේ එයට මුල්වන අදූරදර්ශී ක්‍රියාවන්ට මුල පිරූ පිරිසට පමණක් නොවේ.

නොකළ යුතු දෑ කළ පසු ...

බිය නිසා ඇතැම් අය පහත් තැනට ම වැටෙති. එය සමාජ ව්‍යසනයට හේතු වේ. තම තනතුර සහ වරප්‍රසාද නැතිවේ ය යන බියෙන් ඇතැම්හු පහත් කටයුතු, සදාචාර විරෝධී කටයුතුවල නියැළෙති.

තමන්ට ලැබෙන වස්තුව සහ සමාජ පෞරුෂයට හානි වෙතැයි බියෙන් නොකළ යුතු අසාධාරණකම් සිදුකිරීම දක්නට ලැබේ. නෑදෑයින්ට, බලවතුන්ට, ශරීර ශක්තියට, මුදල් ඇති අයට ඇති බිය මත අනවශ්‍ය කටයුතු සඳහා පෙළඹීම සාමාන්‍ය වේ.

භය නොයෙක් ආකාරයෙන් ක්‍රියාත්මක වේ. කෙනකු දියුණුූ වෙනවා දකින්න අකැමැති පිරිස් කේළාම් කීම, පෙත්සන් ලිවීම, කෑම සඳහා වස විෂ එකතු කිරීම වැනි අයහපත් ක්‍රියා සිදුකරයි. තමන්ට නොහැකි වූ දෙය අනෙකා සිදුකළ හොත් එය තමන්ට අවාසියක් වේ යැයි සිතා නොකළ යුතු බොහෝ දෑ ඇතැම්හු සිදු කරති. තමන් ගැන, තම වරප්‍රසාද පිළිබඳ සිතා කරන ඇතැම් ක්‍රියාවන් සමාජයක් නොනැඟීමට හේතුවිය හැකි ය.

නොදන්නා බව නොදැනීම

නොදන්නා කම, යථාර්ථවාදීව බැලීමට නොහැකි බව මෝහයයි. නිවන් දකිනතුරු අඩු වැඩි වශයෙන් මේ තත්ත්වය දැකිය හැකි වේ. අවිද්‍යාව ලෙස පුළුල් ව දක්වනුයේ ද මේ ස්වභාවයයි. මෝඩ, ප්‍රාථමික, ගොරෝසු ස්වභාවයන් පෙන්නුම් කරන්නේ මෝහයෙන් අගතියට යාම තුළිනි.

මෝහය පැහැදිලිවන අවස්ථා ලෙස කරුණු නොදැනීම, තර්කනයෙහි අදක්ෂ වීම, පුහුණුවක් නැති බව, උචිත හැසිරීම් නොමැතිකම විශේෂ වේ. උචිත ගැළපෙන ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම තුළ තමා පමණක් නොව සමස්තය විනාශයට පත්වේ. රජුගේ සිරුරේ වහන ලද මැස්සාට කඩුවෙන් කෙටුවා වැනි මහ විපත් ඇති වේ.

ගත යුතු ක්‍රියාමාර්ග තිබිය දී අනුචිත මෙන් ම, ජනපි‍්‍රය තීරණ ගැනීම දර්ශනයක් නොමැතිකමේ ගැටලුවයි. කුමන තරාතිරමක සිටිය ද අගතිගාමී වීම නුසුදුසු ය. තම වගකීම අපක්ෂපාතීව ඉටුකළ යුතු වේ. එවිට අසාධාරණ, අයුක්ති සහගත දෑ සිදු නොවේ. සුවදායක හා සාමකාමී වන්නේ එවැනි සමාජයකි.

නවම් පුර අටවක

ජනවාරි 28 සෙනසුරාදා පූ.භා. 08.48 න් පුර අටවක ලබා
29 ඉරිදා පූ.භා. 09.09 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]