[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සියලු ජනයා අතර බුද්ධ ශ්‍රාවකයා සැම ගුණයෙන් බැබළේ

සියලු ජනයා අතර බුද්ධ ශ්‍රාවකයා සැම ගුණයෙන් බැබළේ

සැවැත්නුවර සිරිගුප්ත සහ ගරහදින්න යැයි යහලුවෝ දෙදෙනෙක් වූහ. සිරිගුප්ත බෞද්ධයෙකි. ගරහදින්න නිගණ්ඨ ශ්‍රාවකයෙකි. නිගණ්ඨයෝ ගරහදින්න ලවා නිතරම සිරිගුප්තට තෙරුවන්ගේ දොස් කියවා නිඝණ්ඨයන්ගේ අගය වර්ණනා කරති. ඔවුන් කෙරෙහි පහදවා ගැනීමට උත්සාහ කරති. සිරිගුප්ත කීප වතාවක් ම නිශ්ශබ්දව සිට මෙසේ කීවේ ය.

“තෙපි මට ශ්‍රමණ ගෞතමයන් කරා ගොස් කුමක් ලබන්නෙහි ද? මාගේ ආර්යයන් වෙත ගොස් දන් දෙවයි” නිතර කියති. තොපගේ ආර්යයන් කුමක් දනී දැයි? ඇසීය.

ගරහදින්න කියනුයේ “අහෝ එසේ නොකිව මැන, මාගේ ආර්යයන් නො දත් දෙයක් නැත. සියල්ල දනිති කීහ.

එවිට සිරිගුප්ත එසේ නම් මෙතුවක් කලක් මා හට මේ බව නොකියා සඟවාගෙන සිටිමින් ඔබ කළේ ලොකු වරදකි. අද තොප මඟින් ආර්යයන්ගේ ඥානය මම දැන ගතිමි. මාගේ වචනයෙන් ආර්යයන්ට ආරාධනා කරන්න යි කීය.

ගරහදින්න ගොස් එම තොරතුරු කියා නිඝණ්ඨයන්ට පසුදා බතට ආරාධනා කළේ ය. නිගන්ඨයෝ ද සිරිගුප්ත තමන් කෙරෙහි පැහැදුණේ යැයි සතුටු සිතින් ආරාධනය පිළිගත්හ. සිරිගුප්තගේ නිවස විශාල ය. ඔහු එහි ගෙවල් දෙකක් අතර දිගට ම අගලක් සාරවා එහි අසූචි හා පල්මඩ පුරවා එය මත්තෙහිවලට වැටෙන සේ උගුල් අටවා ඒ මත ආසන පනවා සකස් කළේ ය. මහත් සැළි සොඳවා කෙසෙල් කොළෙන් ද, කඩ වැස්මෙන් ද, සැලිවල කට වසා බැඳ හිස් වළං පිටතින් බත්, හුළු, ගිතෙල්, පැණි ආදිය ඉස ගෙයි පිටුපස තැබීය.

ගරහදින්න උදේ පැමිණ බලා දන් පිළියෙළ වූවා සේ දැක සතුටුව ගියේ ය. ඔහු ගිය පසු පන්සියයක් පමණ නිගණ්ඨ පිරිස එහි ආවෝ ය. සිරිගුප්ත ගෙයින් පිටව පසඟ පිහිටුවා වැඳ ඔවුන් ඉදිරියේ දොහොත්මුදුන් දී වැඳගෙන

ඔබ වහන්සේ අතීත ආදි සියලු කාලය දන්නා බව ඔබලාගේ උපස්ථායක මට කීවේ ය. ඉතින් තුන් කාලයම (අතීත, වර්තමාන, අනාගත) නො දන්නවා නම් මාගේ ගෙට නොඑනු මැනව. මා වෙත ගියත් කැඳ බතෙක් නො ලැබේ. තුන් කාලය ම නො දැන පැමිණිනොත් ඔබ හැම අසූචිවලට දමා ගසන්නේ ම කීය. ඔවුන් ඉන්පසු පැමිණ අසුන්වල වාඩිවිය.

සේවකයන් උගුල් ගැලවීමෙන් පසුව සියල්ලෝ ම හිස පැත්තෙන් වලට වැටිණි. සිරිගුප්ත දොරවල් වසා වලෙන් ගොඩට එන අයට නැවත නැවත තළා වලට ම දැමූහ. තොපට දැන් ඇතැයි කියා දොරවල් හැර පැන යන්න සැලසූ නමුත් ඔවුන් පැන යන මඟදී ලිස්සන සුළු ආකාරයෙන් සකස් කර තිබුණු බැවින් එහි දී ලිස්සා වැටි වැටී ගියහ.

එහිදී නවතා තිබුණු මිනිසුන් විසින් වැටුණු වැටුණු අයට ද තලා එළවා දැමූහ.

නිගණ්ඨයෝ හඬාගෙන ගොස් සියලු තොරතුරු ගරහදින්නට දැන්වූහ. ඔහු කෝප වී නඩු දැම්මේ ය. එහෙත් එයින් සිරිගුප්තට ජය විය. ගරහදින්න ටික දිනක් සිරිගුප්ත සමඟ අමනාප වී සිට නැවත කපටි අදහසකින් මිත්‍ර විය.

සිරිගුප්ත නැවත ඔහුට බුදුගුණ කියාදී භාග්‍යවතුන් වහන්සේට දන් දීමට ගහරදින්න යොමු කළේ ය. ගරහදින්න හොඳයි කියා සිරිගුප්ත ලවාම දානයට ආරාධනා කරවීය.. පසුව ඔහු ද ගෙවල් දෙකක් මැද මහ වළක් කප්පවා කිහිරි දර පුරවා ගිනි තබා අඟුරු බස්සවා වළ කට කඩාගෙන ඇතුළට වැටෙන සේ දිරා ගිය ලී කැබලි තබා අඩිය තැබූ විට කඩා වැටෙන සේ සාදා ඒ මත පැදුරු හෙලූහ.

ගේ පිටුපස සිරිගුප්ත කළ පරිදිම හිස් භාජන කෙසෙල් කොළ ආදියෙන් වසා කට බැඳ තැබීය. ආරාධනය පරිදි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු පිරිස සමඟ වැඩිය සේක. මහජනයා ද රැස්විය. ගරහදින්න ගෙයින් පිටතට අවුත් පසඟ පිහිටුවා වැඳ දොහොත් මුදුන් තබා පෙර සිරිගුප්ත සිතූ ලෙසින් ම “ඔබ තුන් කල් දන්නා සේක් ද? නැතිනම් ආ විට දැනේ යැයි” සිතා භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවාගෙන ගියේ ය.

භාග්‍යවතුන් වහන්සේ ගෙට වැඩමකර ශ්‍රී පාදය අඟුරුවල මත්තෙහි තැබූ විටම රිය සක් (කරත්ත රෝදයක් පමණ) පා පියුම් තිබුණෙන් ඒ මත්තෙහි වැඩ ප්‍රඥාප්තාසනයෙහි වැඩසිටි සේක.

භික්ෂු පිරිසත් ඒ පියුම් මත්තෙහි වැඩ ආසනවල වැඩ හුන්හ . ගරහදින්න මේ දැක බය විය. සිරිගුප්ත වෙත ගොස් සියලු තොරතුරු කියා තමා පිළියෙළ කළ දනක් නැති බව දැන්වීය. එවිට සිරිගුප්ත යව ගොස් බලව, බුද්ධානුභාවය එයින් ම දැන ගැනීමට හැකි යි කීවේය. ගරහදින්න ගොස් බැලුවේ ය. ඒ සියලු භාජන කැඳ බත් ආදියෙන් පිරුණ නිසා දැක පුදුමයට පත්ව ගොස් තමන් අතින් ම දන් පිළිගැන්වීය. දානය වළඳා අවසානයේ බණට ආරාධනා කර පැත්තකට වී සිටියේ ය.

බොහෝ සත්ත්වයෝ ප්‍රඥා ඇස නැති බැවින් මගේ ශ්‍රාවකයන්ගේත්, බුද්ධ ශාසනයේත් ගුණ නො දනිති. ප්‍රඥා ඇස නැත්තේ අන්ධයෝ වැනි ය. ප්‍රඥාවන්තයෝ ඇස් ඇත්තෝ වැනි යැයි වදාරා පාර අයිනේ වූ කුණු ගොඩක ලස්සනට සුවඳ හමමින් පිපුණූ මලක් සේ ද, එසේම කෙලෙස් කිළිටෙන් පිරුණු ඥානයෙන් අඩු වූ ලෝක ජනයා අතරෙන් උපන්නේ වී නමුත් සම්‍යයක් සම්බුද්ධ ශ්‍රාවකයා ගුණයෙන් ඒ සියලු ලෝක ජනයා පරදවමින් විශේෂයෙන් බැබළේ” යැයි වදාරා ධර්ම දේශනා කළ සේක. දේශනාව අවසානයේ ගරහදින්න, සිරිගුප්ත යන දෙදෙනා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය.

නවම් පුර අටවක

ජනවාරි 28 සෙනසුරාදා පූ.භා. 08.48 න් පුර අටවක ලබා
29 ඉරිදා පූ.භා. 09.09 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]