[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

නිර්මල ථේරවාදී බෞද්ධ දර්ශනය ජාත්‍යන්තරයට රැගෙන ගිය වියත් පඬිරුවන

නිර්මල ථේරවාදී බෞද්ධ දර්ශනය ජාත්‍යන්තරයට රැගෙන ගිය වියත් පඬිරුවන

ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරාධිපති, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ජර්මන් ආයතනයේ ආයතනාධිපති, ජොහාන් ගුටන්බර්ග් සරසවියේ කථිකාචාර්ය හා කරුණා සමාධි සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී රත්මලේ පුඤ්ඤරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

චරිත භික්ඛවේ චාරිකං බහුජන හිතාය
බහුජන සුඛාය ලොකානුකම්පාය

මහණෙනි, බොහෝ දෙනාට හිතසුව පිණිස ලෝකයාට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස චාරිකාවේ හැසිරෙන්න.

මෙම බුද්ධ දේශනාවට අනුව භික්ෂුවට උරුම වූ කටයුත්තක් ලෙස ධර්මදූත මෙහෙවර හැඳින්විය හැකි ය. එදා භික්ෂූන් වහන්සේ ඒ උරුමය අකුරටම ඉටු කරමින් ක්‍රි.පූ. 5 වන සියවස වන විට මුළු මහත් ඉන්දියාව පුරාම බුදුදහම ප්‍රචළිතව තිබූ බව නොරහසකි.

ධර්මාශෝක අධිරාජයාගේ මහා පරිමාණ ධර්මදූත මෙහෙවරෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියාවෙන් ඔබ්බට බුදු දහම ප්‍රචළිත විය. ඉතා දිගු ඉතිහාසයක් ඇති ධර්මදූත මෙහෙවරෙහි චිරාගත සම්ප්‍රදාය අනුගමනය කරමින් ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජර්මන් ආයතනයේ ආයතනාධිපති ජොහානස් ගුටන්බර්ග් සරසවියේ කථිකාචාර්ය හා කරුණා සමාධි සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී රත්මලේ පුඤ්ඤරතනාභිධාන මාහිමිපාණන් වහන්සේ 1998 වර්ෂයේ දී ඓතිහාසික බර්ලින් විහාරයේ විහාරාධිපති ධුරයට පත්ව ජර්මන් ධර්මදූත සංගමයේ සහයෝගය ඇතිව ශ්‍රී ලාංකීය බෞද්ධ ප්‍රජාව ඇතුළු විදේශීය බෞද්ධ ජනයාටත් ස්වදේශික ජර්මන් ජාතිකයන්ටත් නිර්මල බුදුදහමෙහි අගය හා ඉන් සැනසීමේ මාර්ගය පහදාලමින් ධර්මචාරිකාවෙහි නිරත වූහ.

මානසික පීඩනයෙන් මිරිකී සිටි ජනයාට උන්වහන්සේගේ සරල ඉගැන්වීම් භාවනා ක්‍රම මහත් අස්වැසිල්ලක් විය. බර්ලින්හි පාඨශාලා, ආරෝග්‍යශාලා හා සිරකරුවන් සඳහා ද බුදුදහමේ හා භාවනාවේ අගය පහදා දෙමින් 2002 වසරේදී බර්ලින් රජයේ පාසල් සඳහා බුද්ධ ධර්මය විෂය මාලාවට ඇතුළත් කිරීමට ද උන්වහන්සේ සමත් වූහ.

2005 වර්ෂයේ දී බර්ලිනයේ සිට Frankfurt වෙත වැඩම කර Pagode Phat Hue විහාරයේ වැඩ වෙසෙමින් ශ්‍රී ලාංකික, තායි, වියට්නාම් මෙන්ම බොහෝ ජර්මන් ජාතිකයන්ගේ ආධ්‍යාත්මික මඟ පෙන්වන්නා බවට පත් වූහ. භික්ෂූන් වහන්සේ නමක සතු විය යුතු කරුණා ගුණයෙහි පරමාදර්ශී චරිතයක් වන පූජ්‍ය පුඤ්ඤරතන හිමියෝ ආර්ථීක අපහසුතා ඇති සුවහසක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නඟා සිටුවීම සඳහා 2004 දී කරුණා සමාධි සංවිධානය ආරම්භ කළහ.

කරුණා සමාධි සංවිධානය හරහා ශිෂ්‍යාධාර පිරිනැමීම, පෙර පාසල් අධ්‍යාපන සේවා සැපයීම, නිවාස ආධාර ලබාදීම, වෛද්‍යාධාර සැපයීම, ස්වයං රැකියා සඳහා උපකාර කිරීම, වෘත්තීය පුහුණු පාඨමාලා ලබාදීම ආදී සුබසාධන සේවාවන් රැසක් සිදුකරනු ලබයි. උගත් බුද්ධිමත් භික්ෂු පරපුරක් උදෙසා සාමණේර කැපකරු දායක ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ද, පිරිවෙන් සංවර්ධනය සඳහා ආධාර ලබාදීම ද සිදුකරන අතරම අධ්‍යාපනය ලබන සිසුන් 500කට අධික පිරිසකට ශිෂ්‍යාධාර පිරිනමනු ලබයි. ධර්මදූත සේවයට අමතරව සමාජ සේවයට ද කැපවූ පුඤ්ඤරතන නාහිමියන්ගේ ශාසනික මෙහෙවරෙහි තවත් සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් වන්නේ 2014 වර්ෂයේ දී ජර්මනියේ හැම්බර්ග් නගරාශි‍්‍රත රමණීය පරිසරයක ශ්‍රී ලංකා මහා විහාරය ආරම්භ කිරීමයි. උන්වහන්සේගේ අරමුණ වූයේ Hamburg Breman හා Hannover  නගර ආශි‍්‍රතව ජීවත්වන බෞද්ධ පින්වතුන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකර දීමයි.

තවද උන්වහන්සේ ථේරවාදී භික්ෂුවක වශයෙන් බුදුදහම දේශාටනකරණය කරමින් බුරුමය, වියට්නාමය, තායිවානය, ඉන්දියාව, මැලේසියාව හා සිංගප්පූරුව වැනි රටවල මෙන්ම චෙකොස්ලෝවැකියාව, අයර්ලන්තය, හා මහා බ්‍රිතාන්‍ය වැනි රටවල පැවැති ජාත්‍යන්තර සමුළු රාශියක් නියෝජනය කරමින් ථේරවාදී බෞද්ධ දර්ශනය, ලෝකය වෙත ගෙනයාමට ද දායක වී තිබේ. මෙයට අමතරව ඔස්ට්‍රියාව, ප්‍රංශය, ස්විට්සර්ලන්තය හා ඉතාලිය ආදී රටවල ද ධර්ම දූතයන් වහන්සේ නමක ලෙස ක්‍රියා කරමින්, ලෝකාර්ථචර්යාවෙහි නියැළී සිටින රත්මලේ පුඤ්ඤරතන නාහිමිපාණන් වහන්සේ වර්තමානය වන විට ජර්මනිය තුළ සුපතළ භාවනා උපදේශකවරයෙකු ලෙස ක්‍රියා කරති.

විශේෂයෙන් Frankfurt හි පිහිටි බුද්ධ ප්‍රඥා විහාරය, දකුණු ජර්මනියේ Siedeisbrunn හි පිහිටි බුදුමඟ විහාරය, මෙන්ම  Hamburg  ශ්‍රී ලංකා මහා විහාරය කේන්ද්‍රකරගනිමින්, සිදුකරන බෞද්ධ භාවනා වැඩසටහන් බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ ය. 2005 වර්ෂයේ සිට ජර්මනියේ මයින්ස් නුවර ජොහානස් ගුටන්බර්ග් විශ්වවිද්‍යාලයේ ඉන්දියානු දර්ශන අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරන පුඤ්ඤරතන නාහිමියෝ, ඒ හරහා ජර්මන් ජාතික සිසුන්ට බෞද්ධ දර්ශනය පමණක් නොව, සිංහල භාෂාව හා පාලි භාෂාව පිළිබඳව ද යම් අවබෝධයක් ලබාදීමට ක්‍රියා කරති. ඒ සඳහාම 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජර්මන් ආයතනය ද ආරම්භ කළ නාහිමියෝ එහි ආයතනාධිපති වශයෙන් විදේශීය භික්ෂූන් වහන්සේ ද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වාර්ෂික පරීක්ෂණ සඳහා යොමු කරති. උන්වහන්සේ සිදුකරන ජාතික ආගමික හා සමාජීය සේවාවන් තවදුරටත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සම්බුද්ධ ශාසනය වෙත දායාද කිරීමේ භාරදූර කාර්යභාරය ද ඉටුකර ඇත. 1964 වර්ෂයේ ජනවාරි මස 26 වැනි දින ජන්ම ලාභය ලැබූ රත්මලේ පුඤ්ඤරතන නාහිමියෝ 1979 වර්ෂයේ මැයි මස 10 වන දින ප්‍රව්‍රජ්‍යා භාවය ලබා 1990 වර්ෂයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයට පත්ව බහුශ්‍රැත පඬිවරුන්ගේ ඇසුර ලබමින් වියත් පඬිරුවනක් වශයෙන් උතුම් වූ පැවිදි ජීවිතය නිසි ලෙස පවත්වාගෙන යමින් සිදු කළ ජාතික, ආගමික, ශාසනික හා ජාත්‍යන්තර සේවය සම්භාවනාවට පාත්‍ර කළ මල්වතු මහා විහාරයේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විංශත් වර්ගික කාරක සංඝ සභාව වෙතින් සද්ධර්ම කීර්ති ශ්‍රී ගෞරව නාමය සහිතව ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය 2015 වර්ෂයේ දී උන්වහන්සේ වෙත පිරිනමා ඇත.

පූජ්‍ය රත්මලේ ශ්‍රී ගුණරතන හිමි, පල්ලවදම්පිටියේ චන්ද්‍රජෝති හා රත්මලේ සෝමරතන යන සාර්ව භෞම වියත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ශිෂ්‍ය රත්නයක් ලෙස පැවිදි වී වාරණ මංගලගිරි පිරිවෙන, දොරණාගොඩ සදානන්ද මහ පිරිවෙන මඟින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා 1990 වසරේ දී ශාස්ත්‍රවේදී උපාධියත්, 1993 වසරේ දී ශාස්ත්‍රපති උපාධියත්, 2014 වසරේ දී අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ග්ලෝබල් සරසවියෙන් ආචාර්ය උපාධියත් හිමිකර ගැනීමට සමත් වූ උන්වහන්සේ පූජ්‍ය රඹුක්වැල්ලේ දේවානන්ද නාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් හා ශ්‍රී ලංකා ජර්මන් ධර්ම දූත සංගමයේ ආරාධනාවෙන් ජර්මනියේ බර්ලින් විහාරයට වැඩම කර ඇත.

පූජනීය රත්මලේ පුඤ්ඤරතන නාහිමිපාණන් වහන්සේට ලෝ සසුන් වැඩ පිණිස නිදුක් නිරෝගී සුවය සමඟ චිරජීවනය උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් බැතිබර පූර්වකව ප්‍රාර්ථනා කරමි.

නවම් පුර අටවක

ජනවාරි 28 සෙනසුරාදා පූ.භා. 08.48 න් පුර අටවක ලබා
29 ඉරිදා පූ.භා. 09.09 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]