[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සිත දවා හළු කරන කෙලෙස් ගින්නක අරුමය

සිත දවා හළු කරන කෙලෙස් ගින්නක අරුමය

රාගය ගින්නක් හා සාමාන ය. එහෙත් අප දන්නා ගින්නට වඩා එය බෙහෙවින් වෙනස් ය.

සාමාන්‍ය ගින්නක දී ගිනිදැල් දුම හා පිළිස්සෙන විට අඟුරු ද දැකගත හැකි ය. කෙනකුගේ සිතේ හට ගන්නා රාග ගින්නෙහි එවැනි දෑ දකින්නට නැත. එහෙත් සිත දැවෙන විට දැනෙන වේදනාව හා එහි ඇති නොඉවසිය හැකි බව මුළු ශරීරයට ම දැනෙනු ඇත.

රාගය නමැති ගින්නෙන් පුළුස්සා විනාශ කර දමන්නේ මනුෂ්‍ය ජීවිතයක ඇති යහපත් ගුණයයි. එහිදී සීලය ප්‍රධාන ය. බවුන් වඩන තවුසන්ගේ සමාධිය පවා රාගයෙන් විනාශ කොට දමා ඇති බව ධර්මයෙහි සඳහන් වේ.

ඒ වගේ ම ධ්‍යාන ලබා ඍද්ධි බල ලැබූ තවුසෝ ද රාගය නිසා එයින් පිරිහී ගියහ.

නත්ථි රාගසමො අග්ගි – නත්ථි දොසසමො ගහො
නත්ථි මොහසමං ජාලං – නත්ථි තණ්හාසමා නදී

රාගයට සමාන ගින්නක් නැත. තරහව, ද්වේෂය කරයි විපතක්. මෝහය දැලකි. ලෝකයේ සැබෑව නොපෙනෙන තණ්හාව නිමාවක් නැති නදියකි.

යම් අරමුණක් අපගේ සිතට ගැටුණු විට සිත ඒ අරමුණ ලෝභයෙන් අල්ලා ගන්නේ නම්, එහි බැඳීම් හෙවත් උපාදානය හට ගනී. ඉන් අනතුරුව ඒ බැඳුණු අරමුණ සමඟ එකතු වී ඇස, කන, නාසය, දිව, ශරීරය ඔස්සේ රස විඳීමට සිත වෙහෙසෙයි. මේ වෙහෙසීම කාම තෘෂ්ණාවයි.

මේ ආකාරයෙන් විස්තර කරන “රාගය” බොහෝ අවස්ථාවක පහළ වන්නේ සවිඤ්ඤානික වස්තූන් මුල් කරගෙන ය. නිදසුනක් ගෙන බලමු. යම් පුරුෂයකුගේ සිතෙහි කාන්තාවක් කෙරෙහි ඇති වන රස තෘෂ්ණාව “රාගය” ලෙස විස්තර කෙරේ.

ඒ වගේ ම කාන්තාවකගේ සිතෙහි පුරුෂයෙක් පිළිබඳ පහළ වන රස තෘෂ්ණාව ද එවැනි ම සිතිවිල්ලකි. එලෙස රාගයෙන් දැවෙන විට මව් පදවිය, පිය පදවිය, ස්වාමි දියණි, ස්වාමි පුත්‍ර, සොහොයුරෙක්, සොහොයුරියක් බව ද අමතක වෙනවා. ඒ වගේ ම තමා මනුෂ්‍යයකු බව ද අමතක විය හැකි ය.

ඒ වගේ ම යම් කෙනෙක් රට තුළ, සමාජය තුළ ගෞරවයෙන් සැලකෙන අයෙක් වුව ද මේ රාග සිතිවිල්ල පාලනය කර ගත නොහැකි වුවහොත් ඒ පාලනයක් නැති රාගය විසින් ඇයගේ හෝ ඔහුගේ සියලු හොඳ ගුණයන් හා එම ගුණ හා බැඳී පවත්නා සම්මාන, කීර්ති, ප්‍රශංසා ද පිළිස්සී විනාශ වෙනු ඇත.

සාමාන්‍යයෙන් හටගන්නා ගින්නකට කිසිදු වෙනසක් නැතිව හසුවන්නේ කුමක්ද, ඒ සියල්ලම පුළුස්සා දමන්නාක් මෙන් රාග ගින්නට ද “හොඳ නරක” කිසිවක් නොදැනේ. සියල්ල විනාශ කර දමයි.

යම් තැනක පිය කෙනකුගේ සිත තම දියණියන්ට කරදර කරන්නට නැමුණේ ද ඒ නිසා ය. තම මවටත් වඩා වැඩිහිටි මව් කෙනකුට කරදර කරන්නට රාග, සිත තරුණයකුගේ පොළඹවන්නේ ද ඒ නිසා ය.

තරහව හෙවත් ව්‍යාපාදය ද මනුෂ්‍ය සන්තානය අයහපතෙහි ම යෙදවීමට සමත් වෙයි. තරහව ඉතා ඉක්මණින් මනුෂ්‍ය සිත විනිවිද ගොස් සියලු ගුණ මකා දමයි. “ඔබට තරහ ආවාම මොකවත් පේන්නේ , දැනෙන්නේ නැහැ” යැයි පවසනු අසා ඇත.

කරුණාව හා මෛත්‍රිය වැනි කුසල අරමුණක් සමඟ චේතනාවක් පහළවීමට වඩා වැඩි වේගයකින් ව්‍යාපාදය නැතිනම් තරහව සිතට පැමිණේ. ඒ වගේ ම සිතට දැනේනට පටන් ගනී.

තරහව පැමිණි විට යම් මනුෂ්‍යයකු “අමනුෂ්‍යයකු මෙන් හැසිරෙනු ඔබ දැක ඇත.”

ඒ වගේ ම තවත් සමහරු පවසන්නේ “මට යකා ආරූඪ වුණ” යනුවෙනි. එහි භයානක බව ඔබට දැනෙනු ඇත.

මෝහය හෙවත් ලෝකයෙහි පවතින්නා වූ සියල්ලෙහිම අස්ථීර බව නොදැනීම, නොදැකීම හෝ අමතක කිරීම දුකට හා විපතට හේතුවකි. යමක් ඇතිවීම මෙන් ම නැතිවීම හෙවත් විනාශයට යෑම සෑම වස්තුවකම ගැබ්ව ඇති මූලිකම සිද්ධාන්තයයි.

මේ කරුණ අමතක වීමෙන් හෝ අමතක කිරීමෙන් සිදුවන්නේ තමා සතු කරගත් දේ එහි සැබෑ ස්වභාවයම අනුව වෙනස් වී යන විට හැඬීමට හා දුකට පත්වීමයි. බොහෝ ලෞකික වස්තූන් අල්ලා ගැනීමට මෙන් ම තමන් සතු කර ගැනීමේ දී දුක් විපත්වලට මුහුණදීමට සිදුවේ.

අපි අපගේ ම ශරීරය කොපමණ නම් සෝදා පිරිසුදු කොට සරසවා කෑම,බීම දී පවත්වා ගන්නට උත්සාහ කළත් එහි සැබෑ පාලනයක් අපට නැති බව වැටහෙනවා නේද? ලෙඩ දුක් පැමිණෙන විට හා දිරාගෙන යන විට අපි අපගේ ම ශරීරය නිසා අසරණ බවට පත්වෙමු. මේ නිසා සම්මුතිය හෙවත් ලෝක ව්‍යවහාරය අනුව,

“මම මගේ කියා සිතුවත්, පරමාර්ථ ධර්මය හෙවත් ලොව පවත්නා සැබෑව අනුව මම හා මගේ යනු වචනයක් පමණි.

ගලාගෙන යන ගංගාවක් සේ තණ්හාවේ ද කෙළවරක් හෝ සීමාවක් දකින්නට නැත. ධර්මය පිළිබඳ අවබෝධය මඟින් ඇති කරගත් සිතෙහි පාලනයක් නොවේ නම්, මේ සිතට කොපමණ අරමුණූ ලබා දුන්නද සෑහීමකට පත් නොවේ. ජීවිත ගමනේ ඔබ අප කොපමණ නම් ඇස, කන, නාසය, දිව, ශරීරය නම් වූ ඉන්ද්‍රියයන්ගෙන් සිත ඉල්ලා කරදර කළ දෑ දී ඇත් ද? එහෙත් තවමත් මට දැන් ඇතැයි සතුටු වී අවසන් නැත.

නිරතුරුව ම තව තවත් අරමුණු සොයා යමින් හා ගැටෙන අරමුණුවල බැඳෙමින්, තවත් විටෙක අකමැතියි කියමින් අමනාප ඇති කර ගනිමින් සිත කොපමණ නම් පීඩා විඳින්නේ ද? ඒ අතෘප්ති කර තෘෂ්ණාව නිසා බව පැහැදිලියි.

මේ සීමාවක් නැති තෘෂ්ණාවේ අහිතකර හා පීඩාකාරී ප්‍රතිඵල ගැන ඔබට ම සිතෙනු ඇත. ඒ මොනවා ලැබුවත්, කළත් මගේ සිතට නම් සතුටක් නැහැ” යනුවෙනි.

දාන ආදී පාරමී ගුණයන්ගෙන් ම මේ තෘෂ්ණාව තුනී කිරීම හා දුරුකිරීම කළ යුතු ය.

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]