[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සිත නම් වූ ගෙවත්ත වල්බිහිවන්නට නොදෙන්න

සිත නම් වූ ගෙවත්ත වල්බිහිවන්නට නොදෙන්න

ලැබූ අලුත් අවුරුද්දේ අපි අධිෂ්ඨාන පූර්වක ගමනක් යමු. බෝසත්වරු බාධක මැඬගෙන ඉලක්කගත ගමනක් තුළින් බුදු බව ලබති. අධිෂ්ඨාන පූර්වක ඉලක්කගත ගමන විමුක්තියට පමණක් නොව අප ගතකරන සාමාන්‍ය ලෞකික ජීවිතය ද ජයකණුව කරා මෙහෙයවීමේ හැකියාවෙන් යුක්ත ය.

මෙය මිනිසා සතු ‘විභව‘ ශක්තියේ ප්‍රතිඵලයක්. විභව යනු පුළුවන් බව ය. එනම් පුද්ගලයා සතු හැකියාවයි. ඉලක්ක සපුරා ගැනීමේ දී අප තුළ ඇති සැඟවුණු ශක්තිය මල්ඵල ගැන්වීම අප සතු වගකීමකි. මෙලොව සිටින අනෙකුත් සියලු සත්ත්වයින්ට වඩා මිනිසා සතු විභව ශක්තිය ආශ්චර්යවත් ය. එමෙන්ම බලසම්පන්න ය. මෙයින් උපරිම ඵල නෙළා ගැනීමේ හැකියාව මිනිසා සතු ය. බුද්ධත්වය යනු මේ විභව ශක්තියේ උපරිම ප්‍රතිඵලයයි.

අනෙකුත් සත්ත්වයින්ට මෙන් නොව මිනිසාට තීරණ ගැනීමේ හැකියාව ඇත. හරි වැරැද්ද, කළ යුතු, නොකළ යුතු දේ වටහා ගැනීමේ හැකියාව ඇත. හැම පැත්තක්ම බලා යා යුතු මඟ තේරුම් ගැනීමේ ශක්තිය ඇත. මිනිසා ලබා ඇති මේ ‘විභව‘ සම්පත මලානික වන්නට නොදී රැක ගත යුතුව ඇත.

දියුණුවක් බලාපොරොත්තු වන්නා තුළ සිහිනයක් තිබිය යුතු ය. උගතකු වීමට ධනවතකු වීමට, ව්‍යාපාරිකයකු වීමට, දේශපාලනඥයකු වීමට, වෛද්‍යවරයකු වීමට, ඉංජිනේරුවරයකු වීමට වැවිලිකරුවකු වීමට ආදි වශයෙන් තමා තුළ මවාගත් සිහිනය යථාර්ථයක් කර ගැනීම ඉලක්කය විය යුතු ය.

මෙහිදී අප වටා ඇති පරිසරය වැදගත් වනු ඇත. විශේෂයෙන් සමාජ ඇසුර ගැන ද අප සිතිය යුතු ය. හොඳ, බුද්ධිමත්, අවංක ඇසුර ජය කණුව කරා ඔබ ඉක්මනින් ළඟා කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත. වැරැදි ඇසුර ඔබ මොට්ට කරයි. මලානික කරයි. ඔබගේ වටිනා විභව ශක්තිය නිෂ්ක්‍රිය කරයි.

මුතු ඇටයක් සෑදෙන්නේ කෙසේද? වැලි කැටයක් වැනි දෙයක් මුතු බෙල්ලාගේ කටුව තුළට ඇතුළු වුවහොත්, කටුව තුළ තැවි තැවී කාලයක් පැවතුණහොත් වටේ ඇති කැල්සියම් නිසා ලස්සන මුතු ඇටයක් බවට පරිවර්තනය වෙයි.

මේ අයුරින් ම අපේ යටි හිත තුළ පවතින සිහින සිතිවිල්ල නිරන්තරව ඔප දමන විට එය ජයග්‍රාහී ඉලක්කයක් කරා යොමුවනු ඇත. මෙය ඕනැම කෙනකුට කළ හැකි කාර්යයකි. ඒ සඳහා කළයුතු මූලිකම දෙය යටි හිත තුළ තම අධිෂ්ඨානය තැන්පත් කර ගැනීමයි. අප සිතන තරම් ඉක්මනින් ප්‍රතිඵල දැක ගන්නට නොහැකි විය හැකි ය. අප තුළ ඇති අධිෂ්ඨානය වැඩෙන්නට, පෝෂණය වන්නට, මෝරන්නට කාලයක් ගතවනු ඇත.

බුද්ධත්වය ප්‍රාර්ථනා කළ බෝසතාණන් වහන්සේගේ අධිෂ්ඨානය. ප්‍රාර්ථනය ඉටු වන්නට මොනතරම් කාලයක් ගත වුණා ද? සමහරු බලාපොරොත්තු වන්නේ ඉක්මන් ප්‍රතිඵලයකි. අපගේ ජීවින ගමනේ යටි සිත තුළ පවතින අධිෂ්ඨානය මල්ඵල ගැන්වීම සඳහා ඊට අදාළ අනෙකුත් අවශ්‍යතා ද සමගාමිව සපුරාලිය යුතු ය. එසේ නොවුණහොත් සිහිනය සිහිනයක් ම වනු මිස යථාර්ථයක් බවට පත් නොවනු ඇත. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් ඇත. එනම් ළමා ලෝකය තුළ හොඳ අධිෂ්ඨාන පූර්වක සිතිවිලි, ඉලක්ක ඔවුන්ගේ යටි සිත තුළ තැන්පත් කරලීමයි. මෙය මවුපියන්ගේ හා ගුරුවරුන්ගේ වගකීමකි.

තමා අනාගතයේ කෙබඳු ආකාරයක කෙනකු විය යුතු ද යන්න පිළිබඳ අදහස් යටි හිතේ තැන්පත් කර ඒ අරමුණු කරා ගමන් කරන දරුවකු ලෝකයාට දායාද කිරීම මවුපියන්ගේත් ගුරුවරුන්ගේත් වගකීමකි.

මට බැහැ කියන සිතිවිලි, අයින්කර මට පුළුවන්. හැකියාව තිබෙනවා යන හැඟීම ඇතිකර ගැනීම වැදගත් වනු ඇත.

කෙසේ වුවද දරුවාගේ හැකියාව හා කැමැත්ත තෝරා ගැනීම මෙහිදී අත්‍යවශ්‍යය.

අද ලෝකය දෙස බලනවිට බොහෝ දෙනෙක් දුවන්නන් වාලේ දුවන පිරිසක් බවට පත්ව ඇත. තම හැකියාවන් හා කුසලතාවන් ගැන සිතන පිරිස අඩු ය. බොහෝදෙනා තමා තුළ ඇති ‘විභව ශක්තියෙන් නිසිඵල නොලබති.

මෙහි ප්‍රතිඵලය කුමක්ද? දෙලොවටම වැඩක් නැති සමාජයට වධ දෙන ළමා පිරිසක්, තරුණ පිරිසක් ලොවට බිහි වීමයි.

එක් අතකින් බලනවිට අපාය හා දිව්‍යලෝකය පවතින්නේ අප තුළ ම ය. සිතට දුකක්, කරදරයක්, ශෝකයක් ඇති වූ විට එය අපායකි. සිතට සතුටක්, පී‍්‍රතියක් සැනසිල්ලක් ඇති වූ විට එය දිව්‍ය ලෝකයකි. හැම දෙනාගේම සිත් පිරිසුදුව පවත්වා ගත හැකි නම් මේ ලෝකය ලස්සන ය. පිවිතුරු ය. සුවඳවත් ය.

අපිරිසුදු මනසකින් අප ජීවත්වන්නේ නම්, මුළු ලෝකයම අපිරිසුදු ය. අපි‍්‍රයජනක ය. වේදනාත්මක ය.

නුග ඇටය කුඩා බීජයක් වුවත්, පැළවීමට අවශ්‍ය සාධක එකතු වීමෙන් විශාල වෘක්ෂයක් බවට පත්වන්නා සේ අප උත්සාහවත් ව ක්‍රියා කරන්නේ නම්, ඒ සඳහා අවශ්‍ය සත්පුරුෂ ආශ්‍රය ඇත්නම්, බුද්ධත්වය පවා ලබා ගන්නට පුළුවන.

මේ අයුරින්ම සිත නිවැරැදිව හසුරුවමින්, ඒ සඳහා බුද්ධියත්, උත්සාහයත් යෙදවීම තුළින් ප්‍රමුඛ පෙළේ ධනවතකු වුව ද විය හැකි බව සමාජගත ජයග්‍රාහි චරිත අධ්‍යයනය කිරීම තුළින් දැක ගන්නට පුළුවන.

පරමාණුව කෙතරම් බලසම්පන්න වුව ද එයින් ලෝකයට ඵලදායි වටිනාකමක් ලබා ගත හැකි වන්නේ එය පාලනයකින් යුතුව හසුරුවා ගැනීම තුළිනි. මේ අයුරින් ඔබේ සිත ද නිවැරැදිව පාලනය කර ගන්න.

ඔබේ සිත ගෙවත්තක් යැයි සිතන්න. එහි ඇති නරක සිතිවිලි නමැති වල්පැළ ඉවත් කරන්න. සෑම දෙනාට ම ප්‍රයෝජනවත් මල් ගෙඩි හටගන්නා පැළ රෝපණය කරන්න. ජලය, පොහොර යොදමින් ඒ වටිනා පැළ පෝෂණය කරන්න. ඔබේ සිත නමැති ගෙවත්ත ඉතා වටිනා භූමියක් වනු නො අනුමාන ය.

මේ අයුරින් අසහනකාරි, වධ දෙන සිතිවිලිවලින් තොර සුවදායක සිතිවිලිවලින් අලංකෘත මනස කොතරම් වැදගත් ද?

කෙනකුට දුප්පත් වන්නට හෝ පොහොසත් වන්නට එක්තරා මට්ටමකට කර්ම ශක්තිය හෝ බලපාන්නට පුළුවන. නමුත් කර්මයට ම ඉඩ දී පැත්තකට වී අක්‍රියව සිටීමෙන් ධනවතකු වන්නේ නැත.

ධනවත් වීමේ චේතනාව අධිෂ්ඨානය මෙහිදී ප්‍රමුඛ සාධකයක් වනු ඇත.

ධනවත් වීමට බලාපොරොත්තු වන අය අනුන්ගේ ධනයට ඊර්ෂ්‍යා නොකළ යුතු ය. එසේ වෛරී සිතිවිලි ඇතිකර ගැනීම ජීවන ගමනට බාධකයකි.

අන් අය වැරැදි විදියට ධනය උපයාගෙන ඇත්නම් එහි විපාකය ඔහු සතු ය. නරක සිතිවිලි ඇතිකර ගැනීමෙන් අපගේ දියුණුව වළක්වා නොගත යුතු ය.

මානසික පීඩනය හා අසහනය තේරුම් ගෙන අවබෝධයෙන් යුක්ත ව කටයුතු කිරීම තුළින් තමන්ටත්, අනුන්ටත් අහිතකර සිතිවිලි ඇති නොවන අයුරින් පවිත්‍ර වූ මනසක් ගොඩනඟා ගැනීමට කටයුතු කරන්නේ නම් මේ සමාජය මොනතරම් ලස්සන ද?

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]