[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ආයු වර්ණාදියෙන් සකල විපුලත්වයන් හසරැල් මතින් ලබන්නට ...

ආයු වර්ණාදියෙන් සකල විපුලත්වයන් හසරැල් මතින් ලබන්නට ...

වාසනාව යනු පෙර කළ පින් ඇති බවයි. පින්බල ලැබෙන විට ජීවිතය හැම අතින්ම වාසනාවන්ත වේ. පී‍්‍රතිපූර්ණ වේ. ලෞකික මෙන්ම ලෝකෝත්තර සුව සහනයන් ලැබෙන්නේ ද පුරාකෘත පුණ්‍ය ශක්තියක් හිමි පුද්ගලයාට පමණි.

මෙලොවින් ආයු වර්ණාදියත්, පරලොවින් සුගතියත්, අවසන නිර්වාණ ශාන්තියත් අපේක්ෂා කරන ඥානවන්තයා මොහොතින් මොහොත ජීවිතය පිනෙන් පුරවාගත යුතු ය.

මනබඳින රූපය, මිහිරි කටහඬ, දැකුම්කලු දේහ විලාසය, උසස් කුලයක ජන්ම ලාභය, ආදරණීය හා කීකරු ස්වාමි භාර්යාවන්, දූ දරුවන් ලැබීම, පිරිස් බලය හා ධන බලය, නිදුක් නීරෝගි බව හා දිගාසිරි ලැබීම, බහුශ්‍රැත භාවය හා ශාස්ත්‍ර ඤාණය ආදිය පින්පල පිළිඹිබු කරන අවස්ථාවන් ය.

ධ්‍යාන, විමෝක්ස, සමාධි, සමාපත්ති හා නිර්වාණාවබෝධය කළ පින් ඇති වාසනාවන්තයාට ලැබෙන අලෞකික සුවයන් ය. එකී නොකී ලොව්තුරා ඉහළම භාග්‍යය ද, මහා ගෞතම බුදුරජාණන් වහන්සේ තරම් ගිහි සුව හා පැවිදි සුව ඉහළින් ම වින්දනය කළ අන් කිසිවකු මිහිපිට හෝ දෙව්බඹලොව නැත්ම ය.

දුකෙහි බිහිසුණු බව හා සුවයෙහි මිහිර මනාව අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ සැප කැමැති මිනිසාට ආයු ආරෝග්‍යාදී මෙලොව සුවය පිණිසත්, ස්වර්ගමෝක්ෂ සම්පත්තිය පිණිසත් නොවරදින මාවත පෙන්වා වදාළහ.

මිනිසත් භාවයෙහි දුර්ලභ භාවය පෙන්වා, ලැබූ ජීවිතය රෝග පීඩාදියෙන් හා අකල් මරණයෙන් මුදාගෙන සැනසිල්ලේ දිවි ගෙවීමට හේතුවන කරුණු මනාව උගන්වා වදාළහ. ඒ අනුව අඩු වයසින් නොමැරෙනු කැමති පුද්ගලයා තමා කෙරෙහි පිහිටුවා ගත යුතු කරුණු කිහිපයක් අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ වදාරා ඇත.

සප්පායකාරී වීම එහිලා පළමුවන කාරණයයි. එනම් අපත්‍ය වූ ආහාරපානාදියෙන් වෙන් වීමයි. තමාගේ ශරීරයට යෝග්‍ය වූ ආහාර රටාවකට පුරුදුවීම මඟින් නීරෝගි සුවය පවත්වා ගත හැකි ය.

බොහෝ දෙනාට වැළඳී ඇති රෝගාබාධවලින් බොහොමයකට ප්‍රධාන හේතුව රසගේධය හා අහිතකර භෝජන අනුභවයයි. ගුණාත්මක හා යෝග්‍ය බවට මුල්තැන දී තෝරාගත් ආහාරපානවලට හුරුවීම මඟින් අතුරු ආබාධ සෑහෙන ප්‍රමාණයක් අවම කරගත හැකි ය. කන බොන දෑ විසම වීමෙන් රූපකාය ජරාජීර්ණ වීම ඉක්මන් වේ. එවිට අකල් මරණයට ගොදුරු වී ජීවිතය අහිමි වී යයි.

ආහාරපාන විෂයයෙහි පමණක් නොව ගමන බිමන, නවාතැන, ඝෘතුව ආදියෙහිත් යෝග්‍ය භාවය දත යුතු ය. අනවශ්‍ය ගමන් බිමන්, නොහොබිනා ක්‍රියා ආදිය අනතුරු බහුල වීමට හේතු වේ. හඳින පළඳින වස්ත්‍රාභරණ පිළිබඳව ද එකී සප්පායකාරී භාවය තිබිය යුතු ය. වටිනා කනකර ආභරණ පැළඳ මඟතොටේ ඇවිද යාම් ආදිය මෙවන් කාලයක ජීවිතාන්තරායන්ට පවා හේතු වේ. ආහාරය, ඇඳුම්, වාසස්ථානය හා ඖෂධය යන මූලික මිනිස් අවශ්‍යතා විෂයෙහි ම සප්පායකාරී භාවය රඳවා ගැනීමෙන් ජීවිතය වඩාත් පහසු හා සුඛනම්‍ය වේ.

යම් ආහාරපානාදියක් කොතරම් ගුණදායක හා සප්පාය වුව ද පමණ දැන පරිභෝග කිරීම දීර්ඝායුෂ ලැබීමට හේතුවන බව බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇත.

තම ජීවිතය හා ප්‍රතිබද්ධ ඕනෑම දෙයක් පිළිබඳ පමණ දැන කටයුතු කිරීම දුර්ලභව ලද මනුෂ්‍ය ජීවිතයේ සුරක්ෂිත භාවයට හේතු වේ. මධ්‍යම ප්‍රතිපදාව තුළ පුහුණු කළ ජීවිතය ඇත්තහුට ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ආදී සියල්ලම හිමි වේ. කාමුක සන්තර්පණයන්ගෙන් ලැබෙන මොහොතක සුවයට වඩා මැදුම් පිළිවෙතින් ලැබෙන සහනය ලෞකිකත්වය විනිවිද ලෝකෝත්තර භූමිය කරා පැතිර යයි.

දිගාසිරි ලැබෙන තෙවන කාරණය ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේ පරිණත භෝ භාවය යි. එනම් අනුභව කළ ආහාරය මනාව ජීර්ණය වූ පසු නැවත ආහාර අනුභව කිරීම යි. රසරාගයෙන් කෑදර වී පාලනයකින් තොරව නිතර නිතර නොයෙක් කෑම බීම අනුභවය විවිධ රෝග බහුල වීමට හේතුවන බව ප්‍රසිද්ධ කාරණයකි. ආහාර ජීර්ණය වීම සඳහා තේජෝ ධාතුව උපකාර වේ.

පරිපාචක තේජස යනු ආහාර දිරවන උෂ්ණයට නමකි. අනුභව කළ දේ මනාව දිරවා යාමට ප්‍රමාණවත් වේලාවක් නොතබා නැවත නැවත අනුභවය නිසා අතොරක් නොමැතිව කර්මජ තේජස උපදියි. තේජෝ ධාතුව අධික වන විට මුළු රූපයම අකාලයේ ජරාවට පත්වේ. තරුණ වියේදී ම කෙස් රැවුල් ඉදී යාම, සම රැළි වැටීම, දුර්වර්ණ වීම, තොල කට වියළී යාම වැනි තත්ත්වයන් පහළ වන්නේ තේජෝ ධාතුව බලවත් වීමෙනි.

හැකි නම් විකාල භෝජනයෙන් වෙන්වීම ද නිදුක්ව නීරෝගිව දීර්ඝායුෂ ලැබීමට හේතු වේ. විකාලය යනු දහවල් දොළහේ සිට පසුදා අරුණෝදාව දක්වා කාලයයි. බුදුරජාණන් වහන්සේ විසින් විකාල භෝජනයෙන් වෙන් වීමේ සික පදය පනවන අවස්ථාවේ එමඟින් ලැබෙන ආනිසංස පහක් වදාරා ඇත.

එනම්, නිරෝග බව (අප්පාබාධ), නිදුක් බව (අප්පාතංක), සැහැල්ලු බව (ලහුට්ඨාන), ශරීර ශක්තිය (බල), පහසු විහරණය (ඵාසුවිහාර) යන මේවා ය. ඒ අනුව නීරෝගිව දීර්ඝායුෂ වින්දනය කිරීම අපේක්ෂා කරන්නා විකාල භෝජනයෙන් වෙන් වීමට පුරුදු විය යුතු ය. එසේ කළ නොහැකි නම් පරිණතභෝජී භාවයට හා අල්පාහාර භාවයට හුරු විය යුතු ය.

අකාලචාරී නොවී කාලචාරී වීම ද ආයු වර්ධනයට හේතු වන කාරණයක් ලෙස පෙන්වා වදාරා ඇත. නොකල්හි ගමන් යාම නිසා නොයෙක් කරදරවලට පැටලේ. ජීවිත පවා ඇතැම්විට අහිමි වේ.

ගිහි පැවිදි දෙපාර්ශ්වය ම කිසියම් කටයුත්තක් සඳහා තම නවාතැනින් පිටත්ව යාමට ප්‍රථම ගමනේ උපයෝගීතාව හා සුදුසු කාලය අවශ්‍යයෙන් ම හඳුනාගත යුතු ය. කාලගුණික තත්ත්වය, ආරක්ෂක, දේශපාලන සහ සමාජ පසුබිම ආදිය පිළිබඳ සවිඤ්ඤාණික වී ගමන් බිමන් සැලසුම් කරගත යුතු අතර, සිල් ගුණ දම් පිරිහී යන කිසිදු ගමනක් නොයා යුතු ය.

සිල්වත්කම ද ආයු වර්ධනය සඳහා හේතු වන බව භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාරා ඇත. සිල්වතා සියලු අශිෂ්ට ක්‍රියාවන්ගෙන් ඉඳුරාම වෙන් වන නිසා අශිෂ්ට හැසිරීම් හරහා පැමිණිය හැකි සියලු අනතුරුවලින් අත්මිදේ.

සීලය නිසා කය වචනය සංවර වේ. එවිට ඔහු සාහසිකකම්වලින් අත්මිදෙන අතර, ජීවිතයේ දෛනික හැසිරීම් ස්වයං පාලනයකට නතු කරයි. ඉවසීම හා දරාගැනීමට ද සිල්වත්කම ඝෘජුවම හේතු වේ.

පුද්ගලයාට පැමිණෙන දුක්විපත්වලින් වැඩිහරියක් ම නොඉවසීම හා හදිසි වීම නිසා පැමිණෙන බැවින් ඕනෑම තත්ත්වයක් ඉවසා විඳදරා ගැනීමට පුරුදු වීමෙන් තමන්ගේ ද අන්‍යයන්ගේ ද ජීවිතවලට සුවිසල් ආරක්ෂාවක් සැලසේ.

සිල්වතා ගුණවතෙකි. ගුණවතා ධනවතෙකි. ගුණයෙන් ධනී වූ පුද්ගලයා උපනූපන් ජීවිතවල ආයුෂයෙන් හා සැප බල පරාක්‍රමයෙන් විපුල වේ.

බුදුරජාණන් වහන්සේ වදාළ ආයු වර්ධනයට හේතු වන තවත් කාරණයක් නම් බ්‍රහ්මචාරී වීමයි. සියලු ආකාරයෙන්ම මෛථුනයෙන් වෙන් වීම ඉන් අදහස් කරයි.

බ්‍රහ්මචාරී පුද්ගලයා සිල්වතෙකි. නොකල්හි වීථිසංචාරයෙන් වෙන් වූ කාලාචාරියෙකි. අසප්පාය දේ නොකරන අතර, සප්පාය දැයෙහි මාත්‍රාව දන්නෙකි. විකාල භෝජනයෙන් මුළුමනින් ම වෙන් වූවෙකි. දීර්ඝායුෂ ලැබීමේ සියලු පුරුදු බ්‍රහ්මචාරියා කෙරෙහි පිහිටන නිසා බ්‍රහ්මචාරී භාවය නිදුක් වූ දිගාසිරි ඇති සහන් දිවියකට හේතු වේ.

කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන බව ආයු වර්ධනයට බලපාන ප්‍රධාන කාරණයක් ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළහ. දයාබර වූ, අනුකම්පා සහගත, මෛත්‍රියෙන් පිරි හදවතක් ඇති, සිල්වත් වූ ධර්මධාරියා කල්‍යාණ මිත්‍රයෙකි. ඔහු දුගියකුට රුවන් නිධානයක් පෙන්වන්නාක් මෙන් දෙවි මිනිසුන්ට සාසන නිධානය පෙන්වයි.

කුරිරු ලෝකයේ නපුරු කුහකකම්, සැහැසි රුදුරුකම් කරුණාවෙන් ඉවසා අසීමාන්තික ක්ෂාන්තියත්, නිර්වාණාන්තික විමුක්තියත් දායාද කරන්නේ කල්‍යාණ මිත්‍රයා ම පමණි. එවන් කලණ මිතුරු ඇසුරක් ඇති පුද්ගලයාට ආයු වර්ණාදියෙන් සකල විපුලත්වයන් අත්යන්තයෙන් හිමි වේ.

බුදුරජාණන් වහන්සේ නම් වූ අසහාය කල්‍යාණ මිත්‍රයාණෝ අප ලද අසමසම සම්පත යි. අමරණීය ශාන්තිය යි. සදාකාලික තාණය යි. අසරණ සරණ වූ ඒ අනාථ නාථයන් වහන්සේ වදාළ ශාන්තිකර ධර්මයේ පිහිටා මුනිපුත් මහා සඟනගේ ඇසුර ලබා මෙලොව ආයු ආරෝග්‍යාදී සියල්ලත්, පරලොව සුගති සුවයත්, අග්‍ර අමා මහ නිවන් සුවයත් හසරැල් මතින් ලබන්නට මං පෙත් විවර වේවා.

සියලු සත්ත්වයෝ ආයුෂයෙන් වර්ණ සැප බල ප්‍රඥාවෙන් වැඩෙත්වා.

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]