[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

මෙත් සිත් අරණ අන්තර්ජාල විකාශය ඇරඹුණ වගයි

මෙත් සිත් අරණ අන්තර්ජාල විකාශය ඇරඹුණ වගයි

බුදුදහම නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් නූතන ලෝකයට ලබා දීමට කටයුතු කිරීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවක් බව කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථාන ප්‍රමුඛ චතුර් විහාරස්ථානාධිපති පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ බුදුසරණ “මෙත් සිත් අරණ” අන්තර්ජාල විකාශය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ලේක්හවුස් ආයතනය අන්තර්ජාලයේ සුවිශේෂී කඩඉමක් පසුකරමින් “මෙත් සිත් අරණ” යූ ටියුබ් නාළිකාව සහ ටික් ටොක් මාධ්‍යයට එක් කිරීම මහා සංඝරත්නයේ ආශිර්වාද මැද පසුගියදා සිදු කෙරිණි.

මාස කිහිපයක් පුරා සිදුකරන ලද අත්හදා බැලීම් ඉතා සාර්ථක වීමත්, බොහෝ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලැබීමත් නිසා බුදුසරණ “මෙත් සිත් අරණ” අන්තර්ජාල විකාශය ආරම්භ කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියෝ මෙසේ ද පැවසූහ.

ලේක්හවුස් ආයතනයේ ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන මැතිතුමන් මෙම ආයතනය ආරම්භ කළේ අරමුණු රැසක් පෙරදැරිවයි. බෞද්ධ පවුල් පසුබිමකින් පැමිණුනු එතුමා අපේ භාෂාව, සංස්කෘතිය , සභ්‍යත්වය ආදි මේ සියලු දේ ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පුවත්පත් මුද්‍රණ කර බුදුදහම ප්‍රචළිත කිරීම සඳහා වැඩි නැඹුරුවක් දැක්වූවා. එතුමා ඒ අරමුණ පෙරදැරිව බුදුසරණ පුවත්පත ආරම්භ කළා. එය වසර ගණනාවක් පුරා බෞද්ධයන් අතර ප්‍රචළිත විශ්වාසය දිනා ගත් පුවත්පතක්. බෞද්ධ විශ්ව කෝෂයක්.

ලේක්හවුස් ආයතනය මේ උතුම් සද්කාර්යය වර්ෂ ගණනාවක් මුළුල්ලේ සිදුකරමින් සිටිනවා.

නූතන ලෝකයේ අවශ්‍යතාව පිළිබඳ මනා දැනුමක් තිබෙන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ලේක්හවුස් සභාපති අනූෂ පැල්පිට මහතාත්, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි මහතාත් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් බුදුදහම මේ ආකාරයෙන් ප්‍රචළිත කිරීමට කටයුතු කිරීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවක් හැටියට අපි දකිනවා.

මෙම අවස්ථාවට සහභාගි වූ අනුරාධපුර පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර නාහිමියෝ මෙසේ අදහස් දැක්වූහ.

වර්තමාන සමාජයේ සන්නිවේදන මාධ්‍ය අතර පුවත්පතට වඩා තාක්ෂණික සන්නිවේදන මාධ්‍ය ඉදිරියෙන් සිටිනවා. සමාජ විපරිනාමයත් සමඟ ඇතිවන්නා වූ නව ක්‍රම අනුව අපේ සමාජයට ධර්ම සන්නිවේදන විධි ක්‍රම අවශ්‍ය වෙලා තිබෙන කාලයක්.

“තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ ඉධකෝ

විරෝචතී නෝපටිච්චන්නෝ” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

තථාගතයන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය විවෘත වෙන්න, විවෘත වෙන්න, ඒ ධර්මයට අනුගතව මිනිසුන් ජීවත් වෙන්න, ජීවත් වෙන්න, ධර්මයේ ආලෝකය ප්‍රභාවය මතුවෙනවා කියන එකයි ඒ පාලි පාඨයේ තේරුම.

මේ නව ධර්ම සන්නිවේදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ලේක්හවුස් ආයතනයේ නවමු අත්දැකීමක්.

මේ අන්තර්ජාල වැඩසටහන සියලු දෙනාගේම සහයෝගය ඇතිව ඉතාම සාර්ථකව ඉෂ්ට සිද්ධ කරන්න කියන දේ මම සියලු දෙනාටම මේ මොහොතේදී මතක් කරනවා. එහිදී දේශපාලන ක්ෂේත්‍රයේත්, සමාජ සංවර්ධන ක්ෂේත්‍රයේත් බොහෝ අත්දැකීම් තිබෙන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ලේක්හවුස් සභාපති අනූෂ පැල්පිට මහතාගේත්, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මහා අත්දැකීම් සම්භාරයක් තිබෙන කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රී මහතාගේත් අවවාද අනුශාසනා ලබාගෙන මේ අන්තර්ජාල වැඩසටහන කරගෙන යාමේ අවශ්‍යතාව මම දකිනවා.

මෙම අවස්ථාවට එක්වූ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති අනූෂ පැල්පිට මහතා දැක්වූ අදහස් මෙසේය

බුදුසරණ පුවත්පත 1965 දී ආරම්භ කළ පුවත්පතක්. පසුගිය පාලනාධිකාරිය විසින් ඇති වී තිබූ කඩදාසි ප්‍රශ්නය නිසා සතිපතා මුද්‍රණය කළ පුවත්පත් පහක් මාසිකව නිකුත් කිරීමට තීරණය කළා. මම එහි වැරැද්දක් දකින්නේ නැහැ. නමුත් ලබන වසරේ සිට බුදුසරණ පුවත්පත සතර පෝයටම මුද්‍රණය කිරීමේ මගේ ආශාවක් තිබෙනවා. අපි බලනවා ඒක කොහොමද කරන්නේ කියලා.

මම 2007 දී ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ලෙස සේවය කළා. ඒ අවස්ථාවේ දී මම දිනපතා උදේ සවස බණ විකාශනය කිරීමට පටන් ගත්තා. එහිදී මට ලොකු විරෝධයක් ආවා. “මේවා කරන්න පුළුවන් වැඩද?” කියලා. ඇතැම් හැමුදුරුවරු පවා මට කෑ ගැසුවා. නමුත් අද සියලුම චැනල් ඒ ක්‍රමය අනුගමනය කරනවා.

ටික් ටොක් කිව් සැණින් අපේ මතකයට එන්නේ මහා ජුගුප්සාජනක හැඟීමක්. නමුත් අපට ඒ තාක්ෂණය යහපත් දේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. සිංහල භාෂාවෙන් දේශනා කර තිබෙන ධර්මය ඉංගී‍්‍රසි,දෙමළ භාෂා මඟින් ද අන්තර්ජාලයට එක් කරන්න පුළුවන්.

රැකියාවෙන් විශ්‍රාම ගිය අයකුට දවසකට පැය හතරක් පහක් විවේකය තියෙනවා. නමුත් කාර්ය බහුල අයට එවැනි නිදහසක් නැහැ.නමුත් බුදු දහමේ ඉතාමත් නිවැරැදි පණිවිඩයක් ඔළුවට දාගන්න විනාඩි දෙකතුනක් ප්‍රමාණවත්. ඒ අවස්ථාව තමයි මේ නිර්මාණය කර තිබෙන්නේ.

අපේ ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන මැතිතුමා බෞද්ධ පරිසරයකින් ආපු නායකයෙක්. අපට ලොකු වගකීමක් තියෙනවා ඒ බෞද්ධකම ආරක්ෂා කර ගන්නට. මේ රටේ අනෙකුත් ජාතීන්ට තමන්ගේ අයිතිය ලබා දෙන ගමන්ම සිංහල බෞද්ධකම ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නට අවශ්‍යයි.

අද ආරම්භ කළ මෙත් සිත් අරණ අන්තර්ජාල විකාශය ව්‍යාපාරික පරමාර්ථයෙන් තොරව සමාජ සේවාවක් සිදු කිරීමේ පරමාර්ථයෙන් සිදුකරන්නක් නිසා එය සාර්ථක වේවා'යි මම ප්‍රාර්ථනා කරනවා.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි, මූල්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල, රාජ්‍ය සබඳතා ප්‍රධානී හා කළමනාකරණ කර්තෘ සමන්ත කරුණාසේකර, බුදුසරණ කර්තෘ රමණී සුබසිංහ, නියෝජ්‍ය කර්තෘ හේමමාලා රන්දුනු යන මහත්ම මහත්මීන් මෙන්ම ආයතනයේ නිලධාරීන්, කර්තෘ මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]