[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ දුරුතු මහා පුණ්‍ය පූජෝත්සවය

ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ දුරුතු මහා පුණ්‍ය පූජෝත්සවය

සම්බුදු පා පහස ලද උතුම් කැලණිය පින්බිමේ දුරුතු මහා පෙරහර පූජෝත්සවය මෙවරත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. සදහම් දේශනා පිරිත් සජ්ඣායනා, පරිවාර පෙරහර ඇතුළු වටිනා ආගමික හා සංස්කෘතික අංගයන්ගෙන් අර්ථවත්වන, අලංකාරවන කැලණිය දුරුතු පෙරහර ලාංකේය බොදු දනන්ගේ අභිමානවත් පුණ්‍ය මහෝත්සවයකි.

ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ දුරුතු මහා පුණ්‍ය පූජෝත්සවය හා මහා පෙරහර ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරාධිපති ගෞරවාර්හ මාපිටිගම ධම්මරක්ඛිත නා හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා කැලණිය රජමහා විහාරයේ අභිනව විහාර මන්දිරය කරවා සසුනට පූජා කළ හෙළේනා විජයවර්ධන මැතිණිය ප්‍රධාන දායක පින්වතුන්ගේ ශාසනික අනුග්‍රහයෙන් 1927 දී ආරම්භ විය.

එතැන් පටන් අඛණ්ඩව පැවති මෙම පෙරහර මහෝත්සවය මෙවර ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත, උපාධ්‍යාය ධුරන්ධර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගෞරවාර්හ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ හා ශ්‍රී කල්‍යාණි රජමහා විහාරයේ දායක සභාව, ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය හා කල්‍යාණි තරුණ සංවිධානය ආදි සංවිධාන සමූහයේ සහභාගිත්වයෙන් මෙන් ම ගම්පහ මහ දිසාපතිතුමන් ඇතුළු රාජ්‍ය ආයතනයන්ගේ සහයෝගයෙන් රටපුරා හා ලෝකය පුරා දායක පින්වතුන්ගේ ශාසනමාමක දායකත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට යෙදුණි.

පසුගිය වසරවල රටේ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් මෙම පින්කම් මහෝත්සවය ඓතිහාසික චාරිත්‍ර හා උඩමළුවේ පෙරහරට සීමා වූව ද මෙම වසරේ අංග සම්පූර්ණව පැවැත්වීමට අවස්ථාව සැලසීම සියලු දෙනාට මහා ආශිර්වාදයක් ලෙස ප්‍රදේශවාසී පින්වත්හු මත පළ කරති.

පුරා තෙමසකට ආසන්න කාලයක් පැවති ධර්මදේශනා පින්කම් හා පරිවාර පෙරහර පින්කම් අවසානයේ දෙසැම්බර් 30 දින ආරම්භ වූ සත්වරුවේ පිරිත් දේශනය නව වසරට ආශිර්වාද පතමින් 2023 ජනවාරි 02 දින නිමාවට පත් විය.

ඉන් අනතුරුව 2023 ජනවාරි 03 දින උඩමළුවේ පෙරහර ද, 04 දින දෙවන මළුවේ පෙරහර හා ජනවාරි 05 දින දුරුතු මහා පෙරහර පැවැත්විණි. එහි දී සධාතුක පෙරහර, විෂ්ණු දේවාල පෙරහර, කතරගම දේවාල පෙරහර හා කැලණියට සුවිශේෂ වූ විභීෂණ දේවාල පෙරහර අති උත්කර්ෂයෙන් පැවැත්විණි.

දුරුතු පුරපසළොස්වක පෝය දින පැවැත්වෙන ආශිර්වාදාත්මක පින්කම් මාලාවෙන් සමාප්තියට පත් වන මෙම මහා පින්කම් මාලාවේ ආශිර්වාද බලයෙන් රටවාසී සැමට සියලු යහපත, අභිවෘද්ධිය, වාසනාව, දියුණුව හා සෞභාග්‍යය උදාවේවා'යි යනු කැලණිය රජමහා විහාරයේ, කැලණියේ හා රටවාසී ජනතාවගේ පරම පැතුමයි.

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]